ගේ දොර හදද්දී ගෙදර බොස්ටත් වඩා බොස් වෙන්න යන ‘බාස්’

239

වැඩිදෙනෙක් මකබාස්ලා…..
‘විසිටින් කාර්ඩ්’ තියෙන බාස්ලාට මළපොතේ අකුරක් බෑ!
බාසුත් දොස්තර වගේ ‘ගෙදර සර්වාංගයටම’ බෙහෙත් කියනවා

වැදූ මවත් ඉහළ ආකාසයත් නිරන්තරයෙන් බැණුම් අහන අය අතරින් ප්‍රධාන තැනක් ගන්නා වස්තූන් දෙකකි. යමෙක් වරදක් කළ කල්හි සමාජය පුරුදු වී සිටින්නේ ඒ තැනැත්තාගේ මවට දොස් පැවරීමටයි. හදල තියෙන හැටි තමයි. අම්මලගෙ වැරදි ආදී ලෙසින් අම්ම මෝ මතක් කර බනින අතර වැස්සත්, පෑව්වත්, සුළං වැඩිපුර හැමුවත් උෂ්ණය වැඩිවුණත් වැඩිදෙනා බනින්නේ ආකාසයට ය.

මව සහ අහස මෙන්ම දැන් කාලයේ නිතර නිතර බැණුම් අහන තවත් පුද්ගලයෙක් ගැන අද අපි කතා කරමු. ඒ බාසුන්නැහේලා ය.

බාස් හෝ බාසුන්නැහැ ආදී ලෙස ඇමතෙන ඒ වචනය අප වහරට ආවේ කෙසේද? කවදාද? කියා හරියටම සොයා ගනු පිණිස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන් මා ඒ ගැන විමසූ කල ඔහු ඉතාම නිහතමානීව පවසා සිටියේ කුමන භාෂාවකින් ඒ වචනය අප වහරට ආවාද කියා තමාට ස්ථිරව කිව නොහැකි බවත්, මහාචාර්ය සුනන්දගෙන් මේ ගැන විමසා බලන ලෙසත් ය.

සුනන්ද මහේන්‍ද්‍ර දෙටු මහඇඳුරුතුමා සෘජුවම පවසා සිටියේ බාස් (Bazz) කියා නමක් ඇති ලන්දේසි ජාතික යන්ත්‍රෝපකරණ කාර්මිකයෙක් අතීතයේ සිටි බවත්, (machine minder) ඔහුට සහ ඔහුගේ සහායකයන්ට බාස් සහ බාස් උන්නැහේගේ කට්ටිය කියා අපේ අය කියන්නට පටන් ගත් බවත් ය.

බොස් (boss) යන්නෙන් බිඳී බාස් යන වචනය සැදෙන්නට ඇති බවට ද සමහරු තර්ක කරති. ගුණපාල මලලසේකරයන් තම ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයේත් බොස් යන්නට සිංහලෙන් බාස් කියා තේරුමක් දක්වා ඇත.

ඒ ඒ කාර්යයන් සඳහා වෙනස් වූ විශේෂිත බාස්ලා සිටිති. සිමෙන්ති වැඩ කරන්නෝ මේසන් බාස්ලා ය. ලී වැඩ කරන්නේ වඩු බාස් ය. බේකරියේ පිටි මෝලිය අල්ලන්නේ පාන් බාස් ය. යකඩ හදන්නේ කම්මල් බාස් ය. පින්තාරු කරන්නේ පේන්ට් බාස් ය. බයිසිකල් රෙපෙයාර් කරන්නේ වින්කල් බාස් ය. හිරගෙදර මුළුතැන්ගෙය භාර සිරකරුවා කුස්සියේ බාස් ය. ගැට කපන සංස්කෘතියේ සූක්‍ෂතම වැඩකරුවා පොකට් බාස් ය.

මීට අමතරව භාෂා බාස්, මකබාස්, යකා බාස්, කළු බාස්, රතු බාස්, මාතර බාස්, උස බාස්, යන්තං බාස්, ලේන්සු බාස්, කලිසම් බාස් ආදී වශයෙන් විශේෂණ සහිත බාස්සුන්නැහැලා සිටිති. (කෙසේ වෙතත් ජීවිතයේ කිසි දිනෙක මා සුදුබාස් කෙනෙක් ගැන අසා නැත.)

අද බොහෝ අය දකින සිහිනයක් වන්නේ තමන්ටම කියා පාඩුවේ වැටිල ඉන්නට ගෙයකි. පවතින ගොඩනැඟිලි ද්‍රව්‍යවල මිල ගණන් අනුව නිවසක් හැදීම යනු ඇත්තටම සිහිනයකි. සල්ලි ලොරියක් වත් නැතිව අද ගෙයක් හදන්න බැහැ කියා මතයක් පොදු ජනයා අතර පවතී. එමෙන්ම වැඩිදෙනෙක් කැමති මුදල් බිමට යටකරනවාට වඩා කෙටි ඵලදායී දෙයකට, එනම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ව්‍යාපාරවලට ආයෝජනය කිරීමටයි. කෙසේ වෙතත් ගෙවල් හදන්නෝ ද එමටය.

මොන දහංගැටයක් හරි දාලා ලෝන් එකකින් හරි සල්ලි හොයාගත්තයි කියමු. ටීවී එකෙන් හරි, පත්තරෙන් හරි නිරන්තරේ දකින ආකිටෙක් කෙනකුට (architect ගෘහ නිර්මාණ ශිල්පියෙකුට) ගාණක් දීල, ප්ලෑනක් අන්දගෙන, ඇස්තමේන්තුවකුත් අරන්, ඒක පාස් කර ගත්තයි කියමුකෝ. හොඳයි කියමුකො බලන්න අද කාලේ බාස් කෙනෙක් හොයා ගන්නෙ කොහෙන්ද කියල”මෙහෙම කියමින් මාත් එක්ක සංවාදයකට ආපු පුද්ගලයා මෙන්ම ඒ අදහස දරන අය අද සමාජයේ බොහෝ ය. පවතින ජන මතයට අනුව අද හොඳ බාස්සුන්නැහැ කෙනෙක් යනු එතරම්ම දුලබ වස්තුවකි.

“පඳුරකට ගලක් ගැහුවොත් බාස්ල දහදොළොස්දෙනෙක් විතර එළියට පනී. ඒත් වැඩකාරයෝ එක්කෙනෙක්වත් නැහැ.” “ඌ බාස් නෙමේ මකබාස්” “එයාගේ කතාවට අපි මුලින්ම හිතුවෙ මේ නම් විස්මකර්මයෙක් කියලයි. පස්සෙයි තේරුනේ, වැඩ දන්නෙ නැති මෝඩයෙක් කියල. කෙලින් හැන්දක් අල්ලගන්න බැහැ. ඒත් කතාව නම් ඉංජිනේරුවෙක් වගේ, මිනිහා අපේ ගේ කෑව. අපි නම් එයාව රෙකමන්ඩ් කරන්නෙ නැහැ කාටවත්.

ඒ දැක්වෙන්නේ අද සමාජයේ බහුතරයක් දෙනා බහුතරයක් බාස්ලා ගැන දරන ආකල්පයයි.

පුවත්පතක් අරගෙන බැලුවහොත් එසේත් නැත්නම් ජනාකීර්ණ නගරයක විදුලි පහන් කණුවක ඇලවූ ඒ 4 ප්‍රමාණයේ ෆොටෝ කොපි පෝස්ටර් අතර බැලුවහොත් ගොඩනැඟිලි ඉඳිකිරීම් පිළිබඳ හසල දැනුම ඇති ප්‍රවීණයන්ගේ සහ කොන්ත්‍රාත්කරුවන්ගේ දක්‍ෂතා කියන දැන්වීම් අතිමහත් ය.

නමුත් අද නිවසක් හදන්නට රිසි වැඩි දෙනෙක් ඒ දැන්වීම් ගැන එතරම් විශ්වාසයක් නොතබති. ඔවුන් කරන්නේ මෑතකදී නිවසක් හැදූ හෝ හදන්නට පටන් ගත් තම මිතුරෙකුගේ හෝ නෑදෑයෙකුගේ බාසුන්නැහැ ගැන ඇස් ගසාගෙන සිට ඔහුව හොඳින් හෝ නරකින් ඩැහැ ගැනීමයි. මේ බව දත් නිසාදෝ ගෙය හදන්නට ගත් මිතුරා නිතරම කියන්නේ තම බාස්ගේ අගුණයම ය.

අපෝ වැඩ බැහැ, අපි අහුවුණා, කියන තරම් හොඳක් නැහැ. අපි මෙයාව යවල ගමෙන් කට්ටියක් ගේන්නයි ඉන්නේ ආදී වශයෙන් මුසාවාද පැවසුවත් බොහෝ විට අවසානයේ සිදුවන්නේ ද ඒ කීයූ දෙයමය.

පෞද්ගලික හිතවත්කම මත බාසුන්නැහැහේ කෙනෙක් සොයාදීම අද පවතින සුලබම ක්‍රමවේදයයි. තමන්ගේ ගේ කොතරම් අනර්ඝ ලෙස හැදුවත් වෙන පාර්ශ්වයක් වෙත රෙකමදාරු කරද්දී ඔවුන් පවසන්නේ හොඳට බලල වැඩේ කර ගන්න හරිද, ඉස්සෙල්ලාම ගාන කතා කර ගන්න. නිතර නිතර පස්සෙන් ඉඳල වැඩ බලන්න ඕනි වශයෙනි.

මුදල් හදල් වැඩිපුර ඇති ධනවත් අය තම ගොඩනැඟිල්ල හදා ගන්නට බාස්ලා පසුපස ගොස් කාලය නාස්ති නොකරති. ඔවුන් කරන්නේ කීර්තිමත් නමක් ඇති ප්‍රසිද්ධ ගොඩනැඟිලි කොන්ත්‍රාත් සමාගමකට එම කාර්යය පැවරීමයි. මෙසේ පැවරූ අය ද මට අන්තිමේ අපි අහුවුණා මචං කියා කියා ඇති අවස්ථා ද එමට ය.

උන් අපේ ඇස් වහල ගේම දුන්නේ. සංස්ථා කම්බි කියල කොන්ත්‍රාත් කම්බිනේ ස්ලැබ් එකට දාලා තියෙන්නේ. ගඩොල් බඳින්නයි සල්ලි ගත්තේ. ඒත් බ්ලොක් ගල් දාලා තියෙන්නේ. කපරාරුව අන්තිමයි. සිමෙන්ති අඩුවෙන් දාලා දැන් කුට්ටි කුට්ටි කඩන් හැලෙනවා.

ඇත්ත වශයෙන් ම මෙවැනි දේ කරන කොන්ත්‍රාත්තු බාස්ලා බොහෝය. හොඳට ගෙවල් හදන අයට ගන්නට නමක් දිනූ (branded) ගොඩනැඟිලි ද්‍රව්‍ය අද වෙළෙඳපොළේ ඇති අතර අඩු වියදමක් කර විකිණීමට හදන ගෙවල් සඳහා යෙදීමට බාල දේවල් ද අද වෙළෙඳපොළේ ඇත. කොන්ත්‍රාත් සිමෙන්ති, කොන්ත්‍රාත් කම්බි, කොන්ත්‍රාත් ගල් ලෙස හැඳින්වෙන්නේ ඒවාය. එහි මිල ගණන් අඩුය. හැබැයි පෙනුමෙන් එක සමානය.

අද බාස් උන්නැහැලා වැඩි දෙනෙක් ගාව නාම පත්‍ර හෝ ව්‍යාපාර පත්‍ර (name cards or business cards) ඇත. ඇම්. කේ. සරත් පෙරේරා කියා ඉහළින්ම නම මුද්‍රණය කොට ප්‍රවීණ ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරු කියා යටින් ඉරක් දක්වා ඉන්පසු නිවාස සෑදීම, සැටලිම ගසා කොන්ක්‍රීට් දැමීම, බිත්ති කපරාරුව, ටයිල් වැඩ, වහලය ගැසීම, පොටි ඇද පේලේන්ට් කිරීම (පේන්ට් කරනවාට ඔවුන් කියන්නේ ප්ලේන්ට් කියාය) උළුවහු දොර ජනෙල් සෑදීම ආදී එකී මෙකී නොකී සෑම දෙයක්ම කරන බවට එම කාඩ්පතේ යටින් මුද්‍රණය කොට තිබේ. බොහෝ අය ඉතා ලස්සන, සුඛෝපභෝගී ලස්සන නිවසක ඡායාරූපයක් ද මෙම කුඩා පතෙහි යොදන්නේ බලන අයෙක්ගේ ඇස් රැවටීමට ය. යොදා ඇති සෑම කාර්යක්ම ඔවුන් කරන්න දන්නවාද, එසේත් නැත්නම් ඒ ඒ විෂය සඳහා වෙන වෙනම බාස්ලා ඉන්නවාද කියා දන්නේ ඔවුන්ම ය.

කවදාවත්ම බිත්ති බඳින බාස්ට වහලෙ ගහන්න දෙන්න එපා. වහලෙ ගහන එකාට උළුවහු හදන්න දෙන්න එපා. ඒක හරියන්නේ නැහැ. බලන්න බාස්ලත් හරියට දොස්තරලා වගේ. බඩේ අමාරුවට එක දොස්තර මහත්තයෙක්. පපුවෙ අමාරුවට එක්කෙනෙක්. දත් දොස්තර දත්වලට. ඇස් දොස්තර ඇස්වලට. ආන් ඒ වගේ තමයි බාස්ලත්. ලස්සනට ගේ හදාගන්න ඕනි නම් අදාළ වැඩේට අදාළ කෙනාව යොදවන්න ඕනි. හැබැයි මේ ඔක්කොමලා මෙහෙයවන්න, හැම එකේම වගකීම ගන්න එක් කෙනෙක් ඉන්න ඕනි. එයා අප්සෙට් නම් ගේම අප්සෙට්.” මෙහෙම කිව්වෙ ගොඩගම ගාමිණී ඔහු ලී වැඩපළක් කරන දක්‍ෂ වඩු කාර්මික ශිල්පියෙක්.

හොඳ අත්දැකීම් ඇති දක්‍ෂ අවංක මේසන් බාසුන්නැහැලා ද අද නැත්තේම නොවේ. නමුත් වැඩිපුර ඇත්තේ කුමක් හෝ අටවා මහත්තුරු රවටා වහලා ගහන මකබාස්ලා ය. වත්මන් මේසන් බාසුන්නැහැලා පනස්දෙනකු සමඟ කතා කර ඔවුන්ගේ අධ්‍යාපන තත්ත්වය, සමාජ තත්ත්වය, ආකල්ප සහ හැසිරීම ගැන අධ්‍යයනය කළ අතර මට දැන ගන්නට ලැබුණේ ඒ අය අතරින් වැඩි දෙනෙක් ලියන්නට කියවන්නටවත් බැරි අය බවයි. ඉතා සුළු පිරිසක් එනම් පනහෙන් හත්දෙනෙක් පමණක් යන්තම් ඉලක්කම් දන්න පත්තරයක් කියවා ගත හැකි අය විය. මේ අය අතර සිටි උසස් පෙළ සමත් බාසුන්නැහැ කෙනෙක් ද මට හමුවිය. මොවුන්ගෙන් සියයට අනූවක්ම සිගරට්, බීඩි, අරක්කු, ගංජා, බුලත්විට, දුම්කොළ වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටියෝය. ඒ පනස්දෙනාගෙන් නව දෙනෙක් දැඩි ලෙස හෙරොයින් භාවිතා කරන්නෝ වූහ. ඔවුන්ගේ තත්ත්වය එසේ වෙද්දී ගෝලයන් යැයි කියා ගන්නා ඔවුන්ගේ සහායකයන්ගේ තත්ත්වය ඊට වඩා භයානක විය. ගමේ ගොඩේ හැදී වැඩී බාසුන්නැහැ පසුපස වැටී රස්සාවක් සොයා නගරයට ආ ගෝලයන් නම් අහිංසක, මෝඩ අය වූ අතර, නගරයේ ජීවත්වන ගෝලයන් බහුතරයක් අං ගිලපු අංගෝරන් විය. ඇඟේ පච්ච ඇති, හෙරොයින් උරන, නිතර නිතර හිරේ විලංගුවේ වැටෙන, හැබිචෝල්කාරයන් ගෝලකමට ගන්නට හොඳ බාස් කෙනකු කොතරම් අකැමැති වුවත්, නැතිකමට, එනම් පවතින ශ්‍රම හිඟකම නිසා මොවුන්ට රැකියාව ලැබේ.

රැකියාවක් සොයා එන අසරණයන් මුවාවෙන් වැඩ භූමිවලට පැමිණ දින තුන හතරක් හොඳින් මහන්සි වී බාසුන්නැහැලාගේ සිත දිනාගෙන වැඩ කර, වාඩිය අස්පස් කරගෙන, කෑම උයා පිහා දී, අන්තිමේ එහි ඇති රන් බඩු, මුදල්, ඇඳුම් වැනි දේ උස්සාගෙන පැදුරටත් නොකියා පලා යන ගෝලයන් ගැන ද අපට නිතර අසන්නට ලැබේ. මෙයට කලකට පෙර රත්ගම පැත්තේ එවන් කල්ලියක් සිටි අතර ඉන් කීපදෙනෙක් නිතර අපට හිරගෙවල්වලදී හමුවෙති. එහි නායකයා දැනට අප දන්නා මත්ද්‍රව්‍ය ප්‍රතිකාර කඳවුරක පුනරුත්ථාපනය වෙයි.

නගරයේ වැඩ කරන මේසන් බාසුන්නැහැ කෙනකුගේ අද දවසේ පඩිය රුපියල් තුන්දහස් පන්සීයේ සිට හාරදාහක් දක්වා වෙයි. ගෝලයාට දෙදහස් පන්සීයක්වත් දිය යුතුය. සමහරු කෑම, බීම සහ තේ පවා ඉල්ලා සිටී. කෑම පැය සහ තේ විවේකය සඳහා බාස්ලා පැය ගණන් ගන්නා නිසා බොහෝ අය කෑම සහ තේ ගෙදරින්ම සපයා දෙති.

ගම පැත්තට වන්නට දවසේ කුලිය එතරම් වැඩි නොවුණත්, බාස් කෙනෙක් රුපියල් දාහකට ආසන්න ගාණක් ඉල්ලා සිටී. ගෝලයාට ද හත්සීයක් පමණ දිය යුතුය. මෙවන් තත්ත්වයන් යටතේ ඔවුන් වැඩේ ඇදගෙන යන නිසා ගෙවල් හදන මහත්තුරු කරන්නේ කොන්ත්‍රාත් පදනම යටතේ වැඩේ භාර දීමයි. එය එක්තරා අන්දමක සාර්ථක ක්‍රියාවකි. එවිට අයිස් නොගසා, කාලය අපතේ නොයවමින් බාස්ලා ඉක්මනට වැඩේ කරති. නමුත් ප්‍රමිතිය කොතරම් දුරට යහපත් දැයි කිව නොහැක.

කොන්ත්‍රාත් බාස්ලා වැඩිදෙනෙක් ගාව අද රේට් කොළ කියා පත්‍රිකාවක් ඇත. මළ පොතේ අකුරු නොදනිතත් ඔවුන් කාට හෝ කියා මේවා සකස් කර මුද්‍රණය කර ගනිති. සැලැස්මක් ඇඳ, ගෙපැලක් කපා, ගෙට ගොඩවදිනු පිණිස සෑදූ නිවස ශුද්ධ පවිත්‍ර කරන තෙක් කළ යුතු සියලු කාර්යයන් සහ ඒ සඳහා අය කරන මිල ගණන් මෙම රේට් කොළයේ අන්තර්ගතය. උදාහරණ ලෙස ගෙපැල කැපීමට පන්දාහයි, සිමෙන්ති ඇනීම සඳහා කමත සෑදීමට තුන්දාහයි, පස් වැඩ එනම්, අත්තිවාරම් කැපීමට මෙච්චරයි ආදී වශයෙනි. මේවා දකින සාමාන්‍ය ජනතාවට නම් දවල් තරු පෙනෙයි. මිල ගණන් එසේ සුපිරි වූවාට වැඩි දෙනෙක්ගේ වැඩ නම් අපිරි හෝ නොපිරිය. අද වැඩ භාගෙට දමා මුදල් අරන් ගමේ පනින බාස්ලා වැඩිය.

බාසුන්නැහැලා අතරින් වැඩි දෙනෙක් ගමෙන් නගරයට ආ අයයි, ඔවුන්ගෙන් දැනගත් පරිදි ඒ අය තාම ගමේ හරියට ඉන්නට හිටින්නට වත් තැනක් හදාගෙන නැත. නමුත් ඔවුන් දිනකට රුපියල් දාස් ගාණක පඩියක් ගනී. වැඩක් සඳහා නගරයට ආ කල නවාතැන් පහසුකම් සඳහා වත්, කෑම් බීම් සඳහා වත්, ජලය, විදුලිය සඳහා වත්, වැඩිපුර ගෙවීමක් නොකළත් කවදාවත් අතේ ඉතිරියක් නැත. හැමදාම නැති බණේමය. අප විමර්ශනය කළ දේ අනුව මෙයට හේතු කීපයකි. ඉන් ප්‍රධාන කරුණ වන්නේ මත්පැන් පානය, දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතයයි. රේස් දැමීම, බූරුවා ගැසීම නිසා ද මුදල් ඉතිරියක් නැත. රීලෝඩ් දැමීම, දුරකථන ඇමතුම්
ලබාගැනීම නිසා ද මුදල් අත නොරඳන අය සිටිති. එසේම තවත් ප්‍රධාන කාරණයක් වන්නේ ගමේ සිටින මායියලාගේ කිසි සකසුරුවම්කමක් නැතිකමයි. මෙය බොහෝ බාසුන්නැහැලා අපට කී කරුණකි.

“අපි වෙලාවට ගෙදරට සල්ලි යවනවා මහත්තයෝ. ගෑනු තමයි ඒවා වියදම් කොරන්නේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කියනවා, ලයිට් බිල් කියනවා, බඩු මුට්ටු ගත්තයි කියනවා, සීට්ටුවට මෙච්චරයි කියනවා, ඒත් ඉතිරියක් නම් නැහැ”

ඒ අකුරැස්සේ සුගත් බාස්ගේ අඳෝනාවයි.

“අද බාස්ලා වැඩට එනකොට ගේන්නේ ලඹෙයි, හැන්දයි විතරයි. අනික් ඔක්කොම අපි දෙන්න ඕනි. හැබැයි යද්දි නම් යන්නේ අවශ්‍ය බඩුමුට්ටු ටික ඔක්කොම පිළිවෙළට යොදාගෙන” මෙහෙම කීවේ බාසුන්නැහැලගෙන් හොඳට මට්ටු වුණ කඳාන පැත්තෙ මහත්මයෙක්.

වැඩ බැරි වුණත් හොඳ ගතිගුණ ඇති බාස්උන්නැහැලා ද අද සමාජයේ සිටිති. සෙනවි ඒ සඳහා උදාහරණයකි. ඔහු ජයසිරි මහතාගේ ගෙදර පැමිණියේ කොන්ත්‍රාත් ක්‍රමයට උඩු මහල සදා දෙන්නටයි. දින දෙකකින්ම ජයසිරි මහත්තයා නිරීක්ෂණය කළේ සෙනෙවිට හරියට හැන්ද අල්ලන්න තියා බදාම ටික අනා ගන්නටත් බැරි බවයි. මේ බව ඉතා හොඳින් සාකච්ඡා මාර්ගයෙන් කියා දී වෙන බාස් කෙනෙක්ව වැඩට ගත් ජයසිරි මහතා සෙනෙවිට තම ව්‍යාපාරික ආයතනයේ ආරක්ෂක නිලධාරියකු වශයෙන් රැකියාවක් දුන්නේය. අද ඔහු එම රැකියාව කරන ගමන් ජයසිරි මහතාගේ ගෙදර වැඩට ද උදව් කරමින් විශ්වාසවන්තව ජීවත් වෙයි.

මාස කීපයක් බාස් කෙනෙක් සමග වැඩ කරන ගෝලයා බාස් නැති විටක හැන්ද අතට ගනී. ගලක් දෙකක් බැන්ද පසු ඔහු ද බාස් කෙනෙකි. ඉන්පසු ඔහු වෙනම කොන්ත්‍රාත් ගනී. සමහරෙක් දක්ෂ බාස් කෙනෙක් වෙයි, වැඩි දෙනෙක් අනාගනී.

අද සමාජයේ වංක, වනචර, කුපාඩි බාසුන්නැහැලා ද බොහෝය. කලකට පෙර නුගේගොඩ කන්දවත්ත පැත්තේ ගෙදරක් හදන්නට ආ බාසෙක් රූමත් නෝනාව දූෂණය කර මරා මහත්තයාව ද මරා නිවසේ තිබූ රත්තරන් බඩු පැහැරගෙන පලා ගිය අයුරු පත්තරවලින් දුටුවා ඔබට මතක ඇති.

මනෝ උපදේශනය සඳහා වරක් රූමත් තරුණ මවක් අප වෙත නව යොවුන් පාසල් සිසුවියක් යොමු කළාය. අගනුවර උසස් කාන්තා විද්‍යාලයක දහය වසරේ උගන්නා ඇය මහත් ප්‍රචණ්ඩකාරී ගති ඇති කෙල්ලකි. ඇඟේ ඇති නිරාවරණය නොවන පෙදෙස්වල පච්චා කීපයක්ද කොටා ඇති බවත් මෙම සිසුවිය සිගරැට්, බියර් ආදිය බොන බවත් ඒ අම්මා පවසා සිටියාය. අපෙන් ඉල්ලා සිටියේ ඒවා නවත්වා දෙන ලෙයයි. මගේ මනෝ උපදේශන සහයිකාවක් සමග එකතුව අප එම දැරිය සමග ගැඹුරින් කතා කළ අතර පැය ගාණක සැසියකින් පසු ඇය අපට විවෘත වූවාය.

“වහලෙ හදන්න ආපු බටගම බාසුන්නැහැ මට එක එක නරක දේවල් කරන්න ආවා. මං ඒ කාලෙ පොඩියි. තාත්තිත් රට නිසා මං අම්මට කියන්න බය වුණා. බටගම බාස් කීවා අම්මිට කීවොත් මරනවා කියලා. කොහොම හරි මං එයාගෙන් බේරුණා. ඒත් මගේ ඇහැටම දැක්කා දවසක් එයා අපේ අම්මිත් එක්ක නරක විදිහට කාමරේ ඉන්නවා. අම්මිත් බාස්ට සලකනවා වැඩියි.

අනේ අංකල් මේ කතාව දන්න බව අම්මිට නම් කියන්න එපා. මං එයාගෙන් පලිගන්න තමයි පච්ච කොටා ගත්තේ, සිගරැට් බොන්නේ. ඒත් මං හොඳට පාඩම් කරනවා. විභාගෙ පාස්වෙලා ඉංජිනියර් කෙනෙක් වෙනවා කවදාහරි, අර බාස්ව මං පොලිසියට අල්ලලා දෙනවා”

ඇයට පෙර අපි ඔහුව පොලිසියට අල්ලා දුන් අතර අද දැරිය හොඳ මට්ටමක සිටින බවට මගේ හිතවත් උපදේශිකාව මට මෑතකදී කියා සිටියාය.

අසාමාන්‍ය මනෝ විද්‍යාවට අනුව ඒ ළාබාල දැරිය දුටු ඍණ සිදුවීම් නිසා ලබන තම ආවේග පිට කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ ප්‍රචණ්ඩකාරී හැසිරීම සහ දුම්පානයයි. ඇගේ මව උජාරුවෙන් මෝටර් රථයක් පදවාගෙන පැමිණ අප bossරියේ සුදනියක් වෙන්නට හැදුවත් ප්‍රශ්නය ඇත්තේ ඇගේ නොහොබිනා ක්‍රියා කලාපය තුළයි.

අප මේ දේවල් අන්වර්ථ නම්වලින් කියන්නේ මෙවැනි දේ ඇත්තටම සමාජයේ සිදුවන නිසා, ඉන් තම දරුවන් බේරාගනු පිණිසයි.

විශාල වශයෙන් හිඟ මුදල් ගෙවීමට ඇති විට ඒවා ඉල්ල ඉල්ලා කරදර කරන බාස්ලා මුදල් වෙනුවට කප්පම් ලබාගන්නා අවස්ථා ද අපට වාර්තා වී ඇත. මහත්තයා රට නම් හෝ ඔහු අහිංසකයෙක් නම් බාස්ලා වැඩිපුර ගනුදෙනු කරන්නේ නෝනා සමගයි. නෝනලා රවටන බාස්ලා අද බොහෝය. මසේ රැවටීම නිසා මහත්තුරුන්ගෙන් හොඳට තුටි කා අන්තිමේ හිරේ විලංගුවේ වැටුණු අයත් එමටයි. අප දන්නා එක්තරා තරුණ කාන්තාවක් තම කොන්ත්‍රාත් බාසුන්නැහැට සහ නිවස සෑදීමට අවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය සැපයූ අයට මුදල් ගෙවීමට නොහැකිව ආර්ථික වශයෙන් හිරවී සිටිද්දී ඒවා කෙමෙන් කෙමෙන් පියවා ගත්තේ තම සිරුරේ පහස ඒ අයට විඳින්නට සැලැස්වීමෙනි. රූමත්, දක්ෂ නිළියක් වන මැය සිතුවාටත් වඩා හොඳින් අද තම ගෙය නිමකර අලංකාර කොට ඇත්තේ මෙම පහත් ක්‍රමවේදය අනුගමනය කළ නිසාය. මුදල් ගෙවීම ප්‍රමාද වූවොත් එසේ නැත්නම් සිත් අමනාපකම් තිබේ නම් විනාශකාරී දේ කිරීමට පෙලඹෙන බාස්ලා ද අද සිටිති, එදත් සිටියෝය. බිත්ති හතරක් අල්ලා කුරුස මූට්ටුව තැබීම, ගෙයි මහත්තයා (ගෘහමූලිකයා) විනාශ වන ලෙස වහලේ දොස් පරස් තැබීම, හූනියම් වැළලීම මින් කීපයකි.

දැඩි ආත්ම විශ්වාසයක් ඇති අයත් හොඳ සැදැහැවත් බෞද්ධයෝත් මේවා විශ්වාස නොකරති. මිත්‍යා මතවල නොයැපී තම ධර්මය මත රැඳී බොරු බියෙන් මිදෙති.

“සමිඳාණෝ ගෙය නොසාදන සේක් නම් සාදන්නෝ නිකරුණේ වෙහෙසෙති” කියා ධර්ම පුස්තකය පවසයි.

සතියෙන් සතිය බාස්ලා මාරුකරන අයත් සිටිති. එය නොකර බැරිවා මිස හොඳ කටයුත්තක් නම් නොවේ. අලුතින් එන බාස්ලා පවසන්නේ කලින් බාස්ලාගේ වැරදිය. එක්කෝ අත්තිවාරම හොඳ නැත නැත්නම් මුලු පරස් තිබෙන බව පවසයි. වහලේ දොස් ඇති බව කියයි. ඒ බාස්ව එළවා ගත් පසු ඊළඟට එන අනිකාට ද කියන්නට දේවල් ඇත. මොවුන්ගේ කතා අසා මනස අවුල් කරගත්, ගෙවල් හැදීම මග නවතා දැමූ අය ද සිටිති.

අප කුඩා කාලයේ සිටි බාස්උන්නැහේලා වැඩි දෙනෙක් ඉතා අවංක ඉතා දක්ෂ උදවියයි. ඔවුන් කෙරේ සියලු විශ්වාසය තබා මුළු නිවාස ව්‍යාපෘතියම භාරදී සිත් සැනසිල්ලේ වැඩට යෑමට එකල නිවෙස් හිමිකරුවන්ට හැකි විය. “ලොකු බාස්උන්නැහැ” නමින් ගෞරවාන්විතව ඔහුව හැඳින්වීමට කුදු මහත් සියල්ලෝ නොපැකිළුණු අතර ඔහු ද ඉතා අවංකව තමා භාරගත් වැඩේ නිම කරන තුරු වැඩ බිමේ රැඳී සිටියේය. නිවස සදා නිමකළ පසුත් දිගටම සම්බන්ධතා තබා ගන්නටත්, වෙන අය වෙත හඳුන්වාදීමටත් අපේ වැඩිහිටියෝ එකල පුරුදුව සිටියෝය. නමුත් අද කාලයේ වැඩකට ගෙන්නාගත් බාසෙක් නැවත හතර මායිමේ වද්දා ගන්නට කැමති නැත.

පිටස්තර අයෙක් හෝ කීපදෙනෙක් තම නිවෙස්වල රඳවා ගනිද්දී අප බොහෝ ප්‍රවේශම් විය යුතුය. ඒ අය අතර සොරුන්, වංචාකාරයන්, සල්ලාලයන් මෙන්ම මානසික විකෘතිතා ඇති අය ද සිටිය හැක. විශේෂයෙන්ම කුඩා දරු දැරියන් බාසුන්නැහැලා ගැවසෙන වාඩිවලට පාළු නිවාසවලට නොයවන්නේ නම් හොඳය.

ගෘහස්ථ වැඩබිම්වල සිදු වූ බාල අපහරණ, ළමා අපයෝජන, ලිංගික අතවර ආදිය නිතර නිතර අසන්නට ලැබේ. එමෙන්ම බූරුවා
ගසන්නට, කුණුහරුප කතා කියන්නට, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට, සමලිංගික සේවනයට වැනි දේට බහුතරයක් බාසුන්නැහැලා නැඹුරුවක් දක්වන නිසා දරුවන් ඒ අතරට යැවීමෙන් වැළකිය යුතුය. අද සමාජයේ සිටින සියලුම බාස්උන්නැහේලා එකම මිම්මට දමා ඔවුන් ඔක්කොම පහත් අය බව අපි නොකියමු. මෑතකදී එවන් යහපත් අයෙක් මට හමු නොවුණත් අනන්තවත් හොඳ අය ඔබට නම් හමුවනවා ඇත. කෙසේ වෙතත් අප සියල්ලෝම හැඟීම්, දැනීම් ඇති පෘථග්ජනයන් නිසා වරදින අවස්ථා බොහෝය. බාස්උන්නැහේලා ද මනුස්සයන් නිසා අවරයට යන අයෙක් දුටු කල ඔහුට කතා කොට වරදින් මුදා ගන්නට හෝ බැරිම නම් මුලින්ම ඔහුගෙන් ඉවත්වීමට තරම් ඔබ තුළ ඍජු බවක් තිබිය යුතුයි.

මිත්‍ර ශ්‍රී කරුණානායක
Internationally Certified Addiction Professional
National Trainer in Addiction Science

advertistmentadvertistment
advertistmentadvertistment