ගෝඨා ‘ගෝ හෝම්’ දිලිත් ජයවීරගේ ඇසින්

1987

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහ දේශීය ණය අර්බුදයක හිරවී ඇති අවස්ථාවක කුමන හේතුවකට හෝ බදු කපා හැරීම සිදුවිය යුත්තේ එම හිඟ මුදල ලබා ගැනීමට නිශ්චිත විකල්ප ක්‍රියාමාර්ග තීන්දු වූ පසුව බව ජයවීර පෙන්වා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ දේශපාලනිකව බෙලහීන කිරීමේ මෙහෙයුම ආරම්භ වූයේ ආරක්ෂක ලේකම් ජනාධිපති වූ දිනයේදීම බව ඔහුගේ හිතෛශියකු වන දිලිත් ජයවීර පවසයි. ඒ රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවය වූ බව ඔහු පවසයි. ආචාර්ය පී. බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයට පත්කිරීම එම මෙහෙයුමේ ආරම්භය වූ අතර 20 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ පරිහානිය වේගවත් කළේය. ‘අරගලය’ ක්‍රියාත්මක වූයේ ඒ තත්ත්වය යටතේයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඉන්දියාවට චෝදනා කර ඇත. හිටපු කර්මාන්ත අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ඡන්ද ලක්ෂ 69 ක් ලබාගෙන 2019 නොවැම්බරයේ ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමට සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන එම තනතුරට පත්කිරීමේ මෙහෙයුම ඇමෙරිකානු තානාපති ජුලි චංග්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ බවයි. නමුත් කථානායකවරයා ව්‍යවස්ථාවෙන් පිට ජුලි 09, 2022 දින චංග් කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා එජාප නායක රනිල් වික්‍රමසිංහට එම අවස්ථාව හිමිවූ බවය. ඒ ඔහු මෑතකදී ප්‍රකාශයට පත්කළ ‘නමය: සැඟවුණු කතාව’ ග්‍රන්ථයේ මූලික පසුබිමයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ ඉතාමත්ම සමීපව කටයුතු කළ නිල නොවන උපදේශකයකු වූ ‘දෙරණ’ අධිපති දිලිත් ජයවීර දැඩිව පවසන්නේ සමස්ත රාජපක්ෂ පවුල ක්‍රියාත්මක කළ යටි කූට්ටු ක්‍රියාදාමය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නැත්තටම නැති කළ බවයි. වීරවංශ මන්ත්‍රීවරයා චෝදනා කර ඇති පරිදි බරපතළ විදේශීය අතපෙවීමක් සිදුවූවානම් එම තත්ත්වය ඇති වීමට අත්‍යවශ්‍ය අඩිතාලම දැමුවේ රාජපක්ෂ පවුල බවට කිසිදු සැකයක් නැති බවට අතිශය ආන්දෝලණාත්මක ප්‍රකාශයක් ව්‍යාපාරික ජයවීර මෑතකදී කළේ මෙම ලියුම්කරු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීය. ඒ ඔහුගේ සුවපහසු කාර්යාලයේදීය.

● ආචාර්ය ජයසුන්දර රාජපක්ෂ පවුලේ නියෝජිතයාද?

ජයවීර අවධාරණය කරන්නේ එම විනාශකාරී සැලසුම ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂ පවුලේ මැදිහත්වීමෙන් ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර පත් කළ බවයි. තමන්ද ‘නමය: සැඟවුණු කතාව’ කියවූ බවත් නමුත් වීරවංශ මන්ත්‍රීවරයා අවධාරණය කරන විදේශීය මැදිහත්වීම රාජපක්ෂ පවුල එවකට ජනාධිපතිවරයාට දැමූ කකුල් මාට්ටු නොසලකා විමසා බැලිය නොහැකි බවයි. වීරවංශ මන්ත්‍රීවරයා කලකට පෙර ආර්ථික ඝාතකයා ලෙස හැඳින්වූ ජයසුන්දර ගේ (මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස) සහ බැසිල් රාජපක්ෂගේ (2019 සිට) ක්‍රියාදාමයට අවශ්‍ය ප්‍රමාණයට ‘නමය: සැඟවුණු කතාව’ අවධානය යොමු කර නොමැති බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිතවතෙකු වූ දිලිත් ජයවීර ආණ්ඩුවේ ගමන් මාර්ගය වෙනස් කිරීමට උත්සහ කළාද? දේශපාලනයට නවකයකු වූ ජනාධිපතිවරයා කළ බරපතළම වැරැද්ද කුමක්ද? සහ ජයවීර ජනාධිපතිවරයා ගලවා ගැනීමට යම්කිසි සැලකිය යුතු මැදිහත්වීමක් කළාද? යන ප්‍රශ්න වැලට ‘අරමුණ’ සිවිල් සංවිධානයේ ප්‍රධානි දිලිත් ජයවීර දුන් පිළිතුරු නැවත නැවතත් අවධාරණය කරන්නේ වගකීම් විරහිත ගෝඨාභය රාජපක්ෂ පාලනයයි. නැතහොත් විධායකයේ කඩා වැටීමයි. විධායකය නන්නත්තාර වූ බව අමුතුවෙන් කිව යුතු නැත. ඊට අවශ්‍ය පසුබිම විධායකය සහ පාර්ලිමේන්තුව තුළ විධායකය නියෝජනය කරන/කළ අමාත්‍යවරු නිර්මාණය කිරීමේ වගකීම සහ වගවීම දැරිය යුතු නොවේද?

● බැසිල් – දිලිත් හමුව

අප දෙදෙනාම ඉඳගෙන සිටි සුවපහසු සෝපානයේම තමන් එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග රටේ ආර්ථිකය නිවැරදි මාර්ගයට ගැනීමට වහාම ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව හෙළිදරව් කළ ජයවීර අමාත්‍යවරයාට බරපතළ චෝදනාවක් එල්ල කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පැවැත්වූ එම සාකච්ඡාව අසාර්ථක වූයේ මුදල් අමාත්‍යවරයාට ඒ වන විට වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නිසියාකාර අවබෝධයක් නොතිබූ බවයි. නැතහොත් වහාම ගතයුතු පියවර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බවයි. ආර්ථිකය සම්පූර්ණයෙන්ම වැරදි මාර්ගයක බව තමන් ජනාධිපතිවරයාට අවධාරණය කළ පසුව එතුමා අමනාපයෙන් තමන්ට පැවසුවේ ආචාර්ය ජයසුන්දර සමඟ ඇති ගැටුම්කාරී තත්ත්වය මත මෙවැනි චෝදනා කරන බවයි. නමුත් පසුව ජනාධිපතිවරයා තමන්ව නැවත කැඳවා රජයේ ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් විමසා මුල් අමාත්‍යවරයාව තම කාර්යාලයට එවීමට මැදිහත් වූ බව ජයවීර පැවසීය.

ව්‍යාපාරික සහ ‘අරමුණ’ සංවිධානයේ නිර්මාතෘ දිලිත් ජයවීර දැඩිව අවධාරණය කළේ ආර්ථිකය මෙහෙයවූ බැසිල් රාජපක්ෂ සහ ආචාර්ය ජයසුන්දර නායකත්වය දුන් කණ්ඩායම ජනාධිපතිවරයාව නිසැකයෙන්ම නොමඟ යැවූ බවයි. ආර්ථිකයේ පිරිහීම තුළ රජයේ වියදම් සහ ආදායම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව සිතාමතාම නොමඟ යැවූ බවත්, එම තත්ත්වය නිවැරදි කිරීමට තමන් ගත් ප්‍රබල උත්සහය අසාර්ථක වූ බවත් පැවසූ ජයවීර බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ආණ්ඩුවට මුහුණ දීමට සිදුවිය හැකි ජනතා ප්‍රතිචාරය තේරුම් නොගත් බව ද පැවසීය.

“ආර්ථිකය කළමනාකරණය කළ කණ්ඩායම කටයුතු කළ වගකීම් විරහිත ආකාරයට පෙට්ටි කඩයක්වත් කළ නොහැකියි. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ගත් ස්ථාවරය වූයේ ජනතාව භාණ්ඩ මිල වැඩිවීමට එරෙහිව උද්ඝෝෂණය කිරීමට අවස්ථාව තිබෙන නමුත් වෙළෙඳපොළේ භාණ්ඩ සහ සේවා නොමැති තත්ත්වයක් තුළ ජනතාව පාරට නොබසින බවයි,” ජයවීර පැවසීය.

එදා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ගත් ස්ථාවරය අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ප්‍රබල ජනතා විරෝධයක් අපේක්ෂා නොකළ බව පැහැදිලිය. මිරිහානේ පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවාසය ආසන්නයේ පසුගිය වසරේ මාර්තු 31 දින රාත්‍රියේ පුපුරා ගිය නොනවතින ජනතා විරෝධය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) තවමත් නිසියාකාරව වටහා ගෙන නොමැත).

ජනාධිපතිවරයා කළ බරපතළම වැරැද්ද ආචාර්ය ජයසුන්දර ඔහුගේ ලේකම්වරයා වශයෙන් පත් කරගැනීම බව පැවසූ ජයවීර දෙවැනි අනුවණ තීරණය 2019 නොවැම්බරයේ ගත් කැබිනට් තීන්දුවක් අනුව කළ බදු සංශෝධනයය බව පැවසීය. පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත විපක්ෂය දිගින් දිගටම චෝදනා කළේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ගත් එම වගකීම් විරහිත තීන්දුව නිසා මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 600 පමණ අහිමි වූ බවයි.

● බදු කැපීමෙන් ආණ්ඩුව ගෙල සිරකර ගැනීම

ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ ද ප්‍රධානි දිලිත් ජයවීර ගෙන් ලියුම්කරු විමසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිතවතෙකු ලෙස ඔහුගේ ව්‍යාපාරවලට ද එම බදු කපා හැරීම වාසිදායක වූ බව නොවේද? එම චෝදනාව එක හෙළා ප්‍රතික්ෂේප කළ ජයවීර අවධාරණය කළේ සමස්ත ආර්ථිකය වළපල්ලට යවා තමන්ගේ ආයතනවලට අසාධාරණ වාසිදායක තත්ත්වයක් ලබා ගැනීමට වුවමනා නැති බවයි. එම තීන්දුව සම්බන්ධයෙන් තමන් කිසිදු ආකාරයක බලපෑමක් නොකළ බවට සහතික වූ ජයවීර පෙන්වා දුන්නේ දිගින් දිගටම වැරදි තීන්දු තීරණ ගන්නා තත්ත්වයක් තුළ වුවද කිසිදු පසුවිපරමක් කිරීමේ අවශ්‍යතාවයක් දේශපාලන නායකත්වයට නොතිබූ බවයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහ දේශීය ණය අර්බුදයක හිරවී ඇති අවස්ථාවක කුමන හේතුවකට හෝ බදු කපා හැරීම සිදුවිය යුත්තේ එම හිඟ මුදල ලබා ගැනීමට නිශ්චිත විකල්ප ක්‍රියාමාර්ග තීන්දු වූ පසුව බව ජයවීර පෙන්වා දුන්නේය. නමුත් ගෝඨාභය රාජපක්ෂ රජය අදහාගත නොහැකි වාර්තාගත වාර්ෂික ආදායමක් අහිමිකර ගැනීම නැතහොත් සියතින් ගෙල සිඳ ගැනීම ආර්ථිකය තීරණාත්මක අභියෝගයකට මුහුණ දෙන ආරම්භක අවස්ථාවේ පූර්ණ විමර්ශනයකට ලක්විය යුතු නොවේද?

එවකට වර්ධනය වෙමින් පැවති මූල්‍ය අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතිය යුතු බවට මහා බැංකුව 2020 මුල් කාලයේ කැබිනට් මණ්ඩලයට දුන් උපදෙස් කැබිනට් මණ්ඩලය නොසලකා හැරිය බව මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සියලුම පක්ෂ නියෝජනය වන ‘කෝපා’ කමිටුව ඉදිරියේ ප්‍රකාශ කර ඇත. දිලිත් ජයවීර අවධාරණය කරන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පලා යෑමට සිදුවීම විමර්ශනය කළ යුතු වන්නේ රාජපක්ෂ පවුලේ මෙහෙයුම සහ දෙස් විදෙස් කරුණු කාරණා ද සැලකිල්ලට ගැනීමෙනි.

මෙම ලියුම්කරු මතු කළ තවත් ප්‍රශ්නයකට දිලිත් ජයවීර පෙන්වා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පොහොට්ටු පක්ෂය තුළ ඉහළ දේශපාලන තනතුරක් හිමිවීමේ අවශ්‍යතාවය මීට කලකට ඉහත අවධාරණය කළේ එවකට අමාත්‍ය විමල් වීරවංශ බවයි. පොහොට්ටු පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්ෂට එම පක්ෂයේ සාමාජිකත්වය හිමිවූයේ නැත. ඔහු පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ගත් බවට කිසිදා ජනාධිපති මාධ්‍ය අංශය හෝ පොහොට්ටු පක්ෂය කිසිදා නිවේදනය කළේ නැත.

● කොළඹ වරාය නගරයට බරපතළ හානියක්

ආන්දෝලණාත්මක කොළඹ වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දිලිත් ජයවීර මෙම සම්මුඛ සාකච්ඡාවේදී දැක්වූ අදහස් අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශකාරී බවයි. චීනය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ කොළඹ වරාය ව්‍යාපෘතිය ව්‍යාකූල කළ එජාපය නායකත්වය දුන් යහපාලන ආණ්ඩුව රටට කළ අසාධාරණය විමසා බැලිය යුතු වන්නේ සමස්ත ආර්ථිකය වළපල්ලට යවා ඇති තත්ත්වය තුළය. ඒ පාර්ලිමේන්තු ක්‍රමය තුළය. නූතන ගෝලීය ආර්ථිකයක් පොලියට ගන්න රටක් හැටියට ඉතාමත් වැදගත් සංකල්පයක්. ඒ මගින් අපි නූතන ආර්ථික ලෝකයේ තීන්දු තීරණ ගන්නා රටක් හැටියට ලෝකයට පෙනෙන්න පටන් ගත්තා. එය ප්‍රගතිශීලී ආර්ථික තීන්දුවක්. නමුත් එය කළමනාකරණය කිරීමට රජය අපොහොසත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම 2015 බලයට පැමිණි යහපාලන රජය එම ව්‍යාපෘතිය කඩාකප්පල් කළා. එය විහිළුවක් බවට පත් කළා. එනිසා රට ගැන ජාත්‍යන්තරයට තිබෙන විශ්වාසය පළුදු වූවා. කලින් රජයක් ගත්ත තීරණයක් නැවතත් පූර්ණ විමර්ශනයකට ලක් කළා. නැවත සාකච්ඡා කරන්න කිව්වා. සමස්ත ව්‍යාපෘතිය අතිශය දූෂිත තත්ත්වයකට පත් කළා. මේ හේතු නිසා ව්‍යාපෘතිය ප්‍රමාද වූවා. ආයෝජකයන් අහිමි වූවා. අදටත් කිසිදු සැලකිය යුතු ආයෝජකයෙක් මෙම ව්‍යාපෘතියට ඇවිල්ලා නැහැ. ඒ එන්නේ නැත්තේ අපි රටක් ලෙස ආයෝජකයන්ගේ විශ්වාසය නැති කළ නිසා නොවේද?”

දිලිත් ජයවීර පවසන්නේ කොළඹ වරාය ව්‍යාපෘතිය දේශපාලන බලපෑම්වලින් තොරව සාර්ථකව ක්‍රියාත්මක වූවානම් රටට ඩොලර් සහ රුපියල් අර්බුදයට මීට වඩා ශක්තිමත්ව මුහුණ දීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණ බවයි. මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීම සහ මෙවර ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 විස්තීරණ ණය පහසුකමක් ලබා ගැනීම අතර විශාල වෙනසක් ඇති බව දිලිත් ජයවීර පවසයි. රටට ඉතාමත් අවාසිදායක තත්ත්වයක් තුළ මෙවර ගිවිසුම් ගතවීමට සිදුවීම ඛේදවාචකයක් බව ඉදිරි පෙළ ව්‍යාපාරිකයා පවසයි. “රටක් ලෙස අපිව බිත්තියට හේත්තු කර ගිවිසුම් ගතවීම විදේශීය ඇත පෙවීම්වලට අවස්ථාවක්. ඒ බව අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් අවාසනාවකට ආණ්ඩුව සහ විපක්ෂය රට පත්වී ඇති බංකොළොත් තත්ත්වය නිවැරදිව වටහා ගෙන තවමත් කටයුතු කරන්නේ නැහැ.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් ණය කෝකටත් තෛලය නොවන බව වර්තමානයේ රට කරවන කණ්ඩායම දැන ගත යුතුයි. නැවත ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම ජයගත හැකි අභියෝගයක් නමුත් එහි සාර්ථකත්වය රඳා පවතින්නේ තවමත් ක්‍රියාත්මක ආර්ථික ක්‍රමවේදය වළ දැමුවොත් පමණයි දිලිත් ජයවීර අවධාරණය කළේය.

● ‘අරමුණෙ’ අරමුණ දේශපාලනිකද ?

දිලිත් ජයවීර අවධාරණය කළේ ඇත්ත වශයෙන්ම ‘අරමුණ’ සංවිධානයේ මූලික පරමාර්ථය ශ්‍රී ලාංකික ව්‍යසායකත්වය මතුකර ගැනීමයි. ව්‍යසායකත්වය යන සංකල්පය රාජ්‍යයක් හෝ පුරවැසියන් හැටියට තේරුම් නොගැනීම තුළ රට අද පත්වී තිබෙන අවාසනාවන්ත තත්ත්වය සහ එම තත්ත්වයෙන් මිදීම සාකච්ඡාවට භාජනය විය යුතු අතර ශ්‍රී ලාංකික ව්‍යසායකත්වය නිවැරදිව මෙහෙයවිය හැකි අවස්ථාවක් ‘අරමුණ’ සංවිධානයට ඇති බව මාධ්‍ය මෙහෙයුම්කරුගේ අදහසයි.

‘අරමුණෙ’ අරමුණ දේශපාලනිකද? එලෙසම ‘අරමුණ’ සංවිධානය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ වේදිකාව මත ඔසවා තැබූ ‘වියත්මග’ සහ සැසඳිය හැකිද? යන ප්‍රශ්න නොඅසා සිටිය නොහැක. ඒ දිලිත් ජයවීර ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළ දැවැන්ත මෙහෙයුමේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු බැවිනි. ‘අරමුණෙ’ අරමුණ දේශපාලනික නොවේ නමුත් වර්තමාන ආර්ථික -දේශපාලනික – සමාජීය අර්බුදය හේතුවෙන් තම කණ්ඩායම රටට වඩාත් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට සූදානම් පක්ෂය/සන්ධානය සමඟ යම් රාමුවක් තුළ වැඩකිරීමට සූදානම් බව පවසයි. නමුත් ‘අරමුණ’ සහ ‘වියත්මග’ අතර කිසිදු සමාන කමක් නොමැති බව ජයවීර අවධාරණය කළේය. කෙසේ වෙතත් ‘අරමුණ’ සංවිධානය දේශපාලන මුහුණුවරක් ගෙන ඇත. එය වැළැක්විය නොහැක.

පසුගිය මාර්තු මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණය කළ මැදිහත්වීමෙන් පසුවත් පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් නැත. එනිසා ඒ සම්බන්ධයෙන් ‘අරමුණ’ නිර්මාතෘවරයාගෙන් විමසා පලක් නොමැත. ජාතික තලයේ මැතිවරණයකදී (මහමැතිවරණය /ජනාධිපතිවරණය) ප්‍රධාන පක්ෂ /සන්ධාන දෙක කුමක්දැයි විමසූ පැනයට දෙරණ ප්‍රධානියාගේ ප්‍රතිචාරය අවධාරණය කළේ රට නිවැරදි ආර්ථික මාවතකට ගැනීමේ අවශ්‍යතාවයයි.

“නැවතත් ප්‍රධාන කණ්ඩායම් දෙකකට බෙදෙයි. ඒ ආර්ථිකය කළමනාකරණය කිරීම මූලික අරමුණ ලෙස සලකා කටයුතු කිරීමේදී වඩාත් විශ්වාසවන්තව සහ කාර්යක්ෂම බවට බහුතරයේ විශ්වාසය දිනා ගැනීමට හැකි පිල ජයග්‍රහණය ලබයි. නමුත් 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද මිලියන 6.9 විශ්වාසය තැබූ ජාතිකත්වය සහ ජාතිකත්වය සමඟ බැඳුණු කරුණු කාරණා පසෙකලා කටයුතු කළ නොහැකියි. ජාතිකත්වය තව දුරටත් සැලකිය යුතු සාධකයක් බවට අමුතුවෙන් කිව යුතු නැහැ.”

දිලිත් ජයවීර පවසන්නේ පවතින තත්ත්වය යටතේ එක කණ්ඩායමක් එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අනෙක් කණ්ඩායම සජබ නායක සජිත් ප්‍රේමදාස මෙහෙයවීමේ අවස්ථාව තිබෙනවා. “නමුත් ඔවුන් දෙදෙනාම නියෝජනය කරන්නේ ජාතිකත්වයට එරෙහි කඳවුර. ඔවුන් දක්ෂිණාංශිකයන්. හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරුන් ඉන්නේ එම මතයේ. ඒ තුළ තිබෙනවා බටහිර ගැති ගතියක්. රාජ්‍ය නොවන සංවිධානවලට නැඹුරුවක්. කණ්ඩායම් දෙකේම (ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම සහ ඊට එරෙහි බලවේගය) ලක්ෂණ අපි දන්නවා. ජනාධිපතිවරයා සහ විපක්ෂ නායක ඉන්න ස්ථාවරය එකයි. ජනාධිපතිවරයා කරන්න හදන පරීක්ෂණය පැහැදිළියි. ඒ දක්ෂිණාංශික ස්ථාවරයක සිට ජාතිකත්ව කඳවුර නියෝජනය කරමින් පොහොට්ටු දේශපාලනය කරන්න හැකිද යන පරීක්ෂණයයි. එය අතිශය අසාර්ථක උත්සහයක්.”

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment