ගොඩ එන්න එකම මඟ IMF පමණයි – ජනපති කියයි

130

ශ්‍රී ලංකාව චිනයෙන් හා ඉන්දියාවෙන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට දරන උත්සාහය කිසිසේත් අතහැර නැති බවත් චීනයේ එක්සිම් බැංකුව හා පැවැති සාකච්ඡාවලින් පසු ඔවුන් සමග අදහස් හුවමාරු කර ගැනීම දැන් සිදුවන බවත් ඉන්දීය විදේශ ඇමැතිවරයා ලබන 19 දා මෙහි පැමිණීමෙන් පසු ඔහුත් සමඟ සිදු කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවදුරටත් සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

රට පත්ව ඇති ආර්ථික අවුලෙන් ගොඩඒමට තිබෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාහාය පමණක් බවත් එම මාර්ගයේ යනවාද, තවදුරටත් වැටී සිටිනවාද යන තීන්දුව ගත යුතුව ඇති බවත් ජනාධිපතිවරයා පවසයි.

සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20 ක් සඳහා මාර්තු – අප්‍රියෙල් මාසවල සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් අරඹා ඇති බව ද හෙතෙම පැවසීය

2024 වනවිට බලාපොරොත්තු වර්ධනය කරගත හැකි වුවත් එතෙක් සියලු දෙනාටම අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවන බව ද වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සිකුරාදා (13 දා) පැවත්වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

අපි ඉන්නේ කඩාවැටණු ආර්ථිකයක් ඇති රටක. ආර්ථිකය කඩාවැටුණු රටක ජනතාවට විඳීමට සිදුවන දුෂ්කරතා අමුතුවෙන් කිවයුතු නැහැ. අද රටේ ජනතාව විඳින දුක මම හොඳට දන්නවා. අපි දකිනව රැකියා අඩුවෙනවා, උද්දමනය නිසා විශේෂයෙන් ජීවන බර වැඩිවෙලා තිබෙනවා. ජනතාවගේ ජීවන චර්යාව වෙනස් වෙනවා. එදා තිබුණු පහසුකම් නැතිවෙලා තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය සෑම ක්‍ෂේත්‍රයකටම මෙය බලපා තිබෙනවා. මේ හැම එකක්ම මේ ආර්ථිකය කඩාවැටීම සමග ඇතිවන තත්ත්වයන්. මෙය සිදුවූයේ කෙසේද කියා දැන් කතා කරල වැඩක් නැහැ. දැන් එය සිදුවී අවසන්.

දැන් අපට තිබෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පමණයි. නැත්නම් අපට ගොඩඑන්න බෑ. අපි එම මාර්ගයේ යනවා ද නැතිනම් වැටී සිටිනවා ද යන්න අප තීරණය කළ යුතුයි. මම උත්සාහ කරන්නේ මේ වැටී ඇති රට ඉක්මනින් ගොඩගැනීමටයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අපි මේ වන විට සිදු කරගෙන යනවා. අපි ණය ලබාගත් ප්‍රධාන රටවල් තුන වන ජපානය, චීනය සහ ඉන්දියාව අතරින් ජපානය සමඟ පැවැති සාකච්ඡා අවසන් වී තිබෙනවා. අපි චීනයේ ෑඞෂඵ බැංකුව සමග මේ සතියේ සාකච්ඡා කළා. දැන් අපි ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා මෙම 19 වැනිදා ලංකාවට එනවා. ඔහුත් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කරනවා. අපි පියවරෙන් පියවර මෙම කටයුතු ඉදිරියට කරගෙන යනවා.

මෙම සාකච්ඡා අවසන්වීමෙන් පසු අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.7 ක් වාරික තුන හතරකින් ලැබෙනවා. ඊට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව යන මේ සියල්ලෙන් තව බිලියන පහක් පමණ ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව මේ වසර අවසානයේදී ජපානය සමග විවිධ වැඩසටහන් ගණනාවක් නැවත ආරම්භ කළ හැකියි. අපි ඒ කටයුතු කරගෙන යනවා.

ඒ සමඟම තව එක ප්‍රශ්නයක් තිබෙනවා. ගෝලීය වශයෙන් යුරෝපයේ සහ ඇමරිකාවේ ආර්ථික වර්ධනය දැන් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. එම තත්ත්වය තුළ ලබන වසරේදී අපේ අපනයන වෙළෙඳපොළ අඩුවිය හැකියි.

අපි අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කරගත යුතුයි. මේ වසර අවසන් වනවිට රටේ ආදායම වැඩිකර ගැනීමට අපට හැකියාව ලැබෙයි. එවිට ජනතාවට යම් සහන ලබාදිය හැකියි. ඊට පෙර රටේ ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. ඒ සඳහා රාජ්‍ය අංශය පමණක් නොව පුද්ගලික අංශය ද ශක්තිමත් විය යුතුයි. නැතිනම් එතැන පරතරයක් ඇතිවෙනවා යැයි එහිදී පවසා තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment