ගෝඨාගේ නිවස අසළ මුරපොළක – සාජන්ට වෙඩි තියන්න ගියැයි කොස්තාපල් රිමාන්ඩ්

233

ගෝඨාගේ රැකවලුන් සම්බන්ධ නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මිරිහානේ නිවස ආසන්නයේ පිහිටි පොලිස් මුරපොළක පොලිස් සැරයන්වරයකුට ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම සිදුවීම ගෝඨාභය රාජපක්‍ෂ මහතාට යොදවා ඇති ආරක්‍ෂකයන් අතර සිදුවීමක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවස පිහිටි මිරිහානේ පැඟිරිවත්ත ප්‍රදේශයේ පොලිස් මුරපළක සැරයන්වරකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු රාජකාරියේ නිරතව සිටියදී එක් කොස්තාපල්වරයකු නිතර නිතර සිය ජංගම දුරකථනය චාර්ජ් කිරීමට යැයි පවසා මුරපොළෙන් පිටතට ගොස් වැඩි කාලයක් රාජකාරියට නොපැමිණීම නිසා එම කොස්තාපල්වරයා සහ සැරයන්වරයා අතර බහින්බස් වීමක් සිදුවී ඇත.

එහිදී පොලිස් කොස්තාපල්වරයා සිය ගිනි අවිය වෙඩි තැබීම සඳහා සූදානම් කළ බවට පොලිස් සැරයන්වරයා මුරපොළ භාර පොලිස් පරීක්‍ෂකවරයා දැනුවත් කිරීමෙන් පසු පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇතැයිද සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment