ගොඩහේවා තෙල් පැල්ලම සහ ගම්මන්පිල තෙල් පැල්ලම

241

අපේ රටේ පරිසරය සහ ජාතික ආර්ථිකය ගඳ ගහන තෙල් පැල්ලම් දෙකකින් දුර්වර්ණ විය. පළමුවන තෙල් පැල්ලම හටගන්නේ එක්ස්ප‍්‍රස් පර්ල් නැව ගිනි ගැනීමෙනි. එය ගිලී යෑමෙන් පසු ඉන් නික්මුණු තෙල් නිසා එම ගිලීයෑම සිදුවූ සාගර ප‍්‍රදේශයේ විශාල තෙල් පැල්ලමක් හටගෙන ඇති බව ඒ පිළිබඳ චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යනයකින් පසු ස්කයි නමැති ජාත්‍යන්තර පුවත් සේවය මගින් ප‍්‍රචාරය කෙරිණ. එවිට මේ තෙල් පැල්ලම වෙනුවෙන් කතා කිරීම සඳහා කදිම ප‍්‍රකාශයෙක් මතුවිය.

එම ප‍්‍රකාශකයා වූ කලී ප‍්‍රාමාණික උගතකු ලෙස අප විසින් මෙතෙක් කලක් වරදවා වටහාගෙන සිටි ආචාර්ය නාලක ගොඩහේවා ය. බැලූ බැල්මට ගොඩහේවා සුපිරි වැඞ්ඩෙකි. රාජපක්ෂවරුන් මෙයට පෙර ආණ්ඩු කළ සමයේදී රජයේ ඉහළ තනතුරු ගණනාවක් දැරූ ගොඩහේවා අයි ටී ඉංජිනේරුවෙකි. අර්ථශාස්ත‍්‍රඥයෙකි. ව්‍යාපාර කළමනාකරුවෙකි. එක්ස්ප‍්‍රස් පර්ල් නැව නිසා හටගත් තෙල් පැල්ලම ඉතා කුඩා එකක් බවත් එක්ස්ප‍්‍රස් පර්ල් නැව ද පුංචි නැවක් බවත් ඔහු කීවේය. මේ මොහොතේදී ගොඩහේවා වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමැතිවරයා ය. වියත් මගේ සාමාජිකයකු වූ ඔහු යහපාලන ආණ්ඩුව පරාජය කිරීමේ වැඩපිළිවෙළේ වීර සෙන්පතියකු ලෙස සිට ආණ්ඩු බලය සහ ඇමැතිකම ලැබුණු ගමන් දුරකථන ඇමතුමකටවත් උත්තර නොදෙන පරිදි අතුරුදන් විය. ඊළඟට ඔහු නැවත වතාවක් මතුවන්නේ එක්ස්ප‍්‍රස් පර්ල් නැව ගිලී ගිය සාගරයේ හටගත් තෙල් පැල්ලම තුළිනි.

ඔහු තෙල් පැල්ලම වෙනුවෙන් කතා කිරීම සඳහා සාගරයෙන් ගොඩට එන්නේ ඇඟ පුරාම තෙල් ගාගෙනය. මෙවැනි තෙල් පැල්ලම් ඕනෑම නැවක් වටා දැකිය හැකි බවත් ඒ ගැන විශේෂඥ මත පළ කිරීමට තමා අකැමැති බවත් ගොඩහේවා කියයි. ඇත්තම කතාව නම් එවැනි විශේෂඥ මතයක් පළ කිරීම සඳහා අවශ්‍ය කරන තෙල් කාන්දු පිළිබඳ දැනුම ඔහුට නොමැති වීමය. අයි ටී ඉංජිනේරුකම සහ ආර්ථික විද්‍යාව යන විෂයන් දෙක සමග තෙල් පැල්ලම්වල සම්බන්ධයක් නැත. මේ අනුව මේ තෙල් පැල්ලම කුඩා පැල්ලමක් ලෙස ඔහු විසින් පවසනු ලැබීම හිඟන දේශපාලන මතයකි. එක්ස්ප‍්‍රස් පර්ල් නැව 2021 පෙබරවාරියේදී දියත් කරන ලද බ‍්‍රෑන්ඞ් නිව් භාණ්ඩයකි. මෙහි දිග අඩි 610 කි. බර ටොන් 36,000 කි. අඩි 20 කන්ටේනර් 2756 ක් මෙහි පැටවිය හැක. එසේ නම් මෙය කුඩා නැවක් බව ගොඩහේවාට පෙනී යන්නේ නම් ඔහු වහාම මහ රෝහලට ගෙන යා යුතුය. මෙතරම් ලොකු දේවල් කුඩාවට පෙනීම දරුණු රෝගයකි.

ඇත්තටම එක්ස්ප‍්‍රස් පර්ල් නැව ගිනි ගැනීම සහ එහි තිබූ තෙල් සහ රසායනික ද්‍රව්‍යය සමුද්‍ර ජලයට කාන්දුවීම වැඩිදුර ගණන් ගතයුතු නැත. මහා සමුද්‍රය යනු යෝධ ජල පරාසයකි. එක්ස්ප‍්‍රස් පර්ල් නැව් ලක්ෂයක් මහා සාගරයේ ගිලූන ද ඒවායෙන් නිකුත් වූ රසායනික ද්‍රව්‍යය සහ වෙනත් අපද්‍රව්‍යය කාලයාගේ ඇවෑමෙන් සමුදුරු ජලය සමග මිශ‍්‍ර වී අංශුවක් පවා හොයාගැනීමට බැරි තත්ත්වයට පත්වන්නේය. මෙය බේරේ වැවට චූ කලා වැනි තත්ත්වයකි. කිසියම් අමනයකු බේරේ වැවට චූ කළොත් එය බේරේ වැවටවත් දැනෙන්නේ නැත. එහෙත් එය කාලකණ්ණි වැඩකි. මෙහිදී කිසිවෙක් ඉදිරිපත්ව බේරේ වැවට චූ කිරීම චූටි චූටි වැඩක් යැයි කීවොත් ඉන්තේරුවෙන්ම එය කියන එකා ගොනෙකි. කළ යුත්තේ ප‍්‍රසිද්ධ ස්ථානයක තිබෙන ජලාශයකට මළ මුත‍්‍ර බැහැරකිරීම සදාචාර විරෝධී නීච වැඩක් බව පිළිගැනීමය. එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ තෙල් පැල්ලම පිළිබඳ කතන්දරයත් මෙයමයි. ඒ තෙල් පැල්ලම චූටි එකක් බව කීමෙන් නාලක ගොඩහේවා ගේ ගොන්කම කොතරම් විශාල ද යන්න එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ ගින්නටත් වඩා විශාල බව අපට හැඟී යන්නේය.

මීළඟට අප කතා කරන්නේ දෙවන තෙල් පැල්ලම ගැනයි. එම තෙල් පැල්ලම හටගන්නේ ආණ්ඩුව හදිසියේම තෙල් මිල වැඩි කිරීමෙනි. මේ මොහොතේ ඛනිජ තෙල් ඇමැති උදය ගම්මන්පිල ලොකු ලෙඩක් දාගෙන ඇත. පෙට‍්‍රල් රුපියල් විස්සකින් ද ඞීසල් රුපියල් හතකින්ද වැඩි කරන තැනට ඔහු තල්ලූ විය.

තෙල් මිල වැඩි කිරීමේ තීරණය ගෙන ඇත්තේ උදය ගම්මන්පිල සහ ඔහුගේ පවුලේ අය යැයි කිසිවෙක් කල්පනා කරනවා ඇත. එහෙත් එය ආණ්ඩුවේ සාමුහික තීරණයක් බව සියලූ දෙනා දත යුතුය. වඩාත්ම නරක වැඬේ නම් කොරෝනා වසංගතයෙන් රට දේශපාලන සහ ආර්ථික මළ විකාරයක් බවට පත්ව ඇති මේ මොහොතේදී තෙල් මිල වැඩි කිරීමය. රට නිල නොවන ඇඳිරිනීතියක් යටතේ පවතී.

තව මාස හයකින් කොරෝනා රෝගීන් මිලියන තුනක්වත් සමාජයේ සිටින බව ඇතැම් වෛද්‍යවරුන්ගේ පුරෝකතනය වී ඇත. රටවැසියන්ට කන්නට තිබෙන හැම බඩුවක්ම ගිනි ගණන් ය. කිලෝව රුපියල් දෙසීයට අඩුවෙන් ගත හැකි එකම එළවළුව පිපිඤ්ඤා පමණි. දහඅට වන සියවසේ එංගලන්තයේ කම්කරු ජනතාවගේ දෛනික ආහාරය පළමුවත් දෙවනුවත් තෙවනුවත් අර්තාපල් ය. අර්තාපල් තම්බා හෝ පුළුස්සා හෝ අමුවෙන් හෝ කෑමේ අයිතිය පමණක් කම්කරුවන්ට තිබිණි. තෙල් මිල වැඩිවීම නිසා සෙසු සියලූ ආහාර පාන මිල වැඩිවීමට නියමිත මේ මොහොතේදී අපේ රටේ ධනපති පවුල් හයසීයක් හැරුණු විට සෙසු අයගේ දෛනික ආහාරය බවට පළමුවත් දෙවනුවත් තෙවනුවත් පිපිඤ්ඤා පත්වීමට ඉඩ ඇත. පිපිඤ්ඤා උයා කෑම සලාද හදා කෑම සහ අමුවෙන් කෑම යන අවස්ථා තුන පිළිබඳ නිදහස පමණක් ජනතාවට හිමිවනවා ඇත.

යහපාලන ආණ්ඩුව තෙල් මිල වැඩිකළ සෑම අවස්ථාවකදීම එවකට විපක්ෂය වූ පොහොට්ටුව එයට බරපතළ ලෙස විරුද්ධ විය. එහි මන්ත‍්‍රීවරු බක්කි කරත්ත වලින්ද බයිසිකල්වලින්ද පාර්ලිමේන්තු ගියහ. මේ මොහොතේදී අපගේ ජාතිකවාදී සහ ප‍්‍රගතිශීලී දේශපාලන මිත‍්‍රයා වන උදය ගම්මන්පිල වහා සැඟවිය යුතුය. කිසිවෙක් ඔහු අල්ලා බක්කි කරත්තයක බැන්දොත් අපට කරන්නට දෙයක් නැත. එයින් ගැලවීම සඳහා ඔහු කළ යුත්තේ තෙල් මිල වැඩි කරන ලෙස තමන්ට උපදෙස් දුන්නේ කවරෙක්ද යන්න හෙළි කිරීමය.

advertistmentadvertistment
advertistmentadvertistment