ගොන් තඩි…. (අරාජික සමාජයක තරම)

402

මේ දිනවල රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් ඇසෙන, පත්තරයෙන් කියවන බොහෝ ප‍්‍රවෘත්ති පිළිබඳව අපට දැනෙන්නේ මහා අපුලකි. ඒ ගැන සිහි නුවණින් කල්පනා කර බලන විට ඇත්තටම මේ අප සිටින්නේ ශ‍්‍රී ලංකාව නම් දහම් ද්වීපයේද කියා දෙගිඩියාවක් ඇති වේ. කොටින්ම විකාශනය වන ඇතැම් ප‍්‍රවෘත්ති පවුලේ අයට එකට සිට නැරඹිය නොහැකි තරමටම ජුගුප්සාජනක ඒවා වේ. ඇත්තටම රටේ දැන් සිදුවන දේවල් පිළිබඳව පුරවැසියන් ලෙස අප ලජ්ජාවට පත්විය යුතුව ඇත.
 
 පුදුමය නම් මේ බොහෝ සිද්ධීන්වලට සම්බන්ධව සිටින්නේ එක්කෝ නීතිය රකින්නට සිටින පොලිසියේ, හමුදාවේ වැනි රාජ්‍ය නිලධාරීන්ම වීම ය. නැතහොත් ප‍්‍රාදේශීය සභා, නගර සභා වැනි පළාත් පාලන ආයතනවල ඒ ඒ ප‍්‍රදේශවල ප‍්‍රථම, දෙවන පුරවැසියන් යයි කියන අය විසින් තම දේශපාලන හා බලපුළුවන්කාරකම් ප‍්‍රයෝජනයට ගෙන සිදුකරනු ලබන නොපනත්කම් ය.
 
 කොටින්ම මේ රට දුරාචාරයේ, ස්ත‍්‍රී දූෂණයේ, හොර මැරකමේ, අල්ලස් දූෂණයේ, මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ, පාතාලයේ, කුලියට මිනී මැරීමේ රජ දහනක් බවට තවදුරටත් පත්වෙමින් තිබෙන අතර, රට කරන පාලකයින් සමාජයට සිදුවන මේ මහා අපරාධය පිළිබඳව සැහැල්ලූවට ගෙන ක‍්‍රියාකිරීම කිසිසේත් අනුමත කරන්නට හැකි කාරණයක් නොවේ. නොහොත්, තවදුරටත් මේ සමාජ අපරාධ රැුල්ල සිදුවීමට ඉඩදීමෙන් රට කොහෙන් නතර වේදැයි කියන්නට නොහැකිය.
 
 පසුගිය දින, සති කිහිපයේ මෙසේ සිදු වූ සිද්ධීන් කිහිපයක් විමසා බලමු. මහ ? එක්තරා හමුදා මේජර් ජනරාල්වරයෙක් හබරණ පැත්තේ බීමතින් කොටු පැන වන ජීවී නිලධාරීන් සමග පැටලෙන්නේ කුණුහරුප වරුසාවක් වගුරවමිනි. එපමණක් නොව, එම වන ජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන ඔහු, එක් නිලධාරියකුගේ කනට ගසා, ඔවුන්ගේ රථවාහනවල යතුරු හා ජංගම දුරකථන ද පැහැර ගෙන ඇත. ඔහු කියන පරිදි රටේ ප‍්‍රශ්න විසඳන්නට හමුදාව පමණක් හිටියොත් හොඳටෝම ඇතිය. ඔහු නීතිය, සාමය රකින නිලධාරියකු බවට පත්කරන ලද අය මේ පිළිබඳව ලජ්ජා විය යුතු බව අපගේ අදහස වන අතර, වහාම ඔහු ගැන තීරණයක් ගත යුතුව ද තිබේ.
 
 එසේම, අනෙක් කාරණය අපට කියන්නට සිදුවන්නේ ශ‍්‍රී ලංකා පොලිසිය ගැනය. ඉතා සීමිත පොලිස් නිලධාරීන් කොටසක් පොලිසියේ කීර්ති නාමය ඉහළට ඔසවා තබන්නට අසීරු කටයුත්තක නිරතව සිටියදී තවත් කාලකණ්ණි නිලධාරීන් පිරිසක් නිළ ඇඳුම දමාගෙන වැසිකිළි වළවල් කඩාගෙන කෑම පොලිසියේ ගරුත්වය රැුකීම කෙලෙසක වුවත් රටේ නීතිය රැුකීම, රටේ නීති ක‍්‍රියාත්මක වීම පිළිබඳ ජනතාවට සත පහක විශ්වාසයක් නැති බව පසක් කරවයි.
 
 තම දියණියට සමාජ මාධ්‍ය ජාලයක් හරහා සම්බන්ධවී කුණුහරුප පින්තුර එවා ලිංගික අපයෝජනයකට කටයුතු කළ තරුණයකු පිළිබඳව පැමිණලි කරන්නට පාදුක්ක පොලිසියට ගිය මවක් එම පොලිසියේ නිල ඇඳුම් ඇඳගත් මෝල් අමාරුකාරයකුගේ ලිංගික අතවරයට ලක්වන අතර, දරුවාගේ පියා එළිවෙනතුරු එම පොලිසියේ කූඩුවට දමා තැබූ පුවතක් අසන්නට ලැබේ. පැමිණිලි දාන්නට ගිය එකා කූඩුවේ දමා මව දූෂණය කරන්නට හදන පොලිසියක් දකුණු ඉන්දියානු චිත‍්‍රපටියකින්වත් අප මෙතෙක් අසා දැක නැත.
 
 එසේම, නෙළුව පොලිසියට ගිය මෙවැනිම පැමිණිල්ලකදී මවගෙන් වෙන් කරගන්නා 15 හැවිරිදි තරුණියකගේ මුව හා පපුව බලෙන් සිපගන්නා කාමාග්නිකාර පොලිස්කාරයකු ඇයගේ උකුලේ ඔළුව තියාගන්නා දර්ශනය දුටු ඇයගේ මව විස්සෝපයෙන් පොලිසිය තුළ කෑ මොර දුන් කතාවට සමාන කරන්නට හැකි තවත් කතා අපට ලොව වෙනත් කිසිදු ජන සංස්කෘතියකින් හමු නොවේ. සැබවින්ම මේ කාලකණ්ණි මෝල්කාරයින්ගේ තෙල්මන්ද එකෙනෙහිම කපා, ඒ කැපූ තුවාලයට ප්ලාස්ටර් දමා වසන්නට හැකි කෙරුම්කාරයෙක් මේ රටට කවරදා බිහිවේද යන්න ජනතාව අපේක්ෂා කරන කාරණයකි.
 
 ඇයි… ඒ විතරද…? තම තරහකාරයින්ට කුරුසියේ තබා ඇණ ගසන කපුවන්, වයස අවුරුදු 15 දැරිවියන් සමූහ දූෂණයට කාමතුරයින්ට විකුණන ප‍්‍රාදේශීය සභා සභාපතිවරු, විදේශීය සංචාරක කතුන් දූෂණය කර සැමියා ඉදිරියේදීම මරා දමන වර්ගයේ සභාපතිවරු, තමන්ගේ පාක්ෂිකයින්ට ටෝකන් ක‍්‍රමයට කොරෝනා එන්නත් නොදුන්නේ යයි කියමින් රාජ්‍ය නිලධාරීන් ගර්හාවට ලක්කරමින් යකා නටන නගරාධිපතිවරුන්, එංගලන්තයේ ගොස් හන්දි ගාණේ බීඩි උරන ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සිටින්නේ මේ උතුම් දහම් ද්වීපයේ පමණක් ම යයි අපි කල්පනා කරමු. නූරි වත්තේ වතු අධිකාරි මරාදමා ප‍්‍රදර්ශනය කළ දැරණියගල හිටපු ප‍්‍රාදේශීය සභාපතිවරයකු ගැන ද අමුතුවෙන් කිවයුතු නොවේ.
 
 ඉකුත්දා තම මවගේද උදව් ඇතිව 15 හැවිරිදි දැරියක අන්තර්ජාලයේ පළකරන ලද දැන්වීමක් හරහා පුද්ගලයින් 20- 30 ගණනකට විකිණීම සඳහා මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ (උප
 
  සභාපතිවරයා ද සම්බන්ධවී ඇති බව අනාවරණය වී ඇත. මේ පොසොන් සමයේ මිහින්තලය වැනි පුදබිමක් පිහිටි බල ප‍්‍රදේශයක ප‍්‍රථම, දෙවන පුරවැසියන් බාල වයස්කාර ගණිකා ජාවාරමකට සම්බන්ධ වී සිටීම ගැන අපට කියන්නට තවත් දේ ඉතිරිව තිබෙන්නේද…?
 
 කාලකණ්ණි අපතයින්ට ඡුන්දය දී එක අතකින් මෙවන් ගොන් තඩි පත්කර යවන්නේ ද අපමය. එසේම, නිදහස් අධ්‍යාපනයෙන් උගෙන නිල ඇඳුම් දරාගෙන සිටින ඒ හරක් පට්ටියේම අනෙක් ගොන් වස්සන්ගෙන් කාන්තාවන් ඇතුළු අපේ දූ දරු පරම්පරාව පමණක් නොව, රටේ අලි ඇතුන්, වන සතුන් රැකගැනීම මීළඟට අපට ඇති තවත් භාරදූර කටයුත්තකි.

advertistmentadvertistment
advertistmentadvertistment