ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට පාසලෙන් වතුර ගත්තාට සමාගමකට ලක්‍ෂ 7 1/2ක් දඩ

136

ගාල්ල නගරයේ ප්‍රසිද්ධ බාලිකා විiාලයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී වංචනික ලෙස ජලය ලබා ගත් කොන්ත්‍රාත් සමාගමකින් රුපියල් හත්ලක්ෂ පනස්දහසක දඩයක් අයකර ගැනීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු කර ඇත.

මෙම ප්‍රසිද්ධ කොන්ත්‍රාත් සමාගම ජල සම්පාදන මණ්ඩලය මගින් පාසලට නොමිලේ ලබාදෙන ජලය වංචනික ලෙස භාවිත කරමින් ගොඩනැගිල්ල ඉදි කර ඇති අතර එයින් මණ්ඩලයට අහිමි වූ ආදායම ලෙස මෙම දඩ මුදල අය කර ගෙන තිබේ.

පසුගිය වසරේ මෙම දඩ මුදල පනවා ඇතත් සමාගම දිගින් දිගටම දඩ මුදල ගෙවීම පැහැර හැර තිබේ. දඩ මුදල අය කර ගැනීමට නඩු පැවරුවහොත් පාසලට සිදුවන අපකීර්තිය සැලකිල්ලට ගෙන ජල සම්පාදන මණ්ඩල නිලධාරීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ ප්‍රධාන ගණකාධිකාරී දැනුවත් කර එම දඩ මුදල අය කර ගැනීමට කටයුතු කර තිබේ. ඒ සඳහා සඳහා යම් කාලයක් ගත වූ බව ද පැවසේ.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමේදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යධිකාරී (අයකිරීම්) ඒ. වීරසිංහ මහතා කියා සිටියේ අදාළ ඉදිකිරීම් සමාගමට දඩ පනවා වසරකට පමණ පසු එය අය කර ගැනීමට හැකි වූ බවත් අනවසරයෙන් ජලය ලබා ගැනීම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන තීව්‍ර කර ඇති බවත් ය.

ජලසම්පාදන මණ්ඩලය පාසල්වලට නොමිලේ ජලය සපයන්නේ පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ පරිහරණය සඳහා මිස කොන්ත්‍රාත් සමාගම්වල ඉදිකිරීම් හෝ වෙනත් වාණිජ කටයුතු සඳහා නොවන බවද, නිල නිවාස, ආපන ශාලා, මුදල් අය කෙරෙන පිහිනුම් තටාක වැනි දෑ සඳහා මණ්ඩලය නොමිලේ ජලය සපයන්නේ නැති බව ද කී වීරසිංහ මහතා, ඒ සම්බන්ධයෙන් පාසල් පාලනාධිකාරිය ද දැනුවත්ව කටයුතු කළ යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment