ගොවි ආර්ථිකය රකිනවා රටේ අභියෝග දිනනවා – ජනාධිපති

165

මහ පාරට අපිත් ඔට්ටුයි: මත්තල වී ගබඩා කළ අය ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා – අගමැති මහින්ද රාජපක්‍ෂ

අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩා පිටියේ පොදුජන ජන රැලිය

අපි ප‍්‍රායෝගිකව ගොවි ජනතාවගේ ආර්ථිකය වැටෙන්න දෙන්නේ නැහැ. මොන ක‍්‍රමයකින් හෝ ආර්ථිකය රැක ගෙනයි අපි ඉදිරියට යන්නේ, ඒ වගේමයි අද තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මාත් එක්ක එකතු වෙන්න. විශ්වාසය තබන්න, අද මේ රටේ දේශීය හා විදේශීය බලවේග මේ රජය කඩන්න මේ යන ගමන වළක්වන්න උත්සාහ ගන්නවා. එදා අපි බලය ගන්න අවස්ථාවේ අපිට සැලැස්මක් තිබුණා. නමුත් අපිට අභියෝගවලට මුහුණ දෙන්නට වෙනවා. අපි නොසිතූ විරූ අන්දමට මුළු ලෝකයටම අභියෝගයක් වුණ කොවිඞ් වසංගතය ආවා. නායකයකු වශයෙන්, රජයක් හැටියට අපිට තියෙන්නේ ඒ අභියෝගවලට මුහුණ දෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (9 දා) අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩා පිටියේදී පැවැති පොදුජන ජන රැලියට එක් වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

මගේ ජයග‍්‍රහණය වෙනුවෙන් විශේෂයෙන් එදා විශාල ජවයක් ලබා දුන්න රජරට ජනතාවගෙන් පළමුවෙන්ම අවසර ගන්නවා. ස්තුතිවන්ත වෙනවා. එදා මේ බිමේ ඉඳලා මගේ පළවෙනි මැතිවරණ රැස්වීමේ දී, ජන හමුවේදී, තමුන්නාන්සේලාට පොරොන්දු වුණා පොහොර නිකන් දෙනවා, වීවල මිල සහතික කරනවා කියලා. මගේ පළවෙනිම රාජකාරිය වුණේ එය බව ඔබ තමුන්නාන්සේලාට මතක තියා ගන්න ඕනේ. මම අද කියනවා, පොහොර එක්ක හරි, පොහොර නැතුව හරි ජනතාවගේ ආදායම සීයට සීයකින් මම වැඩි කරනවා කියලා. තමුන්නාන්සේලාට අවශ්‍ය පොහොර ටික දුන්නා, වීවලට සහතික මිලක් ලබා දුන්නා, මම පොරොන්දු වුණා තමුන්නාන්සේලාගෙන් උදුර ගත්ත ඉඩම් ටික ද ලබා දෙනවා කියලා. මම ඒකත් ලබා දුන්නා. ගොවි ජනතාව වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරන්න කැප වෙලා ඉන්නවා කියන එක මම මේ අවස්ථාවේ දී සහතික වෙනවා.

එදා වසර පහක් රට පාලනය කරලා කෘෂි කර්මාන්තය වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු අය, අද ජනාධිපති සිහින මවලා ගොවියන්ව රවට්ටලා මේ රට ආපහු අගාධයට ගෙනියන්න ලෑස්ති වෙනවා. තමුන්නාන්සේලාට මතකයි, මේ රට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ත‍්‍රස්තවාදයෙන් බේර ගෙන, ආර්ථික සංවර්ධනය කරා ගෙන යන අවස්ථාවේ දී, 2015 වසරේදී බොරු ප‍්‍රචාර ගෙන ගිහින් ජනාධිපතිකම නැති කළා. අවුරුදු පහක් තුළ ඒ අය මොනවද කළේ, අපි එදා මේ රටේ තහවුරු කරලා දුන්නා ආරක්ෂාව බිඳලා දැම්මා. අන්තිමට පාස්කු ඉරිදා බෝම්බ ගහලා නතර වුණේ. මේ රටේ තිබ්බ බුද්ධි අංශ විනාශ කරලා දැම්මා. රණවිරුවන් පාවා දුන්නා. ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ රටේ ස්වෛරීත්වය නැති කළා, අපේ සංස්කෘතික උරුමයන් නැති කළා, අපේ ස්වාමීන් වහන්සේලා උසාවියට ගෙනිච්චා. අපි මේ තත්ත්වය මේ අවුරුදු දෙක තුළ නැති කරලා තියන බව මතක තියාගන්න ඕනෑ. අපි ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. අපේ ආගම සංස්කෘතිය රැකලා දීලා තියෙනවා. අපි කූරගල, මුහුදු මහා විහාරය, දීඝවාපිය සිද්ධස්ථාන මේවා අපේ උරුම බවට නැවතත් තහවුරු වෙලා තියෙනවා.

වසර පහළොවක් එක දිගට ඇමැතිකම් කරපු අය අද එක එක බලවේග හදාගෙන වෘත්තිකයන් එක්ක සම්මන්ත‍්‍රණ තියලා බොරු කතා කරනවා. ඒ අය අවුරුදු පහළොවක් ප‍්‍රධාන ඇමැතිකම් කළා. මොනවද කළේ ? කරපු දේවල් දිහා බලන්න. අපි තමුන්නාන්සේලා ඉදිරියට එන්නේ වැඩ කරලා, අපේ පක්ෂයේ ප‍්‍රතිපත්ති, ආර්ථික ප‍්‍රතිපත්ති, ඉදිරි අනාගතයේ ප‍්‍රතිපත්ති, ඉදිරි පරම්පරාව වෙනුවෙන් කරන ප‍්‍රතිපත්ති, අධ්‍යාපනය වේවා, කෘෂිකර්මාන්තය වේවා, විදුලි බලය වේවා, මේ සියලූම ප‍්‍රතිපත්තික්ම අපි ඉදිරියට ගෙනි යන්නේ මේ රටේ තරුණ පරම්පරාව වෙනුවෙන්. අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල පරිවර්තනයක් කරලා තිබෙනවා. අපි පොරොන්දු දුන්නා මේ රටේ තරුණයන්ට සාමාන්‍ය පෙළ උගත් හෝ වේවා, උසස් පෙළ උගත් හෝ වේවා, උසස් අධ්‍යාපනයක් දීමට. අපි සෑම දිස්ත‍්‍රික්කයකම රැකියා අවස්ථා දහ දාහකට වඩා ලබා දුන්නා. විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්තත් ඒ අයගේ නිපුණත්වය වැඩි කර ගන්නට, ඒ අයට හොඳ රැකියාවක් ලබා ගැනීමට පුළුවන් වීමට, මේ රටේ ආර්ථිකයට සහභාගිවීමට පුළුවන් වෙන විදියට අපි තාක්ෂණය ඔවුන්ට ඉදිරිපත් කරලා තියෙනවා. මොන උපාධියක් ගත්තත් ඒ අයගේ උපාධියට ඒ තාක්ෂණය එකතු කරලා තියෙනවා. මේ සෑම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටට අවශ්‍ය අපේ ශ‍්‍රමය හැකියාව අපේ තරුණ තරුණියන්ට ලබා දෙන්න. මෙහෙම අපි කරන්නේ ඉදිරි අනාගතය දිහා බලලා. අපි ඒ වගේම කෘෂිකර්මාන්තයක් ගැන කතා කරන්නේ ඇයි?

එදා අපිට මතකයි පොඩි කාලේ අපිට පුළුවන් වුණා වක්කඩයකින් වතුර ටිකක් බොන්න, එහෙම පුළුවන්ද අද. වකුගඩු රෝගය, පිළිකා රෝගය, මේවා බලලා තමයි අපි කෘෂිකර්මාන්තයක් ගැන කතා කරන්නේ, නමුත් අපි ප‍්‍රායෝගිකව ගොවි ජනතාවගේ ආර්ථිකය වැටෙන්න දෙන්නේ නැහැ. මොන ක‍්‍රමයකින් හෝ ඒ ආර්ථිකය රැකගෙනයි අපි ඉදිරියට යන්නේ.

අපි කොවිඞ් වසංගතයට මුහුණ දුන්නා. එන්නත් ගෙනාවා. දෙවැනි එන්නතත් සීයට අනූවකට ලබා දුන්නා, දැන් තුන්වෙනි එන්නත ලබා දෙමින් පවතිනවා. මං ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තුන්වෙනි එන්නත ලබා ගන්න කියලා, නැවතත් අපිට මේ රට වහන්න ඉඩ තියන්න එපා. අද ආර්ථිකය පිබිදෙමින් සංචාරකයන් පැමිණෙමින් තිබෙනවා. ආර්ථිකය ඉදිරියට ගෙන යන කොට අපිට පුළුවන්, එදා ඒ පොරොන්දු වුණු ප‍්‍රතිපත්ති මාලාව ක‍්‍රියාත්මක කරන්නට. මොන රජය ද මේ අභියෝග මැද්දේ පළවෙනි අවුරුද්දෙම රැකියා ලක්ෂයක් ලබා දුන්නේ, අපි මේ අභියෝග මධ්‍යයේ ලක්ෂයක් රැකියා ලබා දුන්නා. අපි හැම අවස්ථාවෙම තමුන්නාන්සේලාට සහන ලබා දුන්නා. මේ අමාරු කාල සීමාවේ අපි ඉදිරියේ දී වුණත් පොරොන්දු වුණ සෞභාග්‍යයේ දැක්ම, ඉදිරි අවුරුදු 3 ඇතුළත සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කරනවා කියන එක තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා. අද බලන්න විවිධ බලවේග හින්දා වැඩවර්ජනවලට යනවා. අපි ඒ අයට කියනවා මේ වගේ අවස්ථාවක ජනතාව දිහා බලන්න කියලා. ඔබගේ වගකීම තියෙන්නේ ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් සේවය කරන්න. මම රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ඉදිරි අවුරුදු තුනේ ඔබගේ වගකීම ජනතාව වෙනුවෙන් ඉටු කරන්න කියලා. මෙම අවස්ථාවට සහභාගි වීම ගැන ස්තුතිවන්ත වෙමින් එය දහිරියක් බව ප‍්‍රකාශ කරමින් මම ඔබ තමුන්නාන්සේලාට ජය වේවායි ප‍්‍රාර්ථනා කරනවා.

මෙහිදී අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා –

අද අපි අනුරාධපුරයෙන් අලූත් ගමනක් පටන් ගන්නයි ආවෙ, මට මතක් වෙනවා 2005 ජනාධිපතිවරණයේදී ඒ ගමන ආරම්භ කළේ අනුරාධපුරයෙන්. ඊට පස්සේ යුද්දෙ දිනලා 2010 වසරේදී ජනාධිපතිවරණය පටන් ගත්තෙත් අනුරාධපුරයෙන්, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති සටන ආරම්භ කළේ මේ අනුරාධපුරයේදී. ජනාධිපතිවරණය අති විශිෂ්ට ලෙස ජයග‍්‍රහණය කරලා, දිවුරුම් දුන්නෙත් අනුරාධපුරයේ රුවන්වැලි මහ සෑ පුද බිමේදී, යුද්ධ කරපු අපේ රටේ සිවු දෙසම හිටපු වීරයෝ වෙනුවෙන් සඳහිරු සෑය ඉදි කළේ මේ අනුරාධපුරේ, අපි ජයග‍්‍රහණය කළ සෑම අවස්ථාවකදීම අපි එය ආරම්භ කළේ අනුරාධපුරයෙන්.

අදත් අපි ඒ වගේ ගමනක් අනුරාධපුරයෙන් ආරම්භ කරනවා. මේක මේ මොහොතේ මේ රටට අත්‍යවශ්‍ය ගමනක් බව මම කියන්න ඕනේ. පසුගිය කාල සීමාවේ අපි කටයුතු කරේ මේ ගෝලීය වසංගතයත් එක්ක. කොවිඞ් වසංගතයෙන් අපේ රටේ ජනතාව බේර ගන්න, ත‍්‍රිවිධ හමුදාව එකතු වුණාම විපක්ෂ නායකතුමා ඝෝෂාවක් කළා ත‍්‍රිවිධ හමුදාව මේ වැඬේට යොදා ගන්නවා කියලා. ඒ ත‍්‍රිවිධ හමුදාවට නොකළ යුතු වැඩක් විදියට එය ජාත්‍යන්තරයට පවා යැව්වා.

ලෝකයේ එන්නත හොයා ගත්තා විතරයි එය වහාම ගේන්න කියලා කෑ ගැහුවා.

මේ ආණ්ඩුවට එන්නත ලංකාවට ගේන්න බෑ කියලා අභියෝගයක් කළා, ඒත් අපි මුල්ම එන්නත් තොගේ චීනයේ සිට ලංකාවට ගෙනාවට පස්සේ කිව්වා එන්නත බාලයි, ඒ එන්නත ගහන්න එපා ලෝකයේ හොඳම එන්නත ෆයිසර්, ඒක ගහන්න කියලා. අද වෙනකොටත් අපි තුන්වන එන්නත විදිහට ෆයිසර් එන්නත ලබා දෙනවා. අද මේ අය කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. මිත‍්‍රවරුනි මේ අයට මෙහෙම සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැබුණේ ඇයි? අපි මේ වසංගතය එක්ක වැඩ කරලා මේ රටේ ජනතාව බේර ගත්ත නිසයි.

අපේ ස්වාමීන් වහන්සේලා දන්නවා ගොවිතැනට වෙලා තියෙන ප‍්‍රශ්නය. අපි හොඳට ගොවිතැන් කරපු කට්ටිය, 2005 වෙන කොට මේ රටේ වීවලට ලැබුණේ කීයද? රුපියල් දොළහයි නැත්තම් දහතුනයි, ගොවියෝ මිලක් නැතුව වහ බීපු කාලෙ මතකද? එතකොට ඔය කෑගහන අය ගොවියෝ බලන්න ගියාද. නෑ. 2005න් පස්සේ අපි වී කිලෝවට රුපියල් 25ක් දී පොහොර රුපියල් 350ට දුන්නා. ඊට පස්සේ අපි පොහොරවලට සහනාධාරයක් දීලා වී කිලෝව 55ට ගත්තා. දැන් කීයද වී. ගොවියාට හොඳම සහන දුන්නේ අපේ ආණ්ඩුවෙන්,

අද මේ ගොවියාට ඉන්න පරම හතුරා අපේ ආණ්ඩුවයි කියලා විපක්ෂය හැම තැනම ගිහිල්ලා කෑගහනවා. එදා මට මතකයි යහපාලන ආණ්ඩුව කාලේ වී වැඩියි කියලා මේ රටට කුඹුරු අක්කර ලක්ෂ දෙකක් වගා කිරීම නැවැත්තුවා. මත්තල ගුවන්තොටුපළ වී ගබඩාවක් කළා. වී ගොවිතැනට මෙහෙම දෙයක් කරපු අය, අපි වී ගොවියගේ පරම සතුරා කියලා ප‍්‍රචාර ගෙන යනවා. එහෙම වුණේ ඇයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. ලක්ෂ ගණන් රෝගීන්ට ආණ්ඩුවේ රෝහල්වල ප‍්‍රතිකාර කරන්නත් එන්නත් ලබා ගන්නත් අපි කටයුතු කළා. ජනාධිපති මන්දිරය වටා කරන්නත් අපි ඉඩ ලබා දුන්නා. මහ පාරේ පෙළපාලි යන්න උද්ඝෝෂණය කරන්නත් අපි ඉඩ දීලා තියෙනවා. මේ අය රට ඇරලා තියෙන කොට වහන්න කියලා කෑ ගැහුවා. වහලා තියෙන කොට අරින්න කියලා කෑ ගැහුවා. වහලා තියෙන අවස්ථාවේ ඇඟලූම් කම්හල් වහන්න කියලා කෑගැහුවා. ඇඟලූම් කර්මාන්ත වැහුවට පස්සේ කියනවා රටේ අපනයනය කඩා වැටිලා කියලා, මේ අභියෝග මැද්දේ සෑම පවුලකටම රුපියල් පන්දහසක් ලබා දුන්නා. රජයේ සේවකයන්ට පන්දහසකින් දීමනා වැඩි කළා. එහෙම කළාම විපක්ෂය අපෙන් අහනවා මෙහෙම වියදම් කරන්න මේවා අම්මගේ අප්පගේ බූදලේ ද කියලා. මේ රටේ ගුරුවරු කුලප්පු කළා, ආණ්ඩුව අවබෝධයෙන් වැඩ කරන්නේ. ආණ්ඩුව පටන් ගත්ත හැම වැඩක්ම නතර කරන්න කටයුතු කළා. සියලූ දේ අවුල් කරන්න තමයි මේ අය සූදානම් වෙන්නේ. අපි ඒකට සුහදව මූණ දෙන්න සූදානම්. අපි ඒකට ජනතාව සූදානම් කරන්න ඕනේ. මේ අය මතක තියාගන්න ඕනෑ අපිටත් මහ පාර හොඳට පුරුදුයි කියලා යැයි පැවසීය.

මෙම අවස්ථාවට එක්වූ අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, චන්න ජයසුමන, කාංචන විජේසේකර, රෝහිත අබේගුණවර්ධන, එස්. එම්. චන්ද්‍රසේන, ඇමැතිනී පවිත‍්‍රාදේවි වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු, ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ සහ ජනතාව විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment