ගොනාට පෙර කරත්තය

1038

(ගොනා විසින් කරත්තය නොව කරත්තය විසින් ගොනා අදිනු ලැබීම)

ජනාධිපතිතුමා විසින් පූජ්‍ය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂූන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවන ලද එක රටක් එක නීතියක් සඳහා වූ කාර්ය සාධක බළකාය වහාම විසුරුවා හරින්නැයි දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් කියා තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ යාපනේ මාධ්‍යකරුවන් ඉදිරිපිටදීය. රාවන රජුගේ මලයා වූ කුම්භකර්ණ නමැති මානවකයා ද අවුරුදු සීය, පන්සීය යනාදී වශයෙන් වූ දීර්ඝ නිද්‍රාවල ගැලී සිට හිටි ගමන් අවදි වී හීනෙන් කතා කරන්නාක් මෙන් මොනවා හෝ පවසා යළි නින්දට වැදෙන බව ජන වහරෙහි එයි. පසුගිය දවස්වල කිසිම සද්දයක් නැතුව හිටි සිවාජිලිංගම් වහා අවදි වී එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායට දොස් කියා යළි නිදාගත් බව පෙනේ. සිවාජිලිංගම් කියන පරිදි හෙතෙම ප‍්‍රභාකරන්ගේ නෑයෙකි. මේ නෑකම, සිංහලයාගේ ආදී කර්තෘ ලෙස සැලකෙන, වංග දේශයේ විසූ සිංහයා සහ 2021 මේ රටේ සිටින සිංහලයන් අතර ඇති නෑකම මෙන් කිලෝමීටර් දාහක් පමණ දීර්ඝ නෑකමකි. එබැවින් අප සිවාජිලිංගම් ගේ කතා වැඩිපුර ගණන් ගතයුතු නැත. ඊළඟ පළාත් සභා ඡන්දයේදී නැවත වරක් ආසනයක් දිනා ගැනීම සඳහා ඔහු මෙවැනි කතා කිව යුතුමය. එහෙත් මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබි‍්‍ර කර ඇති ප‍්‍රකාශය අර්බුදයකට මඟ විවරකර ඇත. ඒ කතන්දර පසෙක තබා අපගේ ප‍්‍රමුඛ මාතෘකාවට බසිමු.

යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට විකුණා එම බලාගාරයට අවශ්‍ය LNG හෙවත් ස්වභාවික ද්‍රව වායුව සංසාරය පවතිනා තෙක් පෙර කී සමාගමටම පවරා දීමේ ගිවිසුම් අත්සන් කර ඇති බව කියනු ලැබේ. මෙහි සංසාර කතාව කියන්නේ උදය ගම්මන්පිලය. යුගදනවියට අදාළ කැබිනට් පත‍්‍රිකාව පිළිබඳ කල්තබා දැනුවත් වීමට හෝ අදාළ කැබිනට් පත‍්‍රිකාව කියවීමට හෝ කැබිනට් මණ්ඩලයට කාල වේලාවක් නොලැබුණු බව විමල් වීරවංශගේ මතය වේ. උදය, විමල්, පූජ්‍ය අතුරලියේ රතන හිමි, වාසු, දයාසිරි ජයසේකර, ටිරාන් අලස් ඇතුළු පක්ෂ නියෝජිතයන් එකොළොස් දෙනෙක් යුගදනවියේ ඇමරිකන් ඞීල් එකට එරෙහිව මේ දිනවල මරාගෙන මැරෙන ගේමක් පටන්ගෙන ඇත. යුගදනවි ඞීල් එක අත්සන් කළොත් LNG ගෑස් වලින් විදුලිය නිපදවා දැනට පවතින විදුලි මිලට වඩා 20% ක් අඩුවෙන් මහජනතාවට විදුලිය ලබාදිය හැකි බව යුගදනවියට අදාළ කැබිනට් පත‍්‍රිකාව පිටුපස සිටින අයගේ මතය වේ.

යුගදනවි ඞීල් එකට විරුද්ධව යකා නටන පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් වන උදය, විමල්, වාසු ඇතුළු අය ශේප් කරගැනීම සඳහා ආණ්ඩුව සිඟිති උපක‍්‍රමයක් යොදා ඇත. ඒ වූකලී ගිවිසුම සම්බන්ධයෙන් තමන් තුළ ඇති යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුවේ කැරලිකාර මන්ත‍්‍රීවරුන්ට දැන්වීමය. මේ වනවිට යුගදනවි LNG බලාගාරයේ ගිවිසුම් අත්සන් කර අවසන්ය. පෙර දිනයක අලූයම 12.06 ට කොළඹ දී සහ ඇමරිකාවේදී එම ගිවිසුම අත්සන් කරන ලදී. අලූයම 12.06 යනු නැකත් වේලාවක් නොවේ. එය ඇමරිකාවේ වැඩ පටන් ගන්නා වේලාවයි. කෙසේ හෝ වේවා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඒ ගැන අදහස් ප‍්‍රකාශ කරන ලෙස කැරලිකාර මන්ත‍්‍රීවරුන්ට කීමෙන් පලක් නැත. එය ගිවිසුම අත්සන් කිරීමට පෙර කළ යුත්තකි. මේ මොහොතේදී අදහස් දක්වන ලෙස කැරලිකරුවන්ට දැන්වීම සමාන වන්නේ ගොනා විසින් කරත්තය ඇදගෙන යෑමකට නොව කරත්තය විසින් ගොනා ඇදගෙන යනු ලැබීමකට ය.

ලාබෙට විදුලි බලය ලබා ගැනීම වැදගත් කාරණයක් තමයි. එහෙත් වැදගත්ම කාරණය වන්නේ තව ටික දවසකින් ඩොලර් තිබුණත් පිට රටින් බඩු ගෙන්වා ගැනීමට බැරි වීමේ තත්ත්වයක් අපට උදාවීමය. ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණේ කොරෝනා නිසා පමණක්ම නොවේ. යහපාලන ආණ්ඩු කාලයේදී ආර්ථිකය එක දිගටම බිඳ වැටුණේය. එම කාලයේදී යහපාලන ආණ්ඩුව ඕනෑවට වඩා ණය ගත් බව එම ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය ඇමැති කෙනකු වූ ඉරාන් වික‍්‍රමරත්න පසුගියදා පිළිගෙන තිබිණ. අප මේ උත්සාහ කරන්නේ පළපුරුදු බැංකුකරුවකුව සිට දේශපාලනයට පිවිස විශාල මාසික වේතනයකට ස්වෙච්ඡාවෙන් කෙලවාගත් ඉරාන් වික‍්‍රමරත්නට ඔහුගේම වචන වලින් පහර දීමට නොව යහපාලනයේ ඇත්ත තත්ත්වය පහදා දීමටය. කොරෝනා අර්බුදය හටගන්නා කාලයේදී ගෝලීය ආර්ථික අර්බුදයක් වෙනම ඇරඹී තිබිණ. කොරෝනාව පටන් ගැනීමත් සමගම එය දසගුණ විය. කොරෝනාව හේතුවෙන් දීර්ඝ කාලයක් තමන් සතු එකම ධනය වූ කායික ශ‍්‍රමය පැත්තකට කර තබන්නට ලෝකවාසී වැඩකරන ජනතාවට සිදුවිය. මේ නිසා අන්තර්ජාතික මට්ටමෙන් සාගත තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. සාගතය යනු වැස්ස නැතිව ගොවිතැන් කරගැනීමට බැරිවීම නොව කවර හෝ තත්ත්වයක් යටතේ මිනිසුන්ට කන්න නැති වීමය.

කන්න නැති තත්ත්වයක් තුළ සංවර්ධනය යනු මිරිඟුවකි. මෙවැනි තත්ත්වයක් තුළ තව දුරටත් කෘෂිකාර්මික රාජ්‍යයක් නොවන, පිට රටින්ම ගෙන්වා ආහාර අනුභව කර මළපහ කිරීම පිණිස පමණක් මේ භූමිය තෝරාගත් අපට ගැලවීමක් ලැබෙන්නේම නැත. ශ‍්‍රී ලංකාවේ නූතන ආර්ථික සැකැස්ම තුළදී නාගරිකයට වගා පහසුකම් හෝ වගා දැනුම නැත. සිංගප්පූරු නාගරිකය (මුළු සිංගප්පූරුවම නාගරිකයකි) සතුව ගෙදරට අවශ්‍ය එලවළු ගෙදරම වවා ගැනීමේ පහසුකම් තිබේ. රසායනික පොහොර ගෙන්වන රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින රට සිංගප්පූරුවය. ඔවුන් තනිකරම කන්නේ රසායනික පොහොරය. ඉදිරියේදී හටගැනීමට නියමිත ආර්ථික අර්බුදයේදී සිංගප්පූරුව ඇතුළු රටවල් කිහිපයකට පොඩි චාන්ස් එකක් තිබේ. එහෙත් ලොකුම දුක අපට කිසිදු චාන්ස් එකක් නැතිවීමය.
 

advertistmentadvertistment
advertistmentadvertistment