ගෝල්ඩ් කොයින්ස් මෘදුකාංගය හරහා කෝටි 1500 ක් ගිණුම්වලින් ඇදලා

389

චීන ජාතිකයන් 2 ක් ඇතුළු 8 ක් රිමාන්ඩ්

ස්පොර්ට් චේන් (ගෝල්ඩ් කොයින්) නමින් පරිගණක මෘදු කාංගයක් හඳුන්වා දී ප්‍රතිලාභ ලබාදෙන බවට මහජනයා මුලා කර එකී මෘදුකාංගය හරහා මුදල් තැන්පත් කරවා ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ චීන ජාතික කාන්තාව හා චීන ජාතිකයකු ඇතුළු සැකකරුවන් අටදෙනා ලබන

8 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (24 දා) නියෝග කළේය.

එම නඩුවේ පළමුවන සැකකරු වන ශ්‍යාමල් කීර්ති බණ්ඩාර නමැත්තා මෙයට වසර කිහිපයකට පෙර කුලි නිවසක ජීවත් වූ අයකු වුවත් මේ වනවිට රුපියල් කෝටි ගණනාවක් වටිනා දේපළවලට හිමිකාරිත්වය දරන බවත් සෙසු සැකකරුවන් ද සුපිරි නිවාස සංකීර්ණවලින් ඉතා වටිනා නිවාස හා වෙනත් දේපළ මිලදී ගෙන ඇති බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ හංස අබේරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව ඉතා සංවිධානාත්මකව රට පුරා එකී ජාලය ක්‍රියාත්මක කර ඇති සැකකරුවන් රුපියල් කෝටි එක්දහස් පන්සියයකට අධික මුදලක් වංචා කර ඇතැයි ද අධිකරණයට පැවසූ රජයේ අධිනීතීඥවරයා එම සැකකරුවන්ගේ උගුලට විදේශ රැකියාවල නිරත පිරිස ඇතුළු තවත් විශාල පිරිසක් හසුවී රුපියල් කෝටි සිය ගණනක් ලබාදී ඇතත් ලැජ්ජාව නිසා ඒ සම්බන්ධව පැමිණිලි කිරීමෙන් වැළකී ඇති බවද අධිකරණයට පැවසීය.

එමෙන්ම මේ වනවිට ඇප මත මුදාහැර සිටින එම නඩුවේ පළමුවන සැකකරු ද එකී වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට කිසිදු සහයෝගයක් ලබානොදෙන බවත් සෙසු පිරිසට ද ඒ සඳහා සහාය ලබානොදෙන ලෙසට ඔහු බලපෑම් කර ඇති බවත් රජයේ අධිනීතීඥවරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් කීවේය. එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඇප මත මුදාහැර තිබූ පළමුවන සැකාකර ශ්‍යාමල් කීර්ති බණ්ඩාර නමැත්තාගේ ඇප නියෝගය අවලංගු කර ඔහු ලබන 8 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. එම සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතීඥවරුන් කළ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගය ලබන 8 වැනිදා නිකුත් කිරීමට ද අධිකරණය තීරණය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායන

advertistmentadvertistment
advertistmentadvertistment