ගෝඨාභයට රනිල්ගෙන් යෝජනාවලියක්

783

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මැතිණිය පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට හොඳ පණිවිඩයක් ලබා දුන්නීය. මොනම කරුණක් නිසාවත් කොළඹ නගරයට පැමිණෙන්නට එපා යැයි ඇය ජනතාවට කීවාය. ඇය එසේ කීවේ නොකියාම බැරි තැන බව පැහැදිලි ය.

සැබැවින්ම පසුගිය සතිය වන විට කොළඹ තත්ත්වය මුළුමනින්ම නරක අතට හැරී තිබිණි. කොවිඞ් ඩෙල්ටා ප‍්‍රභේදයේ බලපෑම ඉතාමත් නරක ලෙස කොළඹ ගම්පහ වෙලාගනිමින් ඇති කර තිබූ අනාරක්ෂිත පරිසරය තුළ සියලූ රෝහල් හා සියලූ කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණු අතර ඒවායේ රෝගීන්ට සේවාවන් සපයන වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලවල අයද අප‍්‍රමාණ ලෙස වෙහෙසට පත්ව සිටියහ.

කොළඹ ගම්පහ ප‍්‍රමුඛ බස්නාහිර පළාතම මේ අයුරින් පසුගිය සතියේ කොවිඞ් පැතිරීම නිසා අනාරක්ෂිතව තිබූ අතර මුළු රටේම තත්ත්වය ද සතුටුදායක නොවීය. පසුගිය සතිය මැද පමණ වන විට රට වටින්ම දිනකට හමුවන කොරොනා රෝගීන් සංඛ්‍යාව 3,500 ද ඉක්මවා තිබිණි. එය ඉතා වේගයෙන් 4000 සීමාව කරාද පැමිණෙමින් තිබිණි. දිනකට සිදුවන මරණ සංඛ්‍යාව ද 180 සීමාව පැන ඉතා වේගයෙන් 200 සීමාව ඉක්මවා යන්නට පැමිණෙමින් තිබිණි.

මෙම තත්ත්වය පාලනය කර ගන්නට රටේ සෞඛ්‍ය අංශය ප‍්‍රමුඛ කොටගත් කොවිඞ් මර්දනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය නොගත් උත්සාහයක් නොවීය. එහෙත් වෙනත් අන් කවර ප‍්‍රභේදයක ටත් වඩා වේගයෙන් කොවිඞ් ඩෙල්ටා ප‍්‍රභේදය පැතිර යෑම තුළ සෞඛ්‍ය අංශවලට ද විකල්ප විසඳුමක් තිබුණේ නැත. ලලිත් වීරතුංග මහතාගේ නායකත්වයෙන් පාලනය වුණු එන්නත්කරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය සෞඛ්‍ය අංශයේ හා ආරක්ෂක අංශයේ උපරිම කැපවීම මත රටපුරා එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා මැනවින් ක‍්‍රියාවට නැංවූවත් ඔවුන්ටද කොවිඞ් පාලනය සම්බන්ධයෙන් විකල්පයක් නොවීය.

වෛද්‍ය ක්ෂේත‍්‍රයේ විශේෂඥයන්ගේ මතය වූයේ කොවිඞ් මර්දන එන්නත ලබා දෙමින් මහ ජනතාවට ආරක්ෂාව දීම කොතරම් වේගවත් කළත් ඒ හා සාපේක්ෂව කොවිඞ් පැතිරීම පාලනය කිරීමටද රජය අවධානය යොමු කළ යුතු බවකි. කොවිඞ් පැතිරීම පාලනය නොකළහොත් වෛරසය පැතිරීමේ තීව‍්‍රතාවය මත වෙනස් වෙනස් ප‍්‍රභේද නිර්මාණය වී එන්නතට සංවේදී නොවන ප‍්‍රබේධ බිහි වුවහොත් මේ තරම් විශාල මුදලක් හා මහන්සියක් යොදවා කරන එන්නත්කරණයෙන් ද පලක් නොවනු ඇති බව ඔවුන්ගේ මතය වූහ. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රජය තුළ මේ පිළිබදව සාකච්ඡා කිරීමට සතිපතා රැස්වන කොවිඞ් මර්දන කාර්ය සාධක බළකායේ රැස්වීම්වලට සහභාගි වූ ඇතැම් වෛද්‍යවරු මේ සඳහා යෝජනා කළ හොඳම විසදුම වූයේ රට වසා දැමීමයි. ඔවුන්ගේ තර්කය වූයේ ජනතාව මහා පරිමාණයෙන් ජාතික වශයෙන් පාලනය කරමින් පවුල් ඒකකය දක්වා හුදකලා කරමින් ජනතාව නිවසේ තබා ගත යුතු වැඩපිළිවෙලක් සූදානම් කළ යුතු බවයි.

මෙයට ප‍්‍රති තර්ක ගෙන ආ වෛද්‍යවරු පිරිසක් ද එතනම වූහ. එම වෛද්‍යවරුන්ගේ තර්කය වූයේ ජනතාව පුද්ගලයන් වශයෙන් දැනුවත් කර නිවෙස් ඒකකවල හුදෙකලා කර තබාගෙන ආර්ථික මර්මස්ථාන හා සේවා ස්ථාන ක‍්‍රියාත්මක කරමින් සීමිත පරිදි රටේ පරිපාලන යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වන්නට ඉඩ දෙමින් සිටින අතර වෛරසයේ යම්කිසි වර්ධනයක් ඇති තැන් පමණක් තෝරාගෙන හුදෙකලා කරමින් මේ තත්ත්වය ජයගන්නට උත්සාහ කළහොත් මේ අභියෝගය ජයගැනීමට අපහසු නොවනු ඇති බවකි.

රට වහනවද නැද්ද කියා
උගතුන් අතරත් බෙදීමක්…

සෞඛ්‍ය බලධාරීන් මෙසේ දෙපැත්තක සිට වඩාත් හොඳ විකල්පය ගැන තර්ක කරමින් සිටියත් රජයේ දේශපාලනඥයෝ ජනතාවගේ ආර්ථීක ක‍්‍රමෝපායන් ගැන සලකමින් රට ලොක්ඩවුන් කිරීමකට යා යුතු නැතැයි පෙන්වා දුන්හ. මෙරට රාජ්‍ය සේවයේ ස්ථිර වැටුප් ලබන 14 ලක්ෂයක් පමන ජනතාවත් පුද්ගලික අංශයේ ලාභලබන නිෂ්පාදන හා සේවා ආයතන වල ස්ථිර සේවකයනුත් රට වසා ඇති කලෙක වුවත් ස්ථිර ලෙස වැටුප් ලබද්දී මේ රටේ 60 ලක්ෂයකට අධික ජනතාවක් ගොවි කම්කරුවන් ලෙස ස්වයං රැකියාවල හා දෛනික ආදායම්වල නිරතවෙමින් එම තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඔවුන්ගේ තර්කය වූහ.

එම නිසා රටේ අනවශ්‍ය සංචරණ පමණක් සීමා කොට අත්‍යවශ්‍ය සේවාවන් හා හැසිරීම් සීමා නොකොට රටේ නිෂ්පාදනය හා සේවාවන් බිඳ වැටෙන්නට ඉඩ නොදී රෝගය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසිය යුතු බව ඔවුන්ගේ මතය වූහ. දීර්ඝ වශයෙන් මේ පිළිබඳව නිතිපතා පැවති සාකච්ඡා වාර කිහිපයකට පසුව ජනතාවගේ අනවශ්‍ය සංසරණ සීමා කිරීමට රාත‍්‍රී 10.00 සිට පසුදා අලූයම 4.00 වන තෙක් ඇඳිරිනීතිය දමන්නට පවා රජය තීරණය කළේය. රාත‍්‍රි කාලයේ පමණක් ඇදිරිනීතිය දැමීම විපක්ෂයේ දැඩි විවේචනයට බඳුන් විය. විපක්ෂයේ ඇතැම් ප‍්‍රකාශකයන් මත පළ කළේ ආණ්ඩුව රාත‍්‍රී කාලයේ ඇඳිරිනීතිය දමමින් බලාපොරොත්තු වන්නේ මේ රටේ වවුලන්ගේ හා වඳුරන්ගේ ගමන් බිමන් සීමා කිරීමක් බවය. එසේ කියමින් එම උත්සාහය හාස්‍යයට ලක් කළහ.

සෞඛ්‍ය අංශ හා දැන උගත් වෛද්‍යවරු අන් කිසිදු කරුණක් සැලකිල්ලට නොගෙන රෝගය පාලනය කිරීම පමණක් ගැන සිතා ඉතා දැඩිව රට ලොක්ඩවුන් කළ යුතු යැයි රජයට යෝජනා කළහ. විපක්ෂය එයින් දේශපාලන වාසි අත්පත් කරගන්නට සිතා මේ මොහොතේ රට වසා දැමීම ඔවුන්ගේ සටන් පාඨයක් කොට ගත්හ. විපක්ෂයට සහයෝගය ලබා දෙන ඇතැම් වෘත්තීය සමිති රජය මේ මොහොතේ රට වැසීමට තීරණය කොට සෞඛ්‍ය සේවයේ සේවකයන් ඇතුළු රාජ්‍ය සේවකයන් ගලවා ගැනීමට කටයුතු නොකළහොත් වෘත්තීය ක‍්‍රියාමාර්ග ගන්නා බවට රජයට තර්ජනය කළහ.

කෙසේ වෙතත් පසුගිය සතිය ආරම්භයේ සිටම හරි අපූරු දෙයක් සිදු වෙමින් තිබිණ. ඒ වූ කලී කොවිඞ් පැතිරීම වේගවත් වූ ඇතැම් නගරවල හා ප‍්‍රදේශවල එමගින් සිදුවන විපත අත්දැකීමෙන් වටහාගෙන තම තමන්ට ස්වයංවාරණයක් පනවා ගන්නට ජනතාවම තීරණය කිරීමයි.

ඇතැම් වෙළෙඳ සංගම් දින කිහිපයකට තම නගර වසා දමන්නට තීරණය කළහ. ඇතැම් ප‍්‍රාදේශීය සභා තම තමන්ගේ මට්ටමින් අනතුර තේරුම්ගෙන සතිපොළවල් වැනි සෙනග ඒකරාශීවන යම් යම් ස්ථාන අත්හිටුවන්නට තීරණය කළහ. මෙබදු තත්ත්වයන් තුළ ඇතැම් අවස්ථාවාදී දේශපාලන පක්ෂවලට තම තමන්ගේ පටු දේශපාලන අභිමතාර්ථ ඉටු කරගන්නට ද අපහසු වූහ. ජනාධිපතිවරයා ඇතුළු සමීප දේශපාලනඥයෝ හා නිලධාරීන් කීප දෙනෙක් පසුගිය සතියේ මේ පිළිබඳව තමතම අදහස් හුවමාරු කර ගනිමින් සිටියහ.

‘‘සමහර පළාත්වල මිනිස්සු ස්වයංවාරණයක් පනවාගෙන ආරක්ෂා වෙන්න කල්පනා කරනවා… ඒක හොඳ දෙයක්…”

‘‘ඔව්… තමතමන්ගේ නගරවල කඩසාප්පු ඇරගෙන ඉන්න එකෙන් කොවිඞ් පැතිරීම වේගවත් වෙනවා නම් ඒගොල්ලන්ම හිතලා තීරණය කරලා කඩසාප්පු වහලා ජනතාව එකරාශී වීම නවත්තලා සෞඛ්‍ය අංශවලට උදව් කරන එක ඉතා හොඳ දෙයක්… අපි එකේ වරදක් දකින්නේ නෑ…”

‘‘ ඕක කරන්න කියලා ආණ්ඩුව කියන්න ගියා නම් මේගොල්ලෝ කියන්නේ ඔන්න ජනතාවට බලපෑම් කරනවා කියලා… ඒකට කැමැති නෑ. හැබැයි තමන්ටම තේරිලා එහෙම කරන එකේ වරදක් නෑ…”

‘‘හැබැයි ඉතින් අර දහස් ගණන් පාරට බැහැලා මාසයක් තිස්සේ උද්ඝෝෂණ කරපු අයත් එහෙම හිතුව නම් අද මේ තරම් විනාශයක් මේ රටට වෙන්නේ නෑ… දවසකට මෙච්චර මිනිස්සු ප‍්‍රමාණයක් මැරෙන්නෙත් නෑ…”

ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් කිසිවක් කියන්නට ගියේ නැත. ඔහු හිස සලමින් එම ප‍්‍රකාශ අනුමත කළා පමණි.

  • රෑට දමන ඇදිරි නිතිය
    වව්ලන්ටයි වඳුරන්ටයිලූ‍…

‘‘අපි රාත‍්‍රී කාලයේ මිනිස්සු සංසරණය වෙන එක නවත්වන්න ඇඳිරි නීතිය දැම්මා. විපක්ෂය ඒක හා හාස්‍යයට ලක් කළා. සමහර අය සමාජ මාධ්‍ය ඔස්සේ කිව්වේ… ‘‘ආණ්ඩුව වවුලන්ගෙයි වඳුරන්ගෙයි බල්ලන්ගෙයි සංසරණය නවත්තන්න ?ට ඇඳිරි නීතිය දාලා‘‘ කියලයි.

හැබැයි ඕගොල්ල දන්නවද ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර දැන් දාලා තියෙනවා රාත‍්‍රි 9.00 ඉඳලා පහුවදා උදේ 5:00 වෙනකන් ඇඳිරි නීතිය. එතකොට සිඞ්නිවල කැන්බරා එහෙම පිටින්ම වහලා දාලා. ඒව ගැන කවුරුවත් කතා නෑ. එහේ ඇ`දිරිනීතිය දාලා තියෙන්නෙත් වවුලන්ටයි බල්ලන්ටයි වඳුරන්ටයි එහෙ මෙහෙ නොයන්නද කියලා තමයි අපිට අහන්න තියෙන්නෙ…”

‘‘විපක්ෂයේ අපිට චෝදනා කරන්නේ අපේ උද්දච්ඡු කම නිසා රට වහන්නේ නෑ කියලායි. රට වහන්න කියලා දේශපාලනඥයෝ හැටියට අපිට තනි තීන්දුවක් ගන්න බෑ. අපි කමිටුවකින් තමයි ඒ ගැන තීරණය කරන්නේ. ඒ කමිටුවේ සෞඛ්‍ය අංශයේ බලධාරීන් ආරක්ෂක බලධාරීන් ආර්ථික මරමස්ථානවල අය දේශපාලනඥයෝ මේ ඔක්කොම ඉන්නවා. එතෙන්දී අපි මූලිකත්වය දෙන්නේ සෞඛ්‍ය අංශයේ තීරණ වලට. සෞඛ්‍ය වෘත්තීය සමිති නෙවෙයි වැදගත්. රටේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් කියනවා නම් රට වහන්නෙ නැතුව මේක පාලනය කරන්න අමාරුයි කියලා, අපි සූදානම් රට වහන්න…

සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරියේ තීන්දුවද එයම විය. අපේ රටේ ඉන්න අරුම පුදුම විපක්ෂයක්. විපක්ෂය හිතන් ඉන්නේ මේ රටට කොරෝනා තියෙන්නේ රාජපක්ෂ පවුලේ අය රට කරවන නිසා කියලයි. වෙන රටවල්වල විපක්ෂයේ අය මේ වසංගතය ලෝකයේ හැමෝටම තියෙන වසංගතයක් ලෙස සලකලා දේශපාලනය පැත්තක තියලා වසංගතයෙන් බේරෙන්න තියෙන ආණ්ඩුවට උදව් කරනවා. ඒ වුණාට අපේ විපක්ෂය විතරක් මේ වෙලාවේදීත් දේශපාලනය කරනවා. බොර දියේ මාළු බානවා කියන්නේ මේවට තමයි.

මේ සතියේ පාර්ලිමේන්තු ව රැස් වූයේ අඟහරුවාදා දිනයේ පමණි. අයවැය සඳහා සහෝදර පක්ෂවල අදහස් ලබාගැනීමේ විශේෂ සාකච්ඡා වටයක් පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී කැඳවා තිබූ නිසා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ වේලාසනින්ම පාර්ලිමේන්තු ආවේය… අය වැය සාකච්ඡාවේ පළමු අවස්ථාව දී තිබුණේ විමල් ප‍්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණටය. අපිට එන්න කියල තිබුණෙ 10.30 ට. ඔන්න ඇමැතිතුමා අපි කලින්ම ආව… දැන් වෙලාව 10.28 යි. විමල් එසේ කියමින් සිය කණ්ඩායමද සමගින් සාකච්ඡාවට වාඩි වූයේය.

පැමිණි සියලූ දෙනාව බොහෝම සුහදව පිළිගනිමින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සාකච්ඡාවට මුලපිරුවේය.

”අයවැය සකස් කරද්දී විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබාගැනීම අපේ අය වැය සංස්කෘතියට එකතු කළේ මහින්ද ජනාධිපතිතුමා.. එතුමාගේ ඒ ආරම්භය තවත් ඉදිරියට ගෙනයමින් අදාළ සියලූම කණ්ඩායම් එක්ක මම අය වැය ගැන කතා කරනව. දැන් ඔබතුමාලට පුළුවන් ඔබේ අදහස් කියන්න’’ මුදල් ඇමැති බැසිල් සාකච්ඡාව ආරම්භ කළේ එලෙස කියමිනි.

ඇමැති විමල් ඇතුළු ජනිපෙ නියෝජිතයන් මෙවර අය වැය වෙනුවෙන් තම කණ්ඩායමේ යෝජනා ඉදිරිපත් කළේය. එදිනම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, දිනේෂ්, වාසු, උදය, තිස්ස විතාරණ, අසංක නවරත්න, ජීවන් තොණ්ඩමාන්, ඩග්ලස් දේවානන්ද, අතාවුල්ලා, වීරසුමන, චන්ද්‍රකාන්තන් අතුළු ආණ්ඩුවේ සියලූ පක්ෂ නායකයන් සිය නියෝජිතයන් සමග අයවැය ගැන මුදල් ඇමැතිතුමා එක්ක සාකච්ඡා කළහ. ඊට රතන හාමුදුරුවොත් වැඩම කළහ. ඒ වගේම ඩයනා ගමගේ ඇතුළු ආණ්ඩුවට අලූතින් සහාය දුන් මන්ත‍්‍රී කණ්ඩායමටත් මුදල් ඇමැතිවරයා වෙනම සාකච්ඡාවක් දී තිබිණ.. ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා අසනීපෙන් නිසා පැමිණ සිටියේ නැත…. සාකච්ඡා අවසානයේදී හැමෝම අය වැය වෙනුවෙන් මේ විදිහේ සංවාදයක් ඇතිවීමම හොඳ වැඩක් බව සියලූ දෙනා පවසා තිබුණි.

මේ අතර පසුගිය බදාදා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සියලූ ඇමැතිවරුන් සමග එක් එක් අමාත්‍යාංශයට අදාළව අයවැය යෝජනා ලබා ගැනීමේ සාකච්ඡා මාලාවක් මුදල් අමාත්‍යාංශයේ දී කැඳවා තිබුණි. මෙවර අය වැයට තමන්ගේ යෝජනා එවන්න කියල සිය අත්සනින් සියලූම පළාත් පාලන නියෝජිතයන්ටත් ගිය සතියේ මුදල් ඇමැති බැසිල් ලිපියක් යොමුකර තිබිණි. අය වැයට යෝජනා ලබාගැනීමේ තවත් සාකච්ඡා වට කීපයක් මේ සතියෙත් පැවැත්වීමට නියමිත බවද දැනගන්නට තිබේ.

  • වෘත්තීය සමිති ගෙරවිලි
    ඇමති කමිටුව ඉදිරියට…

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ප‍්‍රසන්න රණතුංග හා මහින්ද අමරවීර යන ඇමැතිවරුන්ගෙන් සමන්විත ගුරු වැටුප් පිළිබඳ කැබිනට් අනු කාරක සභා කමිටුව පසුගිය සතියට පෙර සතියේ මුල්වරට හමුවී සාකච්ඡා ආරම්භ කළහ. එම කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාද අදාළ නිලධාරීන් ද සමග එක්ව ගුරුවරුන්ගේ හා ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ ගැටලූවෙහි ආරම්භය හා විකාශනය හදාරන්නට වූහ. එම විෂමතාවය දුරරින්නට යම් යම් රජයයන් යම් යම් කමිටු මගින් ඉදිරිපත් කළ විසඳුම් ද හදාරා හමාර කළේය. ඉන් අනතුරුව කළේ වෘත්තීය සමිති කැඳවා ඔවුන්ගේ ඉල්ලීම් සම්පිණ්ඩනය කිරීමයි.

කලක් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස මෙම ප‍්‍රශ්නය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ ඩලස් අලහප්පෙරුමට මෙහි විසඳුමක් දකින්නට පුළුල් අවශ්‍යතාවයක් තිබිණි. ඊළ`ගට එළඹියේ වෘත්තීය සංගම් හා කතාබහ කරන අවස්ථාවයි. මෙම කමිටුව හමුවට පැමිණ තම තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් හා සැබෑ ප‍්‍රශ්න සාකච්ඡා කර විසඳුමක් ලබා ගන්නට බොහෝ වෘත්තීය සමිතිවලට අවශ්‍යතාවය තිබුණත් වෘත්තීය සමිති දෙක තුනකට පමණක් එම අවශ්‍යතාවය තිබුණේ නැත. එබැවින් ඔවුන් උත්සාහ කළේ මෙම කමිටුව හා ඔවුන් සමග කරන සාකච්ඡාව ඵල රහිත බව පෙන්වා දෙමින් අවස්ථාව මගහැර යෑමටයි.

‘‘වෘත්තීය සමිති තනිතනිව සාකච්ඡා කරන්න අපි සූදානම් නෑ. වෘත්තීය සමිති ඔක්කොම එකවර කැඳවනවා නම් අපි ලෑස්තියි”… එතනදීත් සමාජ දුරස්ථභාවය පිළිබඳ සෞඛ්‍ය නීති රෙගුලාසි අභියෝගයට ලක් කරමින් ඔවුන් උත්සාහ කළේ අවස්ථාව මගහැර පලා යන්නටය.

මෙවර කැබිනට් මණ්ඩල හමුවේදී කැබිනට් අනුකමිටුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා විය.

එහිදී කැබිනට් අනු කමිටුව කමිටු සමාජික ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ‘‘මේ වෙනකොට අපි අනුකමිටුව සාකච්ඡා වාර කිහිපයක් පවත්වලා තියෙනවා. වෘත්තීය සමිතියේ වෙන් වෙන් වශයෙන් ගෙන්වලා සාකච්ඡා කරගෙන යනවා. හැකි ඉක්මනින් අනු කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න අපි පියවර ගන්නවා” යි පැවසීය. ඉකුත් බ‍්‍රහස්පතින්දා පළමුවරට රැස් වූ අනු කමිටුව එම ගැටලූව විසඳීමට අදාළව මෙතෙක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මුලින්ම අධ්‍යයනය කළේය. පසුව වෘත්තීය සමිති සමඟ වෙන් වෙන්ව සාකච්ඡා කිරීමට තීරණය කළේය. අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්වෙන දිනය වන විට වෘත්තීය සමිති විස්සක් සමඟ සකච්ඡා පවත්වා තිබිණි.

‘‘පුළුවන් ඉක්මනින් අනු අනුකමිටු වාර්තාව ඉදිරිපත් කරන්න. අපි පොරොන්දු වෙලා තියෙනවා මේ ප‍්‍රශ්නයට ඉක්මන් විසඳුමක් දෙන බව. කොරෝනා ප‍්‍රශ්නය ආවේ නැත්නම් ගුරුවරුන්ගේ ප‍්‍රශ්නය මේ වෙනකොට විසඳල ඉවරයි.” ජනාධිපතිවරයා සඳහන් කළේය.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සීග‍්‍රයෙන් ඉහළ යෑමත් සමඟ රට වසා දමන ලෙස බොහෝ පිරිස් යෝජනා කරති. මෙවර අමාත්‍ය මණ්ඩල හමුවේදී ඒ පිළිබඳව වැඩිවශයෙන් සාකච්ඡා විය.

‘‘ගොඩක් අය රට වහන්න කියනවා. රට වහන්න ඕන වෙලාවක පුළුවන්. හැබැයි රට වැහුවට පස්සේ ජනතාවට තවත් ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඒක තීරණය කරන්න ඕනේ හුඟක් හො`දින් හිතලා බලලයි” කී ජනාධිපතිවරයා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් ද කළේය.

‘‘රට වසා දැමුවොත් රටේ සියලූ කටයුතු නතර වෙනවා. අවස්ථා කිහිපයකදීම අපි මේක කළා. රට වහපුවාම රටක් විදිහට සිද්ධ වෙන ආර්ථික පාඩුව ගැන නොසිතා ජනතාව ගැන හිතන්න වෙනවා. දවසේ වියදමවත් හොයාගන්න බැරිව අසරණ වෙන ජනතාව වෙනුවෙන් මොකද කරන්නේ” ජනාධිපතිවරයා නැවත පැවසීය.

‘‘ජනාධිපතිතුමනි, මේ වෙලාවේ අපි වැඩි අවධානයක් මේ ප‍්‍රශ්නයට යොමු කරන්න ඕනේ. රටේ ජනතාව ඔබතුමා ගැන සෑහෙන විශ්වාසයක් තියල තියෙනවා. ඔබතුමා නිවැරදි තීන්දුව ගන්නා බව අපි විශ්වාස කරනවා.” රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

‘‘රට වහනවා නම් එක දිගට මාස තුනක්වත් රට වහන්න ඕනේ. එහෙම වුණාම යමක් කමක් තියෙන අය කාල බීල ඉඳියි. අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු මොකද කරන්නේ. ඒ අයගේ ජීවනෝපාය අහිමි වෙනවා. ඊට පස්සේ ටික දවසකින් රට අරින්න අරින්න කියනවා” යි ජනාධිපතිවරයා නැවතත් පැවසීය. එන්නත් කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය.

  • ජනමාධ්‍ය ඇමති ඩලස්ට
    මහින්දානන්දගෙන් අභියෝග…
ගෝඨාභයට රනිල්ගෙන් යෝජනාවලියක්

‘‘මේ වෙලාවේ ජනතාවගේ ප‍්‍රතිශක්තිකරණ ශක්තිය ගොඩනැ`ගීම හොඳම විකල්පය කියලා මම විශ්වාස කරනවා. ඒකට එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කරන්න ඕනේ. මේ වෙනකොට විශාල මුදලක් වැක්සින් වලට වියදම් කරලා තියෙනවා. ඉදිරියටත් වැක්සින් ලක්ෂ ගාණක් ගේන්න වෙනවා. එතකොටත් ඒ වගේම වියදමක් දරන්න වෙනවා. සයිනොෆාම් එන්නත ලංකාවට ගෙනත් වෛද්‍ය අනුමැතිය ගන්න මාසයකට වැඩි කාලයක් ගියා. අපේ රටට එන්නත ගේන කාලෙම තමයි ඩුබායි වලටත් මේ එන්නත අරන් ගියේ. දැන් ඩුබායිවල අතිරේක එන්නතක් පවා දෙන්න පටන් අරන්. අපි වෛද්‍ය අනුමැතිය එනකල් බලන් හිටියා. ඩුබායිවල වගේ එන්නත්කරනය පටන් ගත්තා නම් අපි මීටත් වඩා සාර්ථකයි. සමහර කාරණාවලට මේ වගේ සිද්ධි බලපෑවා.” ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

අද වෙනකොට ලෝකෙ බොහෝ රටවල් රට වසා දැමීමේ ක‍්‍රියා මාර්ගයට පිවිසෙන්නේ නැහැ. ඔස්ටේ‍්‍රලියාව රට වසා දැමුවොත් පවුලකට ඩොලර් හයසියයක් දෙනවා. මධ්‍යම පරිමාණ කර්මාන්ත ශාලාවල ඩොලර් දහදාහක් දෙනවා. අපි වගේ ආර්ථිකයක් තියෙන රටකට මේවා දරන්න අමාරුයි.” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේය.

ඊට පිළිතුරු දුන් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා” ඒක ඇත්ත. අපි මේ සත්‍ය ජනතාවට කියන්න ඕනේ. සංචාරණ නීති රීතිවලට අනුකූලව වෙමින් තත්ත්වය පාලනය කර ගැනීමට රජයට සහාය එම මේ වෙලාවේදී ජනතාවගේ බලාපොරොත්තු වන බව ජනතාවට දැනුම් දෙන්න ඕන” කීවේය.

‘‘අපේ අලූත් ජනමාධ්‍ය ඇමැතිතුමාට පුළුවන්නේ දැන් මේ ගැන ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන්න” මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා කීවේය.

‘‘ඒක ඇත්ත අපි ඩලස් ඇමැතිතුමා ට පුළුවන් ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙළක් හදන්න” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද කීවේය.

‘‘මේ වෙලාවේ රට වසා දැම්මොත් ලොකු ප‍්‍රශ්නයක් ඇතිවෙන්වා. පුළුවන් තරම් සීමා දාලා, අනවශ්‍ය ලෙස ජනතාව ඒකරාශී වීම නතර කරලා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යමින් රටපුරා රට පුරා දැඩි සංචරණය සීමා පනවන්න ඕනේ” මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සිය අදහස් දැක්වීය.

‘‘මේ වෙන කොටත් අපි සෑහෙන්න සංචරණ සීමා පනවා තිබෙනවා” ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

‘‘ඒ වුණාට පාසල් පෙර පාසල් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පනවා තිබෙන නීති නැවත තහවුරු කරන්න ඕනේ. රට වසා දමනවා නම් ඒ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදෙන නිසි ක‍්‍රමවේදයක් අවශ්‍යයි. හොඳම විකල්පය වෙන්නේ සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරමින් දැඩි සංචරණ සීමා පවත්වාගෙන යන එක කියලයි මම විශ්වාස කරන්නේ” මුදල් අමාත්‍යවරයා පැවසීය.

මෙය අතර බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ ‘‘පිටකොටුවේ වෙළෙඳසල් වසා දමන්න සූදානම් වෙනවා. මේ වෙනකොටත් සමහර නගරවල වෙළෙඳසල් වසා දමලා. ඒක රැල්ලක් වගේ ඉදිරියට යනවා” යනුවෙනි.

‘‘විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති රට වැසුවේ නැත්නම් ලබන මාසයේ සිට සිය සාමාජිකයන් වැඩට එන්නේ නෑ කියලා කියනවා” විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.

‘‘වෙළෙඳසල් වසා දමන එකට අපි මැදිහත් වෙන්න ඕනේ නෑ. ඒවට අපි බලපෑම් කරන්න ඕනෙත් නෑ. ජනතාවට සත්‍යය ඇති හැටියෙන් පැහැදිලි කර දෙන එක අපේ වගකීම” ඊට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

‘‘මම මේ ගැන වෙළෙඳ සංගම් එක්ක සාකච්ඡා කරන්න ඉන්නේ” බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ද කීය.

මේ අතර රට තුළ එළඹ ඇති අලූත් තත්ත්වය හමුවේ අලූතින් තීන්දු තීරණ කීපයක් ගන්නට ජනාධිපතිවරයාට ද සිදුවිය. ඒ අතර ඉතා වැදගත් එකක් වූයේ ඇමැති මණ්ඩලයේ යම් සංශෝධනයක් කිරීමයි. ඇමැතිවරුන් කිහිප දෙනෙක් දැනට ඉටු කරමින් සිටින සේවාවන් වඩාත් කාර්යක්ෂම කර ගැනීම සඳහාත් ඒ ඒ අය මීට පෙර පෙන්වා ඇති නිපුණතා හා ප‍්‍රවීණතා වලින් වර්තමානයට සාපේක්ෂව වැඩි ප‍්‍රතිඵල ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයාට මෙම ඇමැති සංශෝධනය අත්‍යාවශ්‍ය විය. ඇමැති සංශෝධනය සිදුවන්නට පෙර රට පුරාම ඒ පිළිබඳව විශාල කටකතා ප‍්‍රමාණයක් ද පැතිර ගියේය. සමහර කටකතාවලින් කියැවුණේ සමහර සමහර ඇමැතිවරුන්ගේ දුර්වලතා හමුවේ කිපුණු ජනාධිපතිවරයා ඔවුන්ගෙන් නිලතල උදුරා ගන්නට උත්සායක් දරන බවයි. එහෙත් එය ජනාධිපතිවරයා ඉතා ඉවසීමෙන් හා කල්පනාකාරීව අවශ්‍යතාවයන්ට අනුව කරන ලද ඇමැති සංශෝධනයක් ම විය.

කොතෙක් කට කතා පැතිර තිබුණත් නිසැකවම තමන්ට ලැබෙන ඇමැතිකම කුමක්ද යන වග සඳුදා දිනයේ ඇමැති ධූරයන්හි දිවුරුම්දීමට ජනාධිපති මන්දිරයට ගිය කිසිවෙක් දැන සිටියේ නැත. ඒ ගිය කිහිප දෙනාම නිසැකවම දැන සිටි එකම කාරණාව වූයේ දැනට තිබෙන ඇමැතිකම වෙනුවට වෙනත් ඇමැතිකමක් ලැබෙන බව පමණකි. රටේ සුප‍්‍රකට නමගිය ජනමාධ්‍යවේදියකුව දේශපාලනයට පිවිසි ඩලස් අලහප්පෙරුම පමණක් තමන්ට නිසැකවම ජනමාධ්‍ය ඇමැති ධූරය ලැබෙන්නට ඉඩ ඇති බව දැන සිටින්නට ඇත. ඒ ආකාරයෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය ධුරය ඔහුටම විය. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළියට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා දී තිබිණි. සෞඛ්‍ය අමාත්‍ය ධුරය ඉතා ඕනෑ කමින් හා කැපවීමෙන් ඉටුකරමින් සිටි පවිත‍්‍රාදේවි වන්නිආරච්චිට ප‍්‍රවාහන ලබාදී තිබිණි. ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේට විදුලි බලය ලබාදී තිබුණි. ඒ හැරුණු විට මහාචාර්ය ජී. එල්. පීරිස් අත තිබූ අධ්‍යාපන අමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධනට දී දිනේෂ් දරනු ලැබූ විදේශ කටයුතු අමාත්‍යධූරය ජී. එල්.ට ලබාදී තිබිණි. එක්තරා අන්දමකින් බලන විට මෙය ඉතා සරල ඇමැති සංශෝධනයක් විය. එහෙත් එමඟින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලොකු වෙනසක් ප‍්‍රගතියක් හා කාර්යක්ෂමතාවයක් බලාපොරොත්තුව සිටියේය.

  • අජිත් ඇවිත් සජබෙට
    කොවිඞ් සීමාවන් දාලා…

පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් විය. සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස සිය පාර්ලිමේන්තු වැඩ කටයුතු මෙන්ම පිටස්තර දේශපාලන වැඩකටයුතු සියුම් වෙනසකට ලක් කරන්නට කල්පනා කළේය. ඊට හේතුව කොවිඞ් ඩෙල්ටා ප‍්‍රභේදයේ වර්තමාන හැසිරීමත් සමග සුපුරුදු දේශපාලන කටයුතු කරගෙන යෑමට මේ දිනවල බරපතළ තර්ජනයක් එල්ල වී තිබීමයි. ඔව් පක්ෂයේ දේශපාලන කටයුතු සියල්ල අත්‍යවශ්‍ය වැඩකටයුතු වලට පමණක් සීමා කරනු ලැබීය. ගමන් බිමන් හා හමුවීම් ද සියල්ල සීමා කළේ වැදගත්කමේ අනුපිළිවෙළ අනුවයි.

පාර්ලිමේන්තු වැඩකටයුතු ආරම්භයේදී පක්ෂයේ දේශපාලන කණ්ඩායම් රැස්වීමක් පවත්වන්නට කල්තියා සූදානම් කරගෙන තිබුණත් ඔහු වහාම ක‍්‍රියාත්මක වන පරිදි එය අවලංගු කර දැම්මේය. ඒ වෙනුවට හුදෙකලාවී මද විවේකයක් ගත කරන්නට ඔහු හම්බන්තොට බලා පිටත්ව ගියේය. සජිත් යළි කොළඹ පැමිණියේ පාර්ලිමේන්තු වැඩ කටයුතුවලට සම්බන්ධ වන්නට බලාගෙන අඟහරුවාදා උදේය. ඒත් සමගම සමගි ජන බලවේගය පසුගිය සතිය ආරම්භ වන විට ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ සිය උපාය මාර්ගික සටන් පාඨය වෙනස් කරන්නට තීරණය කර තිබිණ. ආණ්ඩුවට එරෙහිව සංවිධානය කරන ගුරු උද්ඝෝෂණ, ගොවි උද්ඝෝෂණ පෙළපාලි පා ගමන් ගැන කිසිවක් කතා නොකොට මේ සතියේ සිට රට වසා දැමීම ලොක්ඩවුන් කිරීම තම සමන් පාඨය කරගත යුතුයැයි විපක්ෂ තීන්දු කළේය. ඒ අනුව සමගි ජන බලවේගයේ සියලූම සටන් පසුගිය සතියේ ආණ්ඩුවට එරෙහිව ඉලක්ක වූයේ මට ලොක්ඩවුන් කිරීම සඳහා ආණ්ඩුවට බලකිරීමටය.

පසුගිය අඟහරුවාදා හම්බන්තොට සිට පැමිණ ඉන් පසුව පාර්ලිමේන්තු පැමිණි සජිත් තමන්ට හමුවන හමුවන හැම කෙනකුම දැනුවත් කළේ හැකි සෑම තැනකදීම රට ලොක්ඩවුන් කිරීම සඳහා ආණ්ඩුවට බල කිරීමක් කරන ලෙසය. ඒත් සමඟම ඔහු තවත් හරි අපූරු කතාවක් කීවේය.

‘‘අද මේ රට හමුවේ මහා ව්‍යසනයක් තියෙනවා. දැන් මේ රෝගී තත්ත්වය පැතිරීම සෞඛ්‍ය අංශවලට පාලනය කරගන්න බැහැ. ඒ නිසා සෞඛ්‍ය අංශ කියනවා සති දෙකතුනක් මේ තත්ත්වය පාලනය කරගන්න තෙක් රට වහල දෙන්න කියලා. ඒත් ආණ්ඩුවේ අයගෙ හිතුවක්කාර තීරණ හින්දා එබඳු ඉල්ලීමකට කණ් දෙන්න එයාලා සතුටු නැහැ.. අපි මේ ගැන මොනවා හරි කිව්වම උපහාසයෙන් හිනා වෙනවා. ආණ්ඩුව රට ගැන හිතලා වැඩක් කරනවා කියලා පේන්න නම් නැහැ”… සජිත් පාර්ලිමේන්තුවේදී කීවේය.

‘‘තත්ත්වය අපි කවුරුත් හිතුවාට වඩා භයානකයි. විශේෂඥ වෛද්‍යවරු කියන විදියට මෙම වෛරසය පැතිරීම අනිත් වෛරස්වලට වඩා තුන් හතර ගුණයක් වේගවත්. වෛරසය ඇඟට එන එක වළක්වගන්න මේ මාස්ක් එක හොඳ උපකරණයක්. හොඳට මතක

තියාගන්න… ඔය වොයිස් කට් දෙන වෙලාවල් වල මෙහෙම නිකමටවත් මාස්ක් එක පහත් කරන්න එපා.”

අඟහරුවාදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සිටින අතර තමන්ට හමුවන සියලූ දේශපාලඥයන්ට උපදෙස් දුන්නේ එසේය. මේ අතරතුර සමගි ජන බලවේගයේ සහෝදර මන්ත‍්‍රීවරු පැමිණ සජිත් පේ‍්‍රමදාස මහතාව වටකරගෙන කතාබහ කරන්නට පටන් ගත්හ.

‘‘ආණ්ඩුවේ වගකිවයුතු ඇමැතිවරයෙක් පහුගිය සතියෙ කියලා තිබුණා වැක්සීන් එක ගහලා ඉවර වෙලා ආරක්ෂාවට ජනතාවගේ ජීවිත දෙවියන්ට භාර දෙනවා කියලා” මරික්කාර් මතක් කළේය.

ඔව් ඉතින්… මේ ගොල්ලා පහුගිය දවස්වල කිව්වා ලෝකයෙන්ම එන්නත්කරණය කිරීමේ ප‍්‍රතිශතය අතින් පළමු තැන ගත්ත රට ලංකාව කියලා… ඔව් ගොල්ලා දන්නවද මේ වෙනකොට ලෝකයේ වැඩිම මරණ ප‍්‍රතිශතය තියෙන රටත් ශ‍්‍රී ලංකාව කියලා…

සජිත් ඒ ගැන කියන විට ගයන්ත සංඛ්‍යා දත්ත ඇතිව පැහැදිලි කිරීමක් කළේය. ඔන්න ඔය වගේ විඥානවාදී ප‍්‍රකාශයක් කරපු කෙනෙකුට තමයි අන්තිමේ මේ ආණ්ඩුව සෞඛ්‍ය ඇමැතිකමත් ලබලා දුන්නේ… ගයන්ත කීවේය.

‘‘අපි කල් ඇතිවම මෙහෙම තත්ත්වයක් රටේ ඇති වෙයි කියලා මේ ආණ්ඩුවට අනතුරු ඇෙ`ගව්වා. ඒගොල්ලො එදා අපට හිනා වුණා. ඔන්න මං දැන් තවත් අනතුරු ඇඟවීමක් කරන්නම්. මේ අය දැන්ම එන්නත්කරණය සඳහා තුන්වෙනි මාත‍්‍රාවක් ගෙන්නන්න සූදානම් වුණේ නැත්තං එහෙම අනාගතයේදීත් ලොකු අවදානමකට මුහුණ පාන්න වෙනවා…” නායක සජිත් කීවේය.

මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් රට වහන්න ඕන කියලා සෞඛ්‍ය අංශ පුන පුනා කියද්දීත් ජනාධිපති ඒ කිසිවක් ගණන් නොගෙන ඉන්නවා. එයාලා කියනවා රට වැහුවොත් ආර්ථිකය වැටෙයි කියලා… එරාන් වික‍්‍රමරත්න ඒ පිළිබඳ හොඳ විග‍්‍රහයක් කළේ ආර්ථිකයේ තත්ත්වය ගැන ද කරුණු කාරණා ඉස්මතු කරමිනි.

‘‘ආණ්ඩුව ලැජ්ජාවට ඔය මොන මොනවා කිව්වත් අන්තිමට රට වහන විසඳුමකට එන්න මේගොල්ලන්ට සිද්ධ වෙනවා මයි. ඒක කල් වේලා ඇතුව කොළොත් ජීවිත ගණනාවක් බේරගන්න පුළුවන්. පහුවෙලා කරන තරමට දවසකට ජීවිත එකසිය අසූවක් ගානේ විතර රටට අහිමි වෙනවා… ආණ්ඩුව මේ ගැන දැඩිව හිතන්න ඕන…” සජිත් අවධාරණයෙන් යුතුව කියා සිටියේය.

  • දිනේෂ්ට නූලක් බදින්න
    උත්සවයට වැඩිය හිමිනම…

නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 19 වැනිදා සිය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගත්තේ හිටපු අධ්‍යාපන ඇමැතිවරු තුන්දෙනෙක් ඉදිරියේ තබාගෙනය. ඒ හිටපු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන හා සුසිල් පේ‍්‍රමජයන්ත යන තුන්දෙනාය.

ඊට අමතරව තවත් සුවිශේෂී මුහුණක් මෙම අවස්ථාවේ දැකගන්නට ලැබීම බොහෝ දෙනකුගේ කුතුහලයට හේතුවක් විය. ඒ මෙම ආණ්ඩුව පිළිබඳ පසුගිය දිනවල දැඩි විවේචන එල්ල කරමින් පසු වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හා හාමුදුරුවන් වහන්සේය. අධ්‍යාපන අමාත්‍යධූරය කිසිත් අවහිරයකින් කරදරයකින් තොරව රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් පවත්වා ගෙන යන්නට හැකි වේවායි ප‍්‍රාර්ථනය කරමින් උන්වහන්සේ දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයාට පිරිත් නූලක් ද බැන්දේය. මම පහුගිය කාලේ මේ වගේ රාජ්‍ය උත්සවවලට සහභාගි වුණේම නෑ… ඒත් මේ අපේ දිනේෂ් උන්නැහේ වගේ කෙනෙකුට අධ්‍යාපන අමාත්‍ය ධූරය ලැබුණා කිව්වහම මේ උත්සවයට ඇවිල්ල සුභ පතන්නෙ නැතුව යන එක මං වගේ කෙනෙකුට හොඳ නැහැ… ඒක හින්දා සුබ පතල යන්න හිතුවා… උන්වහන්සේ කීහ.

‘‘අධ්‍යාපන ඇමැතිකම කියන්නේ අද විශාල අභියෝග ගණනාවකටම මුහුණ දීලා තියෙන සංකීර්ණම ඇමැතිකම. ඉතින් ඒ වගේ එකක් අපේ රටේ නිර්භය දේශපාලඥයෙක් වන බොරලූගොඩ සිංහ පරපුරෙන් එන දිනේෂ් මැතිතුමා වගේ කෙනකුට ලැබීම ගැන අපි අප‍්‍රමාණ ලෙස සන්තෝස වෙනවා‘‘… ආචාර්ය දොඩම්පහල රාහුල හිමියෝ අනුශාසනාවක් කරමින් කීහ. වටිනාපහ සෝමානන්ද හිමිපාණන් වහන්සේද මෙම අවස්ථාවට සහ සහභාගී වන්නට පැමිණ සිටීම විශේෂත්වයකි.

උත්සවයේ ප‍්‍රමුඛ දේශනය කරනු ලැබුවේ මහාචාර්ය ජී. එල්. පීරිස් ඇමැතිවරයා විසිනි.

‘‘මම කාටවත් ප‍්‍රශංසා කරන්න යන කෙනෙක් නෙවෙයි මගේ හෘද සාක්ෂියට විරුද්ධව. ඒ වුණාට මට හෘද සාක්ෂියට එකඟව කතා කරන්න පුළුවන් දේශපාලනඥයන් අතරින් එක්කෙනෙක් තමයි මේ දිනේෂ් ගුණවර්ධන කියලා කියන්නේ. එතුමාට මගේ ලොකු ගෞරවයක් තියනවා. අපි අතීතය අමතක කරන්නත් හොඳ නෑ. ඒ වගේම තමයි මුල අමතක කරන්නත් හොඳ නෑ…. ඒ වුණා වුණාට අද අපේ සමාජයේ දේශපාලනය කරන හුඟක් දෙනකුට තියෙන්නෙ බොහොම කෙටි මතකයක්…. අතීතය මතක නෑ… මුල් මතක නෑ… අපේ කඳවුරට එක්තරා කාලයක් තිබුණා විපක්ෂයේ නායක කමක් වත් නොතිබුණ.

මේ අයුරින් අමාත්‍යවරයා දිගින් දිගටම කළේ දිගු දේශපාලන කතාන්දරයකි… පාර්ලිමේන්තුවේ කිසිදු බලයක් බද නොමැති කාලෙක දිනේෂ් ගුණවර්ධන මැදිහත්වී ඒකාබද්ධ විපක්ෂයක් පිහිටුවා ගෙන පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවටත් විපක්ෂයටත් එරෙහිව දැඩි සටනක් කළ ආකාරය මතක් කරමින් කතා කළේය. වර්තමානයේ දී ද සභානායක ධුරය හොබවමින් ආණ්ඩුව ආරක්ෂා කර

ගැනීමට සටන් වදින ආකාරය මෙනෙහි කරමින් ඔහු ඔහුගේ දිගු කතාව අවසන් කළේය… සියල්ලෝම මවිත වී බලා සිටියේ ජී. එල්. පීරිස් ඇමැතිවරයා එහිදී කළ කතාව දෙසය.

  • ඇමති කමිට්ව හමුවට
    මහින්ද හා ස්ටාර්ලින්…

ගුරු විදුහල්පති ගැටලූව විසඳීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කළ අවස්ථාවේ ඒ පිළිබඳ අදහස් දක්වමින් සමහර වෘත්තීය සමිති කියා තිබුණේ ප‍්‍රශ්නයට විසඳුම් දීම වෙනුවට කල් මැරීම සඳහා මෙම කමිටුව පත් කර ඇති බවයි.. වෙන් වෙන් වශයෙන් වෘත්තීය සමිති සමග සාකච්ඡා පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුව තීරණය කළත් ජෝසප් ස්ටාලින් හා මහින්ද ජයසිංහ නියෝජනය කරන වෘත්තීය සමිති අනු කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සිය වෘත්තීය සමිතිවලට එක්ව අදහස් දැක්වීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසයි. අනු කමිටුව ඊට එකඟතාව පළ කරමින් පසුගිය අඟහරුවාදා හවස 6.00ට සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස ඔවුන්ට වෙලාව ලබාදී තිබිණි. එදින තවත් වෘත්තීය සමිති හයක් සමග සාකච්ඡා පැවතුණේ ප. ව.1.00 පමණ සිටය. නියමිත කාලයට පෙර සාකච්ඡා අවසන් වූ නිසා ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසටද නියමිත වේලාවට කලින් කමිටුව හමුවීමට හැකිවිය.

‘‘ගුරු විදුහල්පති ගැටලූව ගැන වෘත්තීය සමිති සෑහෙන ප‍්‍රමාණයක් එක්ක අපි සාකච්ඡා කරලා ඉන්නේ. ඒ නිසා අපි දෙන සමිති නායකයෝ වගේ ප‍්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. කොරොනා වසංගතය එක්ක භාණ්ඩාගාරය පැත්තෙන් ලොකු ප‍්‍රශ්නයක් තිබෙන බව අපි සියලූ දෙනාම දන්නවා. එනිසා අතරමැදි අතරමැදි විසඳුමකට එන්න පුළුවන්ද කියලා අපි බලනවා. ප‍්‍රතිපත්තියක් විදිහට අපි හැමෝම ගුරු වැටුප් විෂමතාව ඉවත් කරන්න ඕනි කියන තැන ඉන්නවා.” විමල් වීරවංශ අමාත්‍යවරයා සාකච්ඡාව අරඹමින් සඳහන් කළේය.

‘‘ඔව්. සෞභාග්‍යය දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් අපි පිළි අරගෙන තියෙනවා පිළිඅරගෙන තියෙනවා විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ට ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධූරාවලිය තුළ ගෞරවනීය වෘත්තිකයන් බවට පත් කරන බව ‘‘ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ද සඳහන් කළේය.

‘‘සුබෝධනී වාර්තාව වෘත්තීය සංගම් පිළි අරගෙන තියෙනවා. ඒ වාර්තාවේ වුණත් සමහර ගැටලූ තියන බව කියනවා. අපේ පක්ෂයෙන් මේ වාර්තාව සකස් කළෙත් ගුරු විදුහල්පති ගැටලූවට සැබෑ විසඳුම් දෙන්න අවශ්‍ය නිසයි” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා ද කීවේය.

‘‘මෙතැනදී සංවේදී කාරණයක් තියෙනවා අපි හැම දෙනාගේම අවධානය යොමු කරන්න ඕන. මේ කොරෝනා ප‍්‍රශ්නය නිසා වැඩිම බලපෑමක් වෙලා තියෙන්නෙ අපේ දරුවන්ට. අවුරුදු දෙකක විතර කාලයක් තිස්සේ දරුවෝ සෑහෙන පීඩනයකට ලක්වෙලා ඉන්නේ. ගුරුවරු දරුවෝ ගැන හිතන පිරිසක්. මම හිතනවා අපි ඉක්මනටම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න ඕනි කියල” ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා කීවේය.

‘‘කමිටුවට සම්බන්ධ ඇමැතිවරුන්ගේ පවුල්වල ගුරුවරු ඉන්නවා. ඒක විශේෂත්වයක්. ඒ නිසා අපිට මේ ප‍්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් තියෙනවා” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා නැවතත් කීය.

ඩලස් අලහප්පෙරුම ඇමැතවරයාගේ මව ගුරුවරියකි. ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා ගේ මව ද ගුරුවරියකි. විමල් වීරවංශ ඇමැතිවරයාගේ පියා ද ගුරුවරයෙකි. ඇමැති ප‍්‍රසන්න කීවේ ඒ ගැනය.

‘‘මේ ප‍්‍රශ්නය ගැන කමිටුවට හොඳ අවබෝධයක් තියෙනවා. අපිට මේ ප‍්‍රශ්නෙ විසඳන්නත් ඕනේ. කල් මරන්න නම් කිසිම උත්සාහයක් නැහැ සහෝදරයා’’ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා සාකච්ඡාව අවසානයේදී කීවේ ඇතැමුන් මේ කමිටුව කල් මැරීමේ උත්සහයක් බවට කර තිබූ චෝදනාව ගැනය.

  • සජිත්ලගේ වැඩ එහෙමයි
    රනිල්ලගෙ වැඩ මෙහෙමයි…
ගෝඨාභයට රනිල්ගෙන් යෝජනාවලියක්

සමගි ජන බලවේගයේ දේශපාලන ක‍්‍රියාන්විතය එසේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මෙහෙවර මේ අවස්ථාවේ ඊට වඩා වෙනස් තලයක ඇති එකක් බව පෙන්නුම් කරන සිද්ධියක් පසුගිය සතියේ සිදු විය. ඒ වූ කලී රටේ වත්මන් සෞඛ්‍ය හා ආර්ථික අර්බුදය ගැන සාකච්ඡා කරන්නට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවන්නට පැමිණීමයි. කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ යනු මේ රටේ දේශපාලනය පිළිබඳ හසල අත්දැකීම් ඇති ප‍්‍රවීණතම දේශපාලනඥයන් තුන් හතර දෙනාගෙන් එක් අයකු බව රහසක් නොවේ. ජාත්‍යන්තරය තුළද ඔහුගේ දේශපාලන ප‍්‍රතිරූපය හා කීර්තිනාමය සුළු පටු නොවන බව නොදන්නා කෙනකු නැති තරම්ය. මෙවන් අරගලකාරී ව්‍යසනකාරී අවස්ථාවක දේශපාලන පක්ෂයක හා විපක්ෂයක වගකීම හා යුතුකම කුමක්දැයි ඔහු මැනවින් තේරුම් ගෙන සිටියා නිසැකය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ජනාධිපතිවරයා හමුවන්නට පැමිණීමට නියමිත බවට ආරංචිය පැතිර ගියේ ඒ හමුව සිදු වන්නටත් දින කීපයකට පෙරය. ආණ්ඩු පක්ෂයේ පරිණත දේශපාලනඥයෝ පවා එම ආරංචිය අසා සතුටට පත්වූහ. රටේ ඉතා හොඳ දේශපාලන සංස්කෘතියකට හා සදාචාරයකට පාර කැපීම සඳහා හොඳ ආරම්භයක් ලෙස සමහරු මෙම හමුවීම සැලකූහ. අඟහරුවාදා දහවල් අකිල විරාජ් කාරියවසම්ගේ පියාණන්ගේ මළගෙදරට සහභාගි වන්නට කුලියාපිටියට

ගිය රනිල් එදින දහවල් වේලාසනින් පැමිණියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම ද්වීපාර්ශ්වික හමුවට සහභාගිවීමට කල්වේලා ඇතිව පැමිණිය යුතුව තිබූ නිසාය.

අඟහරුවාදා දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම හමුව සිදුවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතා සුහද සිතින් හිටපු අගමැති එජාප නායක රනිල් වික‍්‍රමසිංහ පිළිගත්තේය. දෙදෙනා අතර නියමිත දුරස්ථභාවය ඇතිව ඒකපාර්ශ්වික සාකච්ඡාව ආරම්භ විය…

ප‍්‍රධාන මාතෘකාව වූයේ කොවිඞ් වසංගතය හා රටේ වත්මන් තත්ත්වයයි. ජනාධිපතිවරයා වත්මන් අර්බුදයෙන් මුහුණුවර හා ආර්ථික අභියෝගය ගැන කෙටි පැහැදිලි කිරීමක් කළේය.

‘‘මේකෙන් ගොඩ එන එක ගැන අපිත් දීර්ඝව සාකච්ඡා කළා. ආණ්ඩුවක් හැටියට මේ වගේ ව්‍යසනයකදී තනියම උත්තර හොයන්න බෑ. අපි නම් හිතනවා අවංකව මේ වෙලාවේ ආණ්ඩුවට සහයෝගය දෙන දේශපාලන පක්ෂත් එක්ක එකතු වෙලා සර්ව පාක්ෂික සාකච්ඡාවක් පවත්වලා රටට සුදුසුම විසඳුම හොයන එක තමයි හොඳ කියලා…”

‘‘අපිත් ඒ විසඳුම තරයේ විශ්වාස කරනවා… රජයේ කරන හැම දෙයක්ම සීයට සීයක් සාර්ථකයි නිවැරදියි කියලා මම කියන්නේ නෑ… වැරදි වෙලා තියෙනවා. අඩු පාඩු වෙලා තියෙනවා. ඒත් අපි මේ වෙලාවේ වැරදුනේ කාටද කියල හොයනවට වඩා වැරදුනේ කොතනද කියලා හොයලා අපි එකතුවෙලා ඊට විසඳුමක් හොයන එක තමයි හොඳ… ඒත් අපේ සමහර දේශපාලන පක්ෂ මේ වෙලාවේත් දේශපාලනය කරන්න යනවා…”

‘‘ඒ ඒ පක්ෂවලට තියන අත්දැකීම් අනුවයි වැඩ කරන්නේ… අපි මේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් දීර්ඝ අත්දැකීම් තියන ඉතිහාසයක් තියෙන පක්ෂයක්. මේ වගේ අවස්ථාවක වැඩ කරන්න ඕන කොහොමද ඒ මොනවද කියලා අපිටත් තියෙනවා වැඩපිළිවෙළක්. අපි ඒ වැඩපිළිවෙළ සාකච්ඡා කරලා යෝජනා මාලාවක් විදිහට සකස් කළා. මම ඒක මේ වෙලාවේ රජයට ඉදිරිපත් කරනවා…‘‘ එසේ කියමින් වත්මන් අර්බුදයෙන් ගොඩ එන්නට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන යෝජනා මාලාව රනිල් ජනාධිපති ගෝඨාභයට භාර දුන්නේය.

‘‘අපි දන්නවා මේ රටේ වෛද්‍යවරුන්ටත් ඉල්ලීම් තියනවා… දේශපාලඥයන් හැටියට අපේ ඉලලීම් ගණනාවකුත් තියෙනවා… මම හිතනවා මේවා ඇතුලේ අපිට විරුද්ධ වෙන්න කාරණා නැහැ… නමුත් උත්තර වෙනස් වෙන්න පුළුවන්. එහෙත් අපි එකතුවෙලා සාකච්ඡා කරලා එක හොඳ උත්තරයකට එන්න අමාරු වෙන එකක් නෑ…” එසේ කියමින් එජාප නායකයා එම හමුවේ කතාබහ හමාර කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවන්නට යෑම හදිසියේ සිදු වූ සිදුවීමක් වුවත් එය අපේ රටේ දේශපාලන කතිකාව තුළ එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. එම හමුව වැඩි වෙලා තිබුණේ නැත. එහෙත් පසුගිය සතියේ අපේ දේශපාලන කතිකාව තුළ සාකච්ඡාවට ලක් වූ බොහෝ දේශපාලන කරුණු අතර මෙම හමුවීම ගැන කතාබස් ද බොහෝ වීය.

පසුගිය සතියේ අවසාන දින දෙක වන විට රට වසන්නට කියා සෞඛ්‍ය අංශ වලින් ගෙන එන්නට වූ තර්කය වඩාත් ප‍්‍රබල විය. ඔවුන්ගේ එම තර්කය සාධාරණ යැයි කියන්නට ආණ්ඩු පක්ෂයේ දේශපාලකයෝද කරුණු එක්කාසු කළහ. මේ පිළිබඳව තීරණ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් සිකුරාදා දහවල් පැවැත්වෙන කොවිඞ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ

රැස්වීමේ දී පවත්වන්නට ජනාධිපතිවරයා තීරණය කළේ ඒ අනුවය. ඒ එක පැත්තකි. සමාජයේ තවත් පැත්තක් දක්නට ලැබිණි. ඒ වූ කලී දේශපාලන අවස්ථාවාදීන් පිරිසක් විසින් සංවිධානාත්මකව සැලසුම් කළ රජයට බලපෑම් කිරීමේ කුමන්ත‍්‍රණයකි.

මීට සති තුනකට පෙර ගොවි ජනතාව, කම්කරු ජනතාව හා මේ රටේ ගුරුවරුන් පාරට බස්සවමින් අරගල සංවිධානය කළ කණ්ඩායම් ඒ අරගල වල පිහිටෙන් කොවිඞ් ඩෙල්ඩා ප‍්‍රභේදය රටපුරා පැතිර යන්නට පටන් ගැනීමත් සමගම එම සටන් අත්හැර දැමූහ.

  • රටම වහන්න ඕනනම්
    මේන් මෙහෙම කරන්නලූ‍…

ඉන්පසුව ඔවුන් අතට ගත්තේ රට වසා දැමීම පිළිබඳ සටනයි. රටපුරා කලබල ඇති කරමින් උද්ඝෝෂණවලට පරිසරය සකසමින් ජනතාව දහස් ගණනක් පාරට බස්සවමින් මාසයක් ඇතුළත උද්ඝෝෂණ එකසිය විස්සක් රට පුරා පවත්වන්නට අනුබල දෙමින් පරිසරය සැකසූ දේශපාලන කණ්ඩායම එම උද්ඝෝෂණවල පිහිටෙන් රටපුරා කොවිඞ් වසංගතය දරුණු ලෙස පැතිර යෑමෙන් පසුව අංශක එකසිය අසූවක්ම ආපස්සට හැරෙමින් ‘‘රට වසා දමන්නට” යැයි කියා සටන් කිරීමම මොනතරම් විහිළුවක් ද…

ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෝ කීපදෙනෙක්ම විපක්ෂයේ මෙම බොරදියේ මාළු බෑමේ දේශපාලනය ගැන ජනාධිපතිවරයාට කරුණු කියන්නට වූහ. තත්ත්වය එසේ වුවත් සෞඛ්‍ය අංශ වලින් නැ`ගුණු අවශ්‍යතාවය ප‍්‍රබල විය. ඒ හා සමගම රටේ මහා නායක ස්වාමීන් වහන්සේලා ද එම ඉල්ලීම රජයට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාට ලියුම් එවන්නට වූහ. සෞඛ්‍ය අංශවල ඉල්ලීමට කන් දී ජනතාව මේ ව්‍යසනයෙන් මුදාගන්නට ඔවුන්ගේ නිර්දේශය අනුව රට හුදෙකලා කර විසඳුම් සොයන්න යැ යි උන් වහන්සේලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. තත්ත්වය මෙසේ තිබියදී ආණ්ඩු පක්ෂයේ ප‍්‍රබල පාර්ශ්වයක් වූ පක්ෂ 11 හේ සන්ධානයෙන් ද මේ පිළිබඳ සංදේශයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරතිබිණි. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ, ටිරාන් අලස්, අතුරලියේ රතන හිමි, ජයන්ත සමරවීර, ඇතුළු මන්ත‍්‍රීවරු ගණනාවක්ම මේ සඳහා අත්සන් තබා තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනකු ද මේ වෙලාවේ සිටිය යුතු දැඩි දෙගිඩියාවකිනි. රට වසා දැමිය යුතුද, රට වසා ප‍්‍රතිකර්ම යෙදිය යුතු ද යන කාරණා දෙක සංවාදශීලීව සාකච්ඡාවට බඳුන් විය. අවස්ථාවාදීව ප‍්‍රශ්නය දෙස බැලූ සුළුතරයක් හැරුණු විට වැඩි පිරිසක් මේ ප‍්‍රශ්නය දෙස බැලූවේ රටේ අවශ්‍යතාවය අනුව බව සැකයක් නැත.

‘‘මම මේ ප‍්‍රශ්නය යොමු කරන්නේ කොවිඞ් පාලනය පිළිබඳ තීන්දු තීරණ ගන්න කමිටුවට. කවුරු මොනවා කීවත් ඒ කමිටුව තමයි විද්වත් කමිටුවක් විදිහට අපි ඉදිරියේදී කළ යුත්තේ කළ යුත්තේ මොනවද කියලා තීන්දු කරන්නේ… කමිටුවක් කියනවනම් රට වසා දැමීම හැර වෙන විසඳුමක් නැහැ කියලා, ඒක කරන්න අපි ලෑස්තියි”… ජනාධිපතිවරයා කීවේය.

මේ අතර තවත් හරි අපූරු ලිපියක් ප‍්‍රසන්න රණතුංග ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

එය හුදෙක් ඔහුගේ පුද්ගලික මතය මුල් කොට ගෙන ලියූ පුද්ගලික ලිපියක් විය. එමඟින් ඔහු කට වසා දමන්නේ නම් රජය නොබියව ගත යුතු පියවර කීපයක් යෝජනා කර සිටියේය. රට වසා දැමීම තුළ මාස් පඩි ලබන කිසිවකුටත් කිසිදු අවහිරයක් නැතුව ජීවත්වීමට හැකියාව ලැබෙනු ඇත. ඒත් මෙවන් භයානක වසංගත තත්ත්වයක් රට තුළ තිබියදී රට වසා දැමීමෙන් විපතට පත්වන හැට ලක්ෂයක් පමණ වූ ස්වයං රැකියාකරුවන් හා දෛනික වැටුප් ලබන සේවකයන් වෙනුවෙන් ඔහු එම ලිපියෙන් කතා කරනු ලැබ තිබිණි.

‘‘රට වහන්න අවශ්‍ය නම් රට වහන්න. හැබැයි එදා එදාවේල හරිහම්බ කරගෙන දුක් විඳින දුප්පත් අහිංසක අඩු ආදායම්ලාභී ජනතාව ගැනත් තීන්දුවක් ගන්න. මාසික වැටුප් ලබන මැති ඇමැතිවරුන් ද මන්ත‍්‍රීවරුන්ද රාජ්‍ය නිලධාරීන් ද රජයේ සේවකයන් ද ඇතුළුව සියලූම සංස්ථා හා පුද්ගලික අංශයේ අයගේ වැටුපෙන් සැලකිය යුතු කොටසක් රජයට ලබාගන්න. එම මුදල දෛනික වැටුප් ලබන අඩු ආදායම්ලාභී ජනතාව අතර බෙදා හරින්න ක‍්‍රමවේදයක් සකසන්න…”

ප‍්‍රසන්න ඇමතිවරයා සිය ලිපිය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ එයයි… *

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment