ගෝඨාභය  අස්වන තුරුම  විශ්වාසයක් නෑ – ටිල්වින් සිල්වා

258

බොරුව දැම්මොත් ප්‍රතිචාර දරුණුයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන දහතුන්වැනිදා ඉල්ලා අස්වන බවට කථානායකවරයාට ලබාදී ඇති දැනුම්දීම ඉටුකර පෙන්වන තුරු විශ්වාස නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (10 වැනිදා) සඳහන් කළේය.

ඔහු එවැනි කාලයක් ලබා ගත්තේ ඉල්ලා අස්වීමේ නැකතක් පැමිණෙන තෙක් ද, එසේ නොමැති නම් ඥානාක්කාගෙන් වෙලාවක් ලබාගැනීමට ද යන්න නොදන්නා බවත් කී සිල්වා මහතා ජනමතයට ගරු කරමින් ඔහු සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහා ඉල්ලා අස්විය යුතු බවත් කීවේය.

එසේ නොවන්නේ නම් ඊළඟ ප්‍රතිචාර මීට වඩා බරපතළ වනු ඇතැයි ද හෙතෙම පැවසීය.

ඉල්ලා අස්වීමට කල් ඉල්ලා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ප්‍රායෝගිකව ජනාධිපති ධුරයේ නොමැති බවත් ඔහු ව්‍යවස්ථානුකූලව පමණක් ජනපති බවත් හෙතෙම කීවේය.

ජනතා අරගලයේ අවසන් ජයග්‍රහණය කරා යා හැකි වන්නේ කඩිනම් මැතිවරණයක් පවත්වා නව ජනවරමක් සහිත පාලනයක් බිහිකර ගැනීමෙන් පමණක් බව ද ටිල්වින් සිල්වා මහතා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තවදුරටත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති තත්ත්වයක් තුළ බිහි කරගන්නා නව ආණ්ඩුවක් තුළින් අරගලයේ සැබෑ ජයග්‍රහණ අත්පත් කර

ගැනීමට නොහැකි යැයි ද හෙතෙම සඳහන් කළේය.

එබැවින් ජනතා අපේක්ෂාවන් මල්ඵල ගැන්වීමට නම් නව පාලනයක් බිහි කර ගැනීම අත්‍යවශ්‍ය යැයිද එතෙක් කෙටි කාලීන පාලනයකින් රටේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යා හැකි යැයි ද ටිල්වින් සිල්වා මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයා දහතුන්වැනිදා ඉල්ලා අස්වනතුරු සහ ඉන් අනතුරුවත් අරගලයෙහි අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීම සඳහා නව රජයක් පත්කර ගන්නා තෙක්ම සටන ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් යම් හෙයකින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස් නොවන්නේ නම් ඊළඟ ප්‍රතිචාර මීට වඩා බරපතළ වනු ඇති බවත් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන විට පාර්ලිමේන්තුවේ ජනවරම ද අහෝසි වී යන බව ද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (10 වැනිදා) එම අදහස් පළකළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment