ගෝල්ෆේස් අරගල දින 34යි

396

ඉන්ධන, ගෑස්, විදුලිය අර්බුදවලට වහා විසඳුම් ඉල්ලා සහ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා වහා ඉල්ලා අස්වන ලෙස ඉල්ලා කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩවම පවත්වාගෙන යන නිර්පාක්‍ෂික සාමකාමී අරගලය අද (12 වැනිදා) 34 වැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

ඇඳිරිනීතිය ද නොතකමින් ජනතාව විශාල පිරිසක් ඊයේ (11 වැනිදා) දහවල් සිට එම අරගල භූමියට ඇදී එන ආකාරය එහි ගිය අපට දැකගත හැකි විය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ගේට්ටුව ඉදිරිපිට රැඳී සිටි විශාල පිරිසක් ජාතික ධජ ලෙල දෙවමින් ආදරයේ අරගලයට ජයවේවා! ගෝඨා ගෝ හෝම් යනුවෙන් පවසමින් සිය විරෝධය පාන අයුරු දැකගත හැකි විය.

අරගල භූමියේ පුස්තකාලයේ ද බොහෝ පිරිසක් නිදහසේ පොත් පරිශීලනය කරන අයුරු දැකගත හැකි විය.

මීට අමතරව නීතිඥවරුන්ගේ කුටියට තවත් පිරිසක් පැමිණ නීති උපදෙස් ලබා ගන්නා ආකාරය දක්නට ලැබිණි.

අරගලයේ නිරත තරුණයෙක් මෙසේ පැවසීය.

අපි ජනතාවගෙන් මේ වෙලාවේ ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා අරගලයට සහය ලබා දෙන්න කියලා. පොලිස් නිලධාරීන්, හමුදාව, ජනතාව අතර ගැටුම් ඇතිවෙන ආකාරයේ හැසිරෙන්න එපා. ඒ වගේම ආරක්‍ෂක ලේකම්තුමාගෙන්, පොලිස්පතිතුමාගෙන්, හමුදාපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔය රාජපක්‍ෂ හොරු නඩය ආරක්‍ෂා කරන්නේ නැතුව ජනතාවගේ පැත්තේ හිටගෙන අරගලයට සහයෝගය දෙන්න කියලා.

ඔය හොරකම් කරපු සල්ලි දීපල්ලා. ඔය සල්ලිවලින් මේ රට ගොඩගන්න පුළුවන්.

ලහිරු වීරසේකර මහතා –

දිගින් දිගටම අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා ප්‍රචණ්ඩත්වය මුදා හරින්න එපා කියලා. හැමවෙලාවෙම ඉවසීමෙන් කටයුතු කරන්න.

රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන මහතා – මේ වෙලාවේ ප්‍රචණ්ඩත්වයේ ගලක්වත් ගන්න එපා. වචනවලින් අපි හරඹ කරමු. ලෝකයට ආදර්ශයක් වෙච්ච ගෝල්ෆේස් අරගලයට අපි ආදරය කරනවා.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය – පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හැටියට අපිත් මේ අරගලයට සහයෝගය ලබාදෙනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment