ගොවීන්ට ගෙනා සහන පොහොර මගඩියක්!

145

පිටස්තර පාර්ශ්වවලට වැඩි මිලට විකුණලා

අත්අඩංගුවට ගන්න එපා යයි අධ්‍යක්‍ෂවරුන් දෙදෙනකු ඉල්ලූ අපේක්‍ෂිත ඇප ප්‍රතික්‍ෂේපයි

රජයේ අනුමැතිය ඇතිව සහනාධාර මිලකට ගොවීන්ට ලබාදීම සඳහා මෙරටට ආනයනය කළ රසායනික පොහොර ගොවීන්ට ලබානොදී වසර හයකට ආසන්න කාලයක් තිස්සේ පිටස්තර පාර්ශ්වවලට වැඩි මිලට අලෙවි කොට රුපියල් කෝටි ගණනක් වංචා කළේ යැයි චෝදනා එල්ලවී තිබියදී තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්‍ෂිත ඇප ලබාදෙන ලෙසට පොහොර ආනයනයන සමාගමක අධ්‍යක්‍ෂවරුන් දෙදෙනකු කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඊයේ (9 දා) ප්‍රතික්‍ෂේප කරන ලදී.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් බවට තොරතුරු ලැබී ඇති බව කියමින් සමාගම් අධ්‍යක්‍ෂවරුන් දෙදෙනා සිය නීතිඥවරුන් මගින් එම අපේක්‍ෂිත ඉල්ලීම සිදු කළහ.

2018 වසරේදී පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සමාගම් අතරින් 7ක් සම්බන්ධයෙන් බැංකු වාර්තා ලබාදෙන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා බැංකු ආයතන කීපයකට මින් පෙර නියෝග ලබාදී තිබිණි.

එකී සමාගම් හත අවම වශයෙන් එම කාලයේදී රුපියල් කෝටි 70කට ආසන්න මුදලක් වංචා කර ඇති බවත් රුපියල් 2500 බැගින් ආනයනය කරන පොහොර මිටියක් රුපියල් 1100කට ගොවීන්ට ලබාදුන් බව පෙන්වා එක් පොහොර මිටියකට රුපියල් 1400 බැගින් වූ මුදල රජයෙන් ලබාගෙන ඇති බවත් විමර්ශන සිදුකළ උප පොලිස් පරීක්‍ෂක අනුර ගමගේ මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම සමාගම් හතේ බැංකු වාර්තා ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබිණි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලෙස කටයුතු කළ සුමේධ පෙරේරා හා රුවන් චන්ද්‍ර යන මහත්වරුන් කළ පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙරටට පොහොර ආනයනය කළ සමාගම් අධ්‍යක්‍ෂවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගනිමින් තිබියදී පෙරකී අධ්‍යක්‍ෂවරුන් දෙදෙනා අපේක්‍ෂිත ඇප ඉල්ලීම් කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment