ගොඩ යන ක‍්‍රමය

1220

අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නැතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ පසුගිය දිනකදී පැවසී යැයි කියනු ලැබේ. ඒ කතාවත් ඇත්ත. ඇත්තේ බඩු හිඟයක් නොව සල්ලි හිඟයකි. ඒ නිසා බඩු හිඟයක් තිබේ යැයි කියන අමූලික බොරුව පැතිර වූ අයට දැඩි දඬුවම් දිය යුතුය. බඩු ඉතා බහුල වීම නිසා ඒවා මිලට ගැනීමට දීර්ඝ පෝලිම් රට පුරා තිබේ. විදුලිය සහ ජලය කම්බි සහ පයිප්ප දිගේ නාවේ නම් ඒවා ගැනීමට ද ලයිට් කණු සහ ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිට පෝලිම් හට ගැනීමට ඉඩ තිබිණ. මේ වෙලාවේ ශ‍්‍රී ලංකාවට ඇත්තේ අවජාතක ආර්ථිකයකි. මේ ආර්ථිකයේ පීතෘභාවය භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත. ආර්ථික අර්බුදය පිළිබඳ වගකීම භාර ගැනීමට අකැමැති ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ තමන් හෝ ආණ්ඩුව ආර්ථික අර්බුදයට වග නොකිවයුතු බවකි. මේ රටේ ආර්ථික අර්බුදය මේ ආණ්ඩුව රට භාර ගැනීමෙන් පසු හටගත් බව විරුද්ධ පක්‍ෂයේ මතය වේ. ඔවුන් කියන්නේ යහපාලන ආණ්ඩු කාලයේදී මේ රට ශක්තිමත් ආර්ථිකයකින් සමන්විත වූ බවය. ආර්ථික අර්බුදය නිසා ජනතාවට විවිධ මත පහළ වන්නට පටන්ගෙන තිබේ. මෙයට කලකට පෙර ජනතා මතය වූයේ මහින්ද රාජපක්‍ෂ යුද්ධයේ ජයග‍්‍රාහකයා බවය. ඉකුත් ජනාධිපතිවරණයේදී ජනතා මතය වූයේ ගෝඨාභය රාජපක්‍ෂ යුද ජයග‍්‍රාහකයා බවය. මේ අතර ඇත්තෙන්ම යුද ජයග‍්‍රාහකයා තමා බව සිතූ සරත් ෆොන්සේකාට ඒ සිතුවිල්ල නිසාම හිරේ ලැගීමට ද සිදුවිය. මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියාව ආක‍්‍රමණය කළ බව ඇත්තකි. එහෙත් ඒ ආක‍්‍රමණය සඳහා ග‍්‍රීසියේ සිට මහ ඇලෙක්සැන්ඩර් එන්නේ අශ්වයා පිට නැඟී කඩුවක් හා පලිහක් රැුගෙන හුදෙකලාව නොවේ. ඔහු පිටුපසින් ලක්‍ෂ ගණනක හමුදාව ඉන්දියාවට පැමිණියහ. එහෙත් අප කතාවට කියන්නේ මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ජයගත් බවකි. ෆොන්සේකා යුද්ධය දිනූ බවකි. මහින්ද රාජපක්‍ෂ යුද ජයග‍්‍රාහකයා බවකි. ගෝඨාභය රාජපක්‍ෂ යුද ජයග‍්‍රහණයේ රණවිරුවා බවකි. රාජපක්‍ෂ ආණ්ඩුව තමන් විසින් ගෙන්වන ලද යුද අවිවලින් යුද්ධය ජයග‍්‍රහණය කළ බවක් චන්‍ද්‍රිකා කියා තිබේ. හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන කියන්නේ යුද ජයග‍්‍රහණයේ අවසන් කොටසේදී තමන් නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති හැටියට කටයුතු කළ බවය. ඒ මොහොතේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පිටරට සංචාරයක නිරතව සිටියේය. දේශපාලනඥයෝ විවිධ අවස්ථාවල විවිධ දේ කියති. ඒවා ඉතා අසමානය. ඒ සියල්ල එකතුකොට විනාකිරි නොදමාම අච්චාරු සෑදිය හැකිය. ජනතාව හැමදාමත් මේ අච්චාරු කන්නේ නැත. මන්ද කඩපිලේ ඇති, පොළේ ඇති අච්චාරු මෙන් දේශපාලන අච්චාරු කවදාවත් ජනතාවට දිරවා නැත.

 ශ‍්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයේ ප‍්‍රමුඛ වගකිවයුත්තා කෝවිඞ් – 19 බවට මතයක් පවතී. මෙය ආණ්ඩු පක්‍ෂය විසින් ඉතා ප‍්‍රවේශමෙන් නඩත්තු කෙරුණු මතයකි. ශ‍්‍රී ලංකාව යනු සංවර්ධනය වන රටකි. කෝවිඞ් හැදුණු සංවර්ධනය වෙමින් පවත්නා අප බඳුම රටවල් රැුසක් ලෝ පුරා තිබේ. මේ රටවල් වැඩි හරියක් ස්වකීය විදේශ ණය අඩු මට්ටමක තබා ගැනීම නිසා ඩොලර් අර්බුදයට මැදි වුණේ නැත. මේ ආණ්ඩුවට සිදු වුණේ ඊට පෙර සිටි ආණ්ඩු කළාක් මෙන් සංවර්ධනය සඳහා විශාල වශයෙන් විදේශ ණය ගැනීමය. 1977 න් පසු මේ රටේ බලයට ආ සියලූම ආණ්ඩු කෑවේ ණයට ය. එසේ ණය ගැනීම අපට පුරුදු කළේ සංවර්ධනය නමැති ප‍්‍රගතිශීලී ආකල්පයක් විසිනි. මේ ආකල්පය හරියටම පරිහරණය කළ අය ජයගත් අතර, වැරදියට පරිහරණය කළ ලංකාව වැනි රටවල් හොඳටම කෙළවා ගත්හ. 1977 න් පසු බලයට ආ ආණ්ඩු බලයට ආ දවසේ පටන්ම පිටරටවලින් ණය ගත්හ. ඒ ණය ගෙවීම ඊළඟ ආණ්ඩුවට බාර කළහ. ඊළඟ ආණ්ඩුව කවදාවත් මේ ණය මුළුමනින් ගෙව්වේ නැත. ඔවුන් ඒ ණයෙන් සුළු කොටසක් ගෙවන අතර, එසේ ගෙවූ සුළු කොටස මෙන් සිය ගුණයක් යළි ණයට ගත්හ. ඉන් පසු ඒ ණය ගෙවීම ඊළඟ ආණ්ඩුවට බාර කොට අතට ලැබුණු කොමිස් මුදල් සාක්කුවේ දමාගෙන පැරදී ගෙවල් බලා ගියහ. ඔවුන් ඇත්ත වශයෙන් ම පැරදී තිබුණේ ඡුන්දයෙන් පමණි. ඔවුන්ගේ සාක්කු හැමවිටම මිල මුදලින් පිරී තිබිණ. තම බිරිඳගේ උපන් දිනයට BMW රියක් තෑගි කළ බව මොණරාගල පොහොට්ටු මන්තී‍්‍ර ජනක තිස්සකුට්ටිආරච්චි පවසා තිබේ. ඔහු මොන තරම් හොඳ සැමියෙක් ද? මෙතුමා මේ රටේ ස්වාමිපුරුෂයන් සියලූ දෙනාටම පරමාදර්ශයකි. හැබැයි මෙරටේ හැම සැමියෙක්ම ස්වකීය බිරින්දෑවරුන්ට BMW අරන් දෙන්නට ගියොත් මේ රට BMW රථ ගාලක් බවට පත්වෙන නිසා සෙසු සැමියන් සිය බිරියන්ට BMW තෑගි කිරීමෙන් වැළකී සිටිනවා විය යුතුය. මේ රටේ ගෙවල් වැඩි හරියකට BMW තබා රෝද දෙකේ පාපැදියක්වත් නැත්තේ එම කාරණය නිසා වන්නටත් පුළුවන.

 මේ ආණ්ඩුව ඉතාම වාසනාවන්ත ආණ්ඩුවකි. මුල් වතාවේදී මේ ආණ්ඩුව ගොඩයන්නේ කොවිඞ් – 19 ඇපයට තබමිනි. මීළඟ වතාවේ යුක්රේන් යුද්ධය පාවිච්චි කර ඔවුන්ට ගොඩයන්නට පුළුවන. එහෙත් යුක්රේන් යුද්ධය හැමදාමත් පවතින්නේ නැත. එක්කෝ රුසියාව විසින් යුක්රේනය යටත්කර ගැනීම නිසා තව දින කිහිපයකින් එම යුද්ධය නවතිනු ඇත. නැත්නම් තව දින කිහිපයක් තුළ ලෝක යුද්ධයක් බවට පත්ව මුළු ලෝකයම දූවිලි බවට පත් කරමින් එම යුද්ධය අවසන් වනවා ඇත. අප දැනට සිටින තත්ත්වය හැටියට වඩා සාධනීය යුද අවසානය වනු ඇත්තේ දෙවැන්නය. ඊට කලින් ලෝක විනාශයක් ආවොත් වඩාත් ඉක්මණින් ගොඩ යෑමට අපට පුළුවන.

advertistmentadvertistment
advertistmentadvertistment