ගෝඨාභය තමාගේ යැයි කියපු ජනපති මැඳුරෙන් හමුවූ සල්ලි අල්ලස් පනත යටතේ වරදක් ද?

155

විමර්ශන ඇරඹි බව කොමිසම උසාවියට කියයි

ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑඅටලක්‍ෂ පනස් දහසක මුදලේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් තම කොමිෂන් සභාව විසින් මේ වනවිටත් මූලික විමර්ශන ආරම්භ කොට ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (31 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.

එම මුදල තමාට අයත් බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් විමර්ශන නිලධාරීන්ට ලබාදුන් ප්‍රකාශය හා එම මුදල ජනාධිපති මන්දිරයට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පුරවැසි බලය නමැති සංවිධානය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කළ බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

පොලිස් විමර්ශන ඒකකය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේනතුව විසින් ඒ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලට අදාළ ලේඛනවල පිටපත් හා තම අධිකරණය හමුවේ ගොනුකර ඇති ඊට අදාළ ලේඛනවල සහ සාක්‍ෂි සටහන්වල පිටපත් වහාම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබාදෙන ලෙසට ද මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. එකී සියලු ලේඛන අධ්‍යයනය කර ජනාධිපති මන්දිරයෙන් එම මුදල් සොයා ගැනීම අල්ලස් පනත යටතේ ගැනෙන වැරැද්දක් ද නැතිද යන කරුණු හෝ නිර්දේශ තම අධිකරණයට දැනුම් දෙන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.

ඒ සම්බන්ධයෙන් මින්පෙර විමර්ශන සිදුකළ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්. ඩී. වික්‍රමසිංහ මහතාට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් තර්ජනය කිරීම අපරාධයක වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත යතේ ගැනෙන වරදක් දැයි විමර්ශන ආරම්භ කළ බවත් එකී විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකශ දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ඉදිරියේ දී

ලබාගැනීමට පියවර ගන්නා බවත් අපරාධයක වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසීය.

සියලු විමර්ශනවල ප්‍රගතිය ලබන මැයි 3 වැනිදා තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. නීතිඥ තිළිණ පුංචිහේවා, නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය. පොලිස් පරීක්ෂක තුසිත කහගල්ල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමග සහකාර පොලිස් අධිකාරි විනඳු අබේසිංහ මහතා පැමිණිල්ල නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment