ගොවිතැන් කරන්න වතුර නෑ… කුලී කරන්න රස්සා නෑ ගැමුණුපුර බඩගින්නේ

156

ඉර බහිනකොට අලි ගමට ඇවිත් ගෙවල් කඩනවා…

2013 අවුරුද්දෙ ඉඳලා මීගස්වැව හදලා ඉල්ලනවා තවම ඒක ඉෂ්ට වුණේ නෑ…

ගමේ කොල්ලො හුඟදෙනෙක් රස්සා හොයාගෙන කොළඹ ගිහින්

ගිනියම් හිරු ප්‍රචණ්ඩය. නිර්දය ලෙස අවට දවාලන්නේය. මඟ දෙපස වියළි පරඬැල් වී ගිය වන ලැහැබ, කටු පඳුරු නෙත ගැටෙන විට පෑවිල්ලේ තරම හොඳින් පසක් වේ. එමෙන්ම ඈතින් ඈතට දිස්වන මහ කැලෑව, වගා බිම් ද පාණ්ඩු පැහැදියෙන් දිලි සේ. වාහන කවුළුවෙන් ඈත, මෑත දුවන දෙනෙත් හිටි හැටියේ දැවිණි. ඒ අපගේ මෝටර් රථය පසු කරගෙන විදිල්ලක් මෙන් ඉදිරියට ඇඳුණු බට්ට ලොරිය මැටි පාර ඇවිස්සූ නිසාය. දැන් ඉදිරිය අපහැදිළිය. මෝටර් රථයේ තරිංග තද විය.

“ගමේ චණ්ඩියෙක් වෙන්න ඇති…”

මා දෙසට හැරුණු රියැදුරු එසේ කියමින් මෝටර් රථය පාර අයිනට ගත්තේය.

අප නතර වී සිටිනුයේ සේරුනුවර ගැමුණුපුර ගම්මානයේය. අතිදුෂ්කර ගම්මානයකි. ත්‍රිකුණාමලය – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මහින්දපුර හන්දියෙන්, වැලිකන්දට යන මාර්ගයට හැරුණු තැන සිට හරි හැටි සිමෙන්ති ගඩොලෙන් බැඳි සුදු පිරියම් කළ එකදු නිවසක් හෝ ඇස නොගැටිණි. බැලු, බැලු දෙසින් දෑස්හි රැඳෙනුයේ වල් වැදී ගිය මුඩුබිම්ය. අතරින්, පතර, ඈතින්, මෑතට පෙනෙන වගා බිම් ද නිසරුය.

“ගිනි ගහන්න පෑවිල්ල මහත්තයො… පොළව වේලීලා. හරි හැටි වගා ළිඳක්වත් තියෙනවා නම් වතුර ටිකක් අතින් ඇදලා හරි ගොවිතැනක් කරගන්න තිබුණා. එහෙමවත් නෑ…” අතරමගදි මුණගැසුණු ගම්වැසියෙක්ව අපි කතාවට සම්බන්ධ කර ගත්තෙමු. හේ නිමල් ශාන්තය. තිදෙරු පියෙකි. වගාව වෘත්තීය කරගෙන කුලී රස්සාව අමතර ආදායමක් කරගෙන ජීවත්වන සුනිල් ශාන්තට වයස අවුරුදු පනස් තුනකි. කටුක දිවි මගෙහි දුර ගමනක් පැමිණ සිටින සුනිල්ට කාලයක සිට කුලී රස්සාවක් හෝ නැති බව හේ අපට පැවසීය.

ගොවිතැන් කරන්න වතුර නෑ… කුලී කරන්න රස්සා නෑ ගැමුණුපුර බඩගින්නේ

සෝමාවතිය රක්‍ෂිතයට ද, සේරුනුවර සිංහල ගම්මානයට සහ පූනගර් දෙමළ ගම්මානයට මායිම් වූ ගැමුණුපුර ගම්මානය ආරම්භ වී ඇත්තේ 2010 වර්ෂයේදී. පවුල් එකසිය පහක් පමණ පදිංචි වී සිටින ගැමුණුපුර මෙරට සෑම පළාතක්ම නියෝජනය කරන දරු පවුල් ජීවත් වෙති. එම කිසිදු පවුලක එකදු සාමාජිකයෙක්ට හෝ ස්ථිර රැකියා නැත. ඔවුන්ට ලැබී තිබෙන ඉඩම් අක්කරය කොටාගෙන වගාවක් කරගෙන ජීවිත ගැටගසාගෙන සිටිනවා විනා වෙනත් ආදායම් මාර්ග ද නැත. එමෙන්ම අහළ, පහළ සිංහල ගම්මානයක හෝ කුලී වැඩ නැති බව සුනිල් අපට කීවේය.

“අපේ ගමේ කොල්ලො හුඟදෙනෙක් වැඩ හොයාගෙන කොළඹ ගිහින් තියෙනවා. දැන් අපි වයස නිසා කොළඹ ගියත් කුලී වැඩ දෙන්නෙ නෑ. කුලී වැඩ කරන්න ඕනෙ නෑ. හරියට වගා කර ගත්තොත් කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන්. ඒත් වගා කරන්න තියෙන ලොකුම ප්‍රශ්නය වතුර නැතිකම. ගමේ හැම පවුලකටම වගා ළිං නෑ. ගම හරහා ගලා බහින ඇළ මාර්ග නෑ. අපේ ගම පහළ තියෙන මීගස්වැවත් අබලන්. මහා විශාල වැවක්. කුඹුරු අක්කර එක්දාහස් පන්සීයක්, දෙදහක් විතර වගා කරන්න වතුර රැස් කරන්න පුළුවන්. මාවිල්ආරුවෙන් වතුර ගන්නත් පුළුවන්. මාවිල්ආරුවේ ඉඳලා වැවට වතුර එන ඇළත් බාගෙට කපලා නතර කරලා. පහුගිය කාලේ ගමේ මිනිස්සු එකතු වෙලා වැව හෑරුවා. ඒත් වැව් බැම්ම පස් පොළකින් කැඩිලා බිඳලා වතුර ගලාගෙන යනවා. වැවෙන් වතුර ගලාගෙන යන ඇළ මාර්ගත් හොඳටම අබලන්. ඒ දේවල් ගමේ මිනිස්සුන්ට කරන්න බෑ. ලොකු වියදම් යන වැඩ. 2013 අවුරුද්දෙ ඉඳලා වැව ප්‍රතිසංස්කරණය කර දෙන්න කියලා අදාළ බලධාරීන්ට කියනවා. ඒත් තවම ඒක කෙරුණේ නෑ. වැව නැවත ප්‍රතිසංස්කරණය කර ඇළ මාර්ග පිළිසකර කළොත් මේ යායම වගා කරන්න පුළුවන්. එහෙම වුණොත් අපේ ගමේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි, මේ ප්‍රදේශයේම මිනිසුන්ට තුන්වේල කාලා, දරුවන්ට හොඳට උගන්නගෙන පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්…”

ගොවිතැන් කරන්න වතුර නෑ… කුලී කරන්න රස්සා නෑ ගැමුණුපුර බඩගින්නේ

“අපි ජීවත් වෙන්නෙ හොඳ සක්‍රීය පොළවක. වී වගාව වගේම උඩරට, පහතරට ඕනම එළවළුවක් මේ පොළොවේ හැදෙනවා. කැරැට්, බෝංචි හදලා අපි ඔප්පු කරලා තියෙනවා. බී ලූනු පවා වගා කරන්න පුළුවන්. වතුර තියෙනවා නම් මේක සරුබිමක් කරන්න මහා කාලයක් යන්නෙ නෑ. ඒ වගේම දෙවැනියට අපිට තියෙන ගැටලුව මේ පාර. 2013 අවුරුද්දෙ ඉඳලා පාර කපනවා. තැනින්, තැන හදනවා. අපේ ගම මැදින් යන ටික තවම මැටි. වේගයෙන් වාහනයක් ගිහාම දූවිල්ලෙන් පාර වැහෙනවා. ඉස්කොලේ යන දරුවො ගෙවල්වලට එන්නෙ දූවිලි නාගෙන. සමහර දරුවන්ට ඊළඟ දවසෙ පාසලට යන්න ඇඳුම් හෝදලා වේලගන්න ඕනෑ. නැති නම් පහුවෙනිදාට පාසලට යන්න බෑ. ඒ දරුවන්ට තියෙන්නෙ එක සුදු ඇඳුමයි. අපේ ගමේ මිනිස්සු දුක්විඳින්නෙ මිනිස් වාසයකට අවශ්‍ය අවම යටිතල පහසුකම්වත් නැති නිසා. ගොවි ගම්මානයක තිබිය යුතු යටිතල පහසුකම් සම්පාදනය වුණා නම් අද අපි රජවරු වගෙයි…” සුනිල් ශාන්ත කතාවට විරාමයක් තැබුව ද අපව අත නොහැරියේය. හේ ගමේ ප්‍රජා ශාලාවට අපව කැටුව ගියේය. පැයක් වැනි කෙටි කාලයක් තුළ ඔහු ගමේ ලොකු, කුඩා බොහෝ පිරිසක් ප්‍රජා ශාලාවට එකතු කළේය. එම පිරිස අතරින් තරුණයෙක් අප අසලට පැමිණියේය. හේ සුරේෂ් මධුසංකය. එහෙත් ඔහු ගමේ ප්‍රසිද්ධ වසන්ත නමිනි.

“අපේ ඉඩම්වල ගොඩ, මඩ දෙකම වගා කරන්න පුළුවන්. මාස් කන්නයට වී වපුරනවා. ඉතිරි මාසවල මුං, කවුපි, රටකජු වගා කරනවා. ඊට අමතරව කෑමට අවශ්‍ය ප්‍රමාණයට එළවළු, පලා වර්ග ටික හදාගන්නවා. වගාවට හොඳට සාත්තු කර, ආරක්‍ෂා කරගත්තොත් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඒත් දැන් නම් පෑවිල්ල නිසා කිසිම වගාවක් කරගන්න බෑ. වගා ළිංවලත් වතුර තියෙන්නෙ පතුලේ. සියලු වගාවන් වේළිලා. මේ වෙනකොට ගමේ කිසිම කෙනෙක්ට ආදායමක් නෑ. ගමේ වගා ළිං ටික හාරගන්න රජය හෝ වෙන යම් සංවිධානයක් කටයුතු කරනවා නම් අපේ ප්‍රශ්නවලට පුංචි විසඳුමක් ලැබෙනවා. ඒ වගේම කාලයක ඉඳලා වත්තක තියෙන කෙසෙල් ගහක්වත් අලින්ගෙන් බේරගන්න බෑ. වගාව විතරක් නෙමෙයි, ගෙවල් දොරවල් ටික ආරක්‍ෂා කරගන්නත් රැ තිස්සෙ නිදි වරාගෙන දහදුක් විඳින්න ඕනෑ. ඒත් අලි ගමට පැනලා ගෙවල් කුඩු පට්ටම් කරනවා. අලි ප්‍රශ්නය මහා වසංගතයක්…” මධුසංකට වයස අවුරුදු තිහකි. වෘත්තීයෙන් පෙදරේරුවෙකි. එහෙත් අවාසනාවට දෑත්වල හටගත් කුෂ්ට රෝගයකට ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍යවරයෙක් හමුවට ගිය අවස්ථාවේදී සිමෙන්ති අත, පත ගෑම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසට ඔහුට උපදෙස් ලබාදී ඇත. එදා සිට ඔහු වගාව ජීවන වෘත්තිය කරගෙන, අනුන්ගේ කොරටුවල වැඩ කිරීම අමතර ආදායමක් කරගෙන සිටී. එහෙත් දැන් සිඟිති දරු දෙදෙනෙක් සමඟ පුංචි පවුලේ කුසගින්දර නිවා දැමීමට තරම්වත් කුලී රස්සාවක් නැති බව හේ අපට කීවේ සිත් වේදනාවෙනි. වසන්ත මෙන්ම ජීවන ගැටලු අපට පැවසීමට උනන්දුවෙන් සිටි ගම්වැසියන් යතුරුපැදි, පාපැදිවල නැඟී ප්‍රජා ශාලා භූමියෙන් පිටව යන අයුරු පෙනේ.

“සවස 2.30 – 3.00 වෙනකොට අපේ ගමේ හැම ගෙදරකින්ම සේරුවාවිල පන්සලට යනවා. නායක හාමුදුරුවො සෑම පවුලකම සියලු සාමාජිකයන්ට ප්‍රමාණවත් පිසූ ආහාර වේලක් ලබාදෙනවා. දැන් මාස තුනක විතර කාලයක ඉඳලා අඛණ්ඩව රෑ ආහාර වේල උන්වහන්සේ ලබාදෙනවා. ඒ කෑම ගේන්න දැන්ම ඉඳලා මිනිස්සු යනවා. මගේ වයිෆ් ගියා. ඒකයි මම මෙතැන නතර වුණේ…” ප්‍රජා ශාලාවෙන් පිටමංවන ගම්වැසියන් දුටු මධුසංක අපට එසේ කීවේය. වේලක් කෑමටවත් ආදායමක් නොමැතිව කුසගින්දරේ දැවෙන මිනිසුන්ට ආහාර වේලක් ලබාදීම මහා පින්කමක් බව සැබෑය. එහෙත් ගමේ ඉඩම්වල වගා ළිං ටික හාරා ගැනීමට සරණක් වේ නම් ඒ අසරණ මිනිසුන්ට තුන්වේලම බඩ පුරවාගැනීමට වගාවක් කරගැනීමට හැකි බව අපගේ අදහසය. යටි සිත සහ උඩු සිත එවැනි සංවාදයක පැටලී සිටින අතරේ ගම්මු අතර සිටි තරුණියක් ඉදිරියට පැමිණියාය. ඇය චන්දිමා දිල්රුක්ෂිය. වයස අවුරුදු 19 කි. ඇය විවාහ වී වසරකි.

ගොවිතැන් කරන්න වතුර නෑ… කුලී කරන්න රස්සා නෑ ගැමුණුපුර බඩගින්නේ

“මගේ ගම පොළොන්නරුව. සාමාන්‍ය පෙළ විභාගය ලියලා කන්තලේ ඇඟලුම් ආයතනයක වැඩට ආවා. ඒ ආයතනයේ වැඩ කරපු පිරිමි ළමයෙක් තමයි කසාද බැන්දේ. අපි මේ ගමේ පදිංචියට ඇවිත් මාස අටක් විතර වෙන්නෙ. ගෙදර වැඩ තනියෙන් කරගන්න ඕන නිසා මම රස්සාවෙන් නතර වුණා. මහත්තයා ඒ ආයතනයේම වැඩ. මහත්තයට ලැබෙන පඩිය ජීවත් වෙන්න ඇති. ඒත් ගේ දොර හදාගන්න මදි. මට හොඳට මහන්න පුළුවන්. මැෂින් එකක් ගන්න පුළුවන් වුණා නම් ඇඳුම් මහල කඩවලට දාන්න පුළුවන්. ඒත් මැෂින් එකක් ගන්න විදිහක් නෑ. ස්වයං රැකියා කරන්න උපකාරයක් කරනවා නම් අපේ ගමේ හුඟ දෙනෙක්ට ඒක ලොකු පිහිටක් වෙනවා. දැනටත් මේ ප්‍රජාශාලාවේ මැහුම් පන්තියක් කරගෙන යනවා. ඒ පන්තියටත් ගමේ ගැහැනු ළමයි දහ දොළොස්දෙනෙක් එනවා. ඒ ළමයින්ටත් පුහුණුවෙන් පස්සෙ වැඩ කරගෙන යන්න මහන මැෂින්, වෙනත් උපරකණ නෑ. එහෙම වුණාම පුහුණු පාඨමාලාවත් අපරාධයක්. ඒ වගේම මේ ගමේ අත්කම් නිර්මාණ කිරීමට දක්ෂ කිහිපදෙනෙක්ම ඉන්නවා. දක්‍ෂතාවය වෘත්තීවක් බවට පත් කරගැනීමට ඒ අයටත් ආර්ථික ශක්තියක් නෑ. දැන් මේ ගමේ මිනිස්සුන්ට කරන්න වෙලා තියෙන්නෙ ගෘහස්ථ කර්මාන්තයක්ම විතරයි. වගා කරලා අලින්ගෙන් බේරගන්න බෑ. හවස කළුවර වැටෙනකොට අලි රංචු පාරේ. උදේ 6 ට 7 ත් පාරේ අලි. ළමයි ඉස්කෝලවලට යනකොටත් අලි ඉන්නවා. සමහර වේලාවට එළවනවා. පුංචි දරුවො ඉස්කෝලවලට යන්නෙ හරිම බයෙන්…” අප සමඟ කතා කළ සෑම කෙනෙක්ම අලි ගැටලුව ඉස්මතු කළේය. මහවැලිගම කනිෂ්ඨ විද්‍යාලයේ 9 වසර පන්තියේ ඉගෙන ගන්න පැතුනි කුමාරි ද අලි කරදර ගැන අපට කීවේය.

“අපේ ගමේ ළමයි තිහක් විතර ඉස්කෝලවලට යනවා. හැම කෙනෙක්ම යන්නෙ පයින්. ඉස්සර අපේ ගමට බස් එකක් ආවා. උදේ ළමයි ගෙනිහින්, දවල්ට ළමයි අරගෙන ආවා. දැන් ඒ බස් එක එන්නෙත් නෑ. උදේ අපි පාසල් යනකොට සමහර දවස්වලට පාර දිගට අලි. විශාල අලි රංචු. කීයට හරි අලි කැලේට යනකම් ඉඳල තමයි පාසල්වලට යන්නේ.

අලින්ගෙන් අපිට පුදුම වධයක් තියෙන්නෙ. රෑකට දොට්ට පිළට යන්න එළියට බහින්නෙත් බයෙන්…” වැඩිමහල් සහෝදරයන් තිදෙනෙක් අතර එකම ගැහැනු දරුවා කුමාරිය. ඇයගේ සහෝදරයන් තිදෙනාම අධ්‍යාපනය අතරමඟ නතර කර ඇත. කුමාරිගේ පියා කුලිකරුවෙකි. මව රැකියාවක් නොකරන්නීය. අනේකවිද ගැටලු මැද අසීරුවෙන් ඉගෙන ගන්නා බව පුංචි කුමාරි අපට කීවාය.

“දැන් අවුරුදු ගානකින් සපත්තු කුට්ටමක් ගත්තෙ නෑ. පරණ සපත්තු කුට්ටම කැඩුණම මහලා දානවා. පොත් බෑග් එකත් එහෙමයි. ඉරෙන තැන් මහලා පොත් ටික දාගෙන යනවා. පොත්, පෑන් මිලත් වැඩි නිසා බොහොම පරිස්සමට පාවිච්චි කරනවා. මම විතරක් නෙමෙයි, අපේ ගමේම ළමයි ඉගෙන ගන්න ගොඩක් අඩුපාඩුකම් මැද…” පුංචි කුමාරිගේ කටකාර කතාවට ගමේ පෙර පාසලේ ගුරුතුමිය ද එකතු විය. ඇය ලක්‍ෂිකා සජානිය. වයස අවුරුදු 29 කි. තිදරු මවක් වන ඇය ගැමුණුපුර ගමේ පෙර පාසලට පැමිණෙනුයේ කිලෝ මීටර දහයකට වැඩි දුරක් ගෙවාගෙනය.

ගොවිතැන් කරන්න වතුර නෑ… කුලී කරන්න රස්සා නෑ ගැමුණුපුර බඩගින්නේ

“පෙර පාසලේ ළමයි දහදෙනෙක් ඉගෙන ගන්නවා. දරුවො දක්‍ෂයි. ඒත් දරුවන්ගේ පවුල්වලට ගොඩක් ප්‍රශ්න තියෙනවා. සමහර දරුවො උදේට පාසලට යන්නෙ මුකුත් කාලාවත් නෙමෙයි. අපි ළමයින්ට ආහාර වේලක් දෙනවා. ඒකෙන් ළමයින්ට පෝෂණයක් ලැබෙනවා. නැති නම් දරුවන්ට උගන්වන දෙයක් වැටහෙන්නෙත් නෑ. මේ ගම දියුණු කරන්න නම් මිනිසුන්ගේ සිතුම්, පැතුම්වලත් යහපත් වෙනසක් ඇති වෙන්න ඕනෑ. වෙන ගම්වල වගෙ නෙමෙයි මේ ගමේ මවුපියන්ගේ ගති පැවතුම් හරිම වෙනස්…”

ගැමුණුපුර පෙර පාසලේ ගුරුවරිය අපට කියූ ඒ කතාව ඒ ගමේ පදිංචිකරුවෙක් ද සනාථ කළේය.

“අපේ ගමේ මිනිස්සු හරිම ආත්මර්ථකාමී. සහනාධාරයක් දුන්නත් ගන්න බලන්නෙ තමන් විතරයි. පහුගිය කාලෙ වගා ළිං හදා දෙන වැඩපිළිවෙළක් තිබුණා, ඒක නැති කරගත්තෙත් ගමේ මිනිසුන්ගේ අමනකම් නිසයි. කිසිම එකමුතුකමක් නෑ. ඊර්ෂියාව, ක්‍රෝධයෙන් හිත් පිරිලා. නිතරම බලන්නෙ අනුන්ට වින කරන්නමයි. අන්තිමේ ඒ අයම විඳවනවා…” විවිධ පළාත්වලින් පැමිණි විවිධාකාර මිනිසුන්ගේ සිතුම් පැතුම්, ගති පැවතුම් වෙනස්ය. තම, තමන් බුද්ධියෙන් කල්පනා කර නිවැරැදි වනවා විනා මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම අසීරුය.

අපගේ අරමුණ විය යුත්තේ යහපත් ආකල්පවලින් පිරිපුන්, බුද්ධිමත් අනාගතයක් ගැමුණුපුර තුළ නිර්මාණය කිරීමට උපකාරවීමය. එහෙත් පවතින ජීවන අරගලය මැද එය පහසු කටයුත්තක් නොවන බව සැබෑය. තුන්වේල කුසට අහරක් නොමැතිව කුසගින්දරේ පිච්චෙන පවුල් එකසිය ගනණක් ජීවත්වන ගැමුණුපුර දරුවන්ගේ අධ්‍යාපනයට පෙර සැලකිලිමත් විය යුත්තේ මන්දපෝෂණයෙන් ඒ දරුවන් බේරාගැනීමටය. බත් පැකට්, බඩු මළු නොව ඒ දිළිඳු පවුල්වල ජීවන තත්ත්වය නඟාසිටුවීමට උපකාර කිරීමය.

ගැමුණුපුර පහළ මීගස්වැව ප්‍රතිසංස්කරණය කරදීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකරවීමය. ඒ සමඟ දරුවන්ගේ නැණපහන් ආලෝකවත් කිරීමට සරණක් වුවොත් ගැමුණුපුර ආලෝකයෙන් බැබළෙනු බව සැබෑය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment