ගොබෙල්ස්ලා ගේ සුරංගනා කතා!

123

“පොඩි බොරුවට වඩා ලොකු බොරුවට පුහුදුන් මිනිසා සැණකින් ගොදුරු වේ. සුළු දේකට වුවද පොඩි බොරු කීමට හැමෝම ප්‍රිය කරති. ලොකු බොරු කීමට කිසිදාක පෙළඹෙන්නේ නැත. වෙනත් කාටවත් ලොකු බොරු නිපදවන්නට ද බැරි බව විශ්වාස කරති. එම නිසා විශාල බොරුවලට ආයුෂ ද බොහෝ වෙයි”

මෙහෙම කියන්නේ කුප්‍රකට ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්.

එහෙම කියපු හිට්ලර් තමන්ගේ මාධ්‍ය මෙහෙයවන්න භාරදුන්නේ ගොබෙල්ස් ට. සුරංගනා ලෝකයක් මවමින් ගොබෙල්ස් තමන්ගේ මාධ්‍ය මෙහෙයවීම කළා. මහා බිහිසුනු චිත්‍රයක අඳුරු පැත්ත වසාගෙන ඔහු මාධ්‍ය හරහා වෙනස් වෛවරණ සුරංගනා චිත්‍රයක් නිර්මාණය කළා. අද ලංකාවේ තත්ත්වය ඊට සමානයි.

හදිසි නීතිය පැනවීම යනු රටේ යම් හදිසි තත්ත්වයක් ඇති වූ අවස්ථාවක පවත්නා නීතිය අභිබවමින් නියෝග නිකුත් කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට හිමිකර දෙන තත්ත්වයක්. හදිසි නීතිය පනවන්නේ මහජන ආරක්ෂක පනත යටතේ.

වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ පවා මහජන ආරක්ෂක පනත පිළිබඳ කරුණු සඳහන් වෙනවා.

මහජන ආරක්ෂක පනතේ පස්වැනි වගන්තිය යටතේ විශේෂ රෙගුලාසි පැනවීමේ හැකියාවක් තිබෙනවා. ඒ යටතේ මහජන සාමය පවත්වාගෙන යෑම වෙනුවෙන් ඕනෑම තැනකට අවසරයකින් තොරව ඇතුළු වීමේ හැකියාව, ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතිනවා.

නිදහසෙන් පසු දශක හතරකට ආසන්න කාලයක් අපේ රට පාලනය වුණේ හදිසි නීතිය යටතේ.

අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී බවත් මානව හිමිකම් සුරැකෙන බවත් උජාරුවෙන් කතා කිරීම අපට ඇසුනද ප්‍රායෝගිකව සිදුව ඇත්තේ හදිසි නීතිය පැනවීම සහ එය අවභාවිත කිරීමයි. හදිසි නීතිය ප්‍රකාශ කරලා පැය 24ක් යන්න කලින් දිස්ත්‍රික්ක හතකට ආරක්ෂක හමුදාවන් කැඳවන්න බලය දෙන විදියේ ගැසට් පත්‍රයක්ද නිකුත් කරලා. මේක දෙබිඩි හැසිරීමක්.

වර්තමාන ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා වෙලා ඉන්නකොට ජාත්‍යන්තරට ගිහිල්ලා කිව්වේ මොකක්ද? අපි ත්‍රස්තවාදී පනත අකුල ගන්නවා කියලා. නමුත් අද පිළිකුල් සහගත විදිහට ත්‍රස්ත විරෝධී පනත පාවිච්චි කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් දඩයම් කරනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ පොරොන්දු දුන්නා. යුරෝපා ඉදිරියේ පොරොන්දු දුන්නා. අහිමි වෙච්ච සහන ලබා ගත්තේ ඒ පොරොන්දුව දීලා ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යනවා කියලා. නමුත් අද උද්ඝෝෂණය කරන ශිෂ්‍ය නායකයන්ට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරනවා කියලා, චෝදනා නගලා ත්‍රස්ත විරෝධී පනත යටතේ රැඳවුම් නියෝග යටතේ ගෙන තිබෙනවා. ත්‍රස්ත පනත යටතේ දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගැනීම් වලට බඳුන් කළ තරුණ ජීවිත රාශියක් අඳුරු කර දැමූ අත්දැකීම් පිරි අතීතයක් රටක් හැටියට අපට තිබෙනවා. නැවත එවන් යුගයක් උදාවීමට ඉඩ නොතැබිය යුතුව තිබෙනවා.

මේ අනතුර ගැන අද බොහෝ මාධ්‍ය නිහඬයි.

අනතුර තමන්ගේ නිවසේ දොරටුවට තට්ටු කරන තුරු කෙනෙකුට අනතුරක් බව දැනෙන්නේ නැහැ. ආණ්ඩුව මේ තට්ටු කරමින් එන්නේ ඔබේ නිවසට බව ඔබ මතක තබා ගැනීම වැදගත්.’ ත්‍රස්ත විරෝධී පනත පාවිච්චි කරලා මේ රටේ අවිහිංසාවාදී අරගලයක යෙදුණු ශිෂ්‍ය නායකයන් දඩයම් කිරීම ගැන සති අන්ත ප්‍රධාන ඉංග්‍රීසි මාධ්‍ය මගහැරලා තිබුණා.

මානව හිමිකම් කොමිසම හෙට අනිද්දා රැස් වෙනවා. ඒවා ඉදිරියේ අපට උත්තර බඳින්න සිදුවෙනවා. මේවා අපේ ආර්ථිකයට ඇති කරන බලපෑම් දිහා බලන්න ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අනතුර විතරක් නෙමෙයි අපේ රටේ ආර්ථික තත්ත්වයටත් මේවා බලපානවා. ජීඑස්පී නැති වීම හින්දා රටට ඇති කරපු ආර්ථික බලපෑම කොච්චර ද, ඒවාගෙන් මිදුනේ අපි කොයි විදියට ද, දැන් කොහාටද මේ රට ගෙනියන්නේ, ඒ ගැන හරියාකාරයෙන් කල්පනා කළ යුතුව තිබෙනවා.

අද මාධ්‍ය දිහා බලන්න විශාල අදෘෂ්‍යමාන හස්තයක් මාධ්‍ය කෙරෙහි බලපෑම් ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට විරුද්ධ ඕනෑම කෙනෙක් දඩයම් කිරීමට දෙවරක් නොසිතන බව ඔප්පු කරමින් ඉන්නවා.

ඒ අතරේ රට අගාධයට පත් කරපු දේශපාලන නායකයන්ට යළිත් පණ දෙන්න හදනවා. ඔවුන්ට ආපහු සුපුරුදු පරිදි මේ රට විනාශ කිරීමේ ක්‍රියාවලියට අවතීර්ණ වෙන්න අවශ්‍ය කරන රතු පාවඩ එළමින් ඉන්නවා.

මේ මොහොතේ අපේ රටේ සියලු දෙනා අවධානයෙන් සිටිය යුතු කාරණා කිහිපයක් තිබෙනවා.

ආණ්ඩුව ඉතාමත්ම සූක්ෂම ලෙස නැවතත් පරණ චරිත සක්‍රීය කරමින් ඉන්නවා. ඔවුන්ට නැවතත් සුපුරුදු විදිහට දේශපාලනයට ප්‍රවිෂ්ට වීමේ ඉඩකඩ හදමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් ඊට එරෙහි වන බලවේග මැඬපැවැත්වීම සහ අඩපණ කිරීමේ ක්‍රියාවලියේ ආණ්ඩුව යෙදෙමින් ඉන්නවා.

ඒ අතර ආණ්ඩුව තමන්ට සුවච කීකරු මාධ්‍ය අධිරාජ්‍යයක් ගොඩ නගමින් ඉන්නවා. ඒකට අවශ්‍ය ගොබෙල්ස් ලා කීපදෙනෙක්ම ආණ්ඩුව සතුව ඉන්න බව පේනවා.

එදා හිට්ලර් මැතිවරණ ප්‍රචාරණය ඇතුළු රජයේ සියලු ප්‍රචාරාත්මක කටයුතු ගොබෙල්ස්ට පැවරුවා. ගොබෙල්ස් ඒවා අකුරටම ඉෂ්ඨ කළා. 1932 අප්‍රේල් මාසයේ පැවැත් වූ ජනාධිපතිවරණයේදී හිට්ලර් ජයගත්තේ ගොබෙල්ස් නිසා. ඔහුගේ න්‍යායාත්මක ප්‍රචාරණය නොතිබ්බා නම් ජර්මනියේ නායක ඇඩොල්ෆ් හිට්ලර්ට ජයග්‍රහණය නොකරන්න තිබුණා. එදා ඔහු ජයග්‍රහණය නොකළා නම් ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් ප්‍රමාණයක් නොමැරෙන්නත් තිබුණා.

ඒ විතරක් නෙවෙයි, ලෝක යුද්ධයක් ඇති නොවෙන්නත් තිබුණා.

එනිසා මේ වෙලාවේ ආණ්ඩුවේ ගොබෙල්ස්ලාගෙන් වගේම බොරු සුරංගනා කතන්දර වලිනුත් ප්‍රවේශම් වීම ඉතා වැදගත්.

● ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment