ගෝල්ෆේස් ප්‍රහාරයේ වැරදි නියෝග දුන්න නිලධාරියා කවුද…

670

මීට දශක තුනකට පමණ ඉහතදී මෙරට සංනිවේදන ක්‍රමෝපායන් වූයේ බොහෝ ප්‍රාථමික තැනකය. එකල දුරකථනය යන්න සුඛෝපභෝගී මෙවලමක් බවට පත්ව තිබුණකි.ජංගම දුරකථන යනු ඉහළ ප්‍රභූන්ට පමණක්ම සීමා වූ සාමාන්‍ය ජනතාවට සිතා ගැනීමටවත් නොහැකි තරමේ අති දුර්ලභ මෙවලමක් විය. මෙනිසා එකල බොහෝ විට ජනතාව අතරේ සන්නිවේදන කටයුතු සිදු කෙරුණේ තැපෑල ඔස්සේය.මේ යුගයේ ආලයෙන් බැඳුණු අපේ කොල්ලන් කෙල්ලන් සිය ප්‍රේමණීය හැඟීම් පෙම්වතාට හෝ පෙම්වතියට සමීප කරවූයේද සියල්ල මුතු අකුරින් කොළයක ලියා තැපෑලට දැමීමෙනි. එහිදී දෙමාපියන්ට රහසේ ප්‍රේම සාගරයේ කිමිදී සිටි එකල තරුණ තරුණියන් ලියුම් මාමා ගමට එනතුරු බලා සිටියේ නොඉවසිල්ලෙන් යුතුව හද පිරි මෙව්වා එකක්ද සමඟය.

එහෙත් දැන් මේ සියල්ල ඇත්තේ අතීතයේ සටහන් වූ කතාන්දර ලෙසිනි. අප ජීවත් වන වර්තමානය ඒ අතීතයට වඩා අහසට පොළොව මෙන් වෙනස් වූ අරුම පුදුම එකක් වී ඇත. අද මුළු ලෝකයම තිබෙන්නේ අපේ මාපටඟිල්ලේ සහ දබරඟිල්ලේ සිර වීය. සිතුනොත් ලෝකය වටා ගොස් යළි එන්නට විනාඩි දෙක තුනක් තුළ අපට පුළුවන.එහෙත් යථාර්ථය එය වුවද අදටත් ඒ අතීතය අමතක නොකර ඒ තුළ ජීවත් වන්නෝ අප අතර සිටිති. මේ මොහොතේ ඒ බව පෙන්වා දීමට පැහැදිලි උදාහරණ සපයමින් සිටින්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොලිස්පතිවරයා සහ නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයාය.

මේ වන විට හෙළි වෙමින් තිබෙන අන්දමට ඉකුත් කාලයේ පොලිස්පතිවරයා සහ ලේකම්වරයා අතර නහඹු සමාජ භාෂාවෙන් කිවහොත් පට්ට ලිපි හුවමාරුවක් සිදුව ඇත. පොලිස්පතිවරයා ලේකම්වරයාට ලිපියක් යවන්නේය. ලේකම්වරයා එයට පිළිතුරු සපයන්නේය. වරෙක දේශපාලනය නිසා තමන්ට පොලිසිය කරගෙන යා නොහැකි යැයි ලෙසින් පොලිස්පතිවරයා තමන්ගේ දුක ලේකම්වරයාට පවසා ඇත්තේද ලිපියක් යවමින්ය.නිකමට හෝ ලේකම්වරයා වෙනුවට නීතිය සහ සාමය අමාත්‍යාංශයේ ලේකම්වරියක සිටියේ නම් රටේ ජනතාව පොට පටලවා ගන්නා තැනටම එකී ලිපි හුවමාරුව සිදුව ඇති බව නිකමට මෙන් අපට සිතෙන්නේය.මේ අන්දමට පොලිස්පතිවරයා දිගට හරහට ලිපි එවද්දී ඒවා තැන් තැන්වලට යොමු කරන්නට ගොස් අගවිනිසුරුවරයාටද එකක් යොමු කිරීම හමුවේ දැන් නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්ද අලි අවුලක පැටලී ඇත. ඒ අවුල ලිහා ගැනීම පිණිස හෙතෙම සමාව ඉල්ලා අගවිනිසුරුවරයා වෙත ලිපියක් යොමු කළ බවක්ද මේ සටහන තබන මොහොතේ වාර්තා විය.මේ අන්දමට පොලිසිපතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා අතර හුවමාරු වූ ලිපි පිළිබඳ අභ්‍යන්තර කතා අද හෙළිදරව් වෙමින් තිබෙන්නේ කුමක් නිසාද? එයට ආසන්නම හේතුව වූයේ හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා බැහැ දකිනු පිණිස ඉකුත් 09 වැනිදා අරලියගහ මන්දිරයට පැමිණි දේශපාලන මැරයන් පිරිසක් විරුවෙන් මෙන් ගොස් ගොල්ෆේස්හි පිහිටි අරගල භූමියට අමානුෂික ප්‍රහාරයක් එල්ල කිරීමය. මහින්ද රාජපක්‍ෂ යනු මෙරට සිටින ඉතාම පරිණත දේශපාලනඥයෙකි. ඉකුත් 09 වැනිදා වන විට රටේ අගමැතිවරයා වූයේ ඔහුය. එහෙත් ඒවන විට ඔහුට අගමැති ධුරයෙන් ඉවත්ව යන ලෙස බල කරමින් අරගලකරුවෝ පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට කඳවුරු බැඳ සිටියහ.

මහින්දර රාජපක්‍ෂ මහතා බැහැ දකිනු පිණිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දහස් ගණනක් වූ ආධාරකරුවන් පිරිසක් 09 වැනිදා අරලියගහ මන්දිරයට පැමිණියේ එවන් වාතාවරණයක් තිබියදීය. ඔවුන්ගේ පැමිණීම සිදුවූයේද සැලසුම් සහගතවය. එහිදී සමාජගතව තිබූ කාරණය වූයේ මහින්ද රාජපක්‍ෂයන් දේශපාලනයෙන් සමු ගන්නා බැවින් ඔහුට සමු දීම සඳහා ජනතාව පැමිණෙන්නේ යැයි යන්නය.එහෙත් අරගලකරුවන් මහින්ද යා යුතුයි කියමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට කඳවුරු බැඳ සිටියද ඒ මොහොත වන විටත් දේශපාලනයෙන් සමු ගැනීමේ කිසිදු අදහසක් මහින්ද රාජපක්‍ෂයන් තුළ නොවීය. ඒ තත්ත්වය තුළ අවසානයේ සිදු කෙරුණේ අරලියගහ මන්දිරය වෙත පැමිණි ජනතාව මහින්ද රාජපක්‍ෂයන්ට ඔල්වරසන් නඟද්දී ඔවුන් ප්‍රකෝප ගන්වන අයුරින් විවිධ දේ සිදු වීමය.එහිදී ඇතැමුන් ගෝල්ෆේස් යන්නට වෙලාව හරි යැයි කියමින් වෙඩි නූලට ගිනිකූර දල්වා තබන අන්දමද එදා අරලියගහ මන්දිරයේදී පැවති රැස්වීමේදී දැක ගන්නට ලැබිණි. පසුව ඒවා මාධ්‍ය මගින් ප්‍රචාරය විය.මේ සියලු හිරිකිත වැඩ සිදු කෙරුණේ කෘතහස්ත සහ ඉතා පරිණත දේශපාලනඥයකු වූ මහින්ද රාජපක්‍ෂ මහතා සභාවේ සිටියදීමය. එහෙත් ඇවිලෙමින් තිබූ ගින්න නිවා දමන්නට ඔහුට වුවමනාවක් තිබුණේ නැත. ඔහු කළේ සිනහමුසුව සියල්ල දෙස නිහඬව බලා සිටීමය.අවසානයේ වියරු වැටුණෝ අරලිගහ මන්දිරයෙන් පිටතට ආහ. ඔවුහු පළමුව අරලියගහ මන්දිරය ඉදිරිපිට වූ මයිනා ගෝ ගමට ප්‍රහාරයක් එල්ල කරනු ලැබූහ. පසුව පිරිස වියරුවෙන් මෙන් ගෝල්ෆේස් අරගල භූමිය වෙත යන්නට වූහ.

මෙතැන් සිට සිදුවූ දේ අද රටම දන්නා කාරණයකි. කෙටියෙන් කිවහොත් එක් රැයක් තුළ මුළු රටම ඇවිලී යන්නට තරම් එය බරපතළ විය. එහෙත් මෙසේ සියල්ල සිදුවෙද්දී කිසිවකුත් නොදැන සිටි කරුණක්ද විය. ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ දේශබන්දු තෙන්නකොන් මහතාගේ භූමිකාවය.එදා අරලියගහ මන්දිරයට පැමිණි පිරිස වියරුවෙන් ගෝල්ෆේස් අරගල භූමිය වෙතට යද්දී එහි සිටි පොලිස් කණ්ඩායම් එය වැළැක්වීමට දැඩි වෙහෙසක් ගන්නා අයුරු දක්නට ලැබිණි. එහෙත් අවසානයේ විනාඩි කිහිපයක් තුළ සියල්ල දියාරු වන බවද පසුව පෙනෙන්නට විය.මේ පොලිස් කණ්ඩායම්වලට ඒ මොහොතේ අණ දුන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාය. පොලිසිය එසේ අසමත් වෙද්දී අවසානයට සිදුවූයේ සීනියර් ඩීඅයිජී දේශබන්දු තෙන්නකෝන් අරගලකරුවන්ගේ මෙන්ම සමස්තයේ වෛරයට පාත්‍ර වීමය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සිදුවීමට පසුදා කොළඹ කොම්පඤ්ඤවීදියේදී ප්‍රහාරයකටද ගොදුරු විය.එහෙත් එදා අරලියගහ මන්දිරයට පැමිණි පිරිස වියරු වැටුණාක් මෙන්ගෝල්ෆේස් අරගල භූමිය දක්වා ගියේ සීනියර් ඩීඅයිජී දේශබන්දු තෙන්නකෝන්ගේ වරදක් නිසාද? එයට අදාළ පැහැදිලි කතාව ඉකුත් දා උත්තරීතර පාර්ලිමේන්තුවේදී හඬ නඟා කියා සිටියේ නව වැවිලි කර්මාන්ත ඇමැති වෛi රමේෂ් පතිරණ මහතාය.

‘එවෙලේ මම හිටියේ අරලියගහ මන්දිරයේ. පිරිස වියරුවෙන් ගෝල්ෆේස් දෙසට යද්දී මම ඩීඅයිජී දේශබන්දු තෙන්නකෝන්ට කතා කළා. මම ඔහුට කිව්වා භයානක දෙයක් වෙන්න යන්නේ ඕක කොහොම හරි නතර කරන්න කියලා. එවෙලේ ඔහු මට කිව්වා හරි සර් අපි නතර කරන්නම් කියලා.පසුව මම විශේෂ හමුවක් සඳහා ජනාධිපතිවරයා හමුවෙන්න ජනාධිපති මන්දිරයට ගියා. එතන තවත් ඇමැතිවරු කිහිප දෙනකුත් සිටියා. අපි ජනාධිපතිවරයා සමඟ සිටියදී ආශු මාරසිංහ මහතා මට කතා කරලා කිව්වා මහ විනාශයක් වෙන්නේ. පිරිස ගෝල්ෆේස් අරගලයට පහර දෙනවා. මේක නතර කරන ලෙස ජනාධිපතිවරයාට කියන්න කියලා. මම ජනාධිපතිවරයාට තත්ත්වය දැනුම් දුන්නා. එවෙලෙම එතුමා දේශබන්දු තෙන්නකෝන්ට කතා කරල ඇහුවා ඇයි මේක නතර නොකළේ. මම කිව්වනේ යන්න දෙන්න එපා කියලා. මොනවද මේ වෙන්නේ කියලා. එවෙලේ ඩීඅයිජී දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයාට කිව්වා සර් මම නතර කරන්න හැදුවේ ඒත් පොලිස්පතිවරයා 12.40 කතා කරලා මට කිව්වා කිසි දෙයක් කරන්න එපා කියලා එනිසා මොකුත් නොකළ බව.එවෙලේ ජනාධිපතිවරයා ඩීඅයිජී දේශබන්දු තෙන්නකෝන්ට කිව්වා අයිසේ මම රටේ ජනාධිපති. මමයි කියන්නේ නතර කරන්න. නවත්තනවා ඕක කියලා. ඊට පස්සේ තමයි පොලිසිය කඳුළු ගෑස් ගහලා තත්ත්වය පාලනය කළේ” රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඒ කතාව පැහැදිලි කළේ එලෙසිනි.

සීනියර් ඩීඅයිජී දේශබන්දු තෙන්නකෝන් යනු රජයේ නිලධාරියෙකි. රාජ්‍ය සේවකයෙකි. මේ වන විට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ ඔහුය. අරලියගහ මන්දිරයට පැමිණි වියරු වැටුණෝ ගෝල්ෆේස් අරගලයට ප්‍රහාරය එල්ල කරද්දීද දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර සීනියර් ඩීඅයිජීය.සීනියර් ඩීඅයිජී දේශබන්දුට ඉහළින් සිටින රාජ්‍ය නිලධාරියා වන්නේ පොලිස්පති චන්දන වික්‍රමරත්නය. ඒ අනුව පොලිස්පතිවරයා යම් නියෝගයක් කළහොත් එයට අවනත වන්නට සීනියර් ඩීඅයිජී දේශබන්දු තෙන්නකෝන්ට සිදු වන්නේය.එනිසා ගෝල්ෆේස් කතාවේදී ඔහු එසේ කළා විය හැකිය. පොලිස්පතිවරයා ඒ කියන අන්දමට දේශබන්දු තෙන්නකෝන් මහතාට කතා කළ බවට තවත් පොලිස් නිලධාරියකු සාක්‍ෂි ලබා දුන් බවද මේ වන විට දැනගැනීමට ඇත. එසේම කොල්ලුපිටිය පොලිස් පොතේ පොලිස්පතිවරයාගේ නියෝගය පිළිබඳ සටහනක් තබා තිබෙන බවක්ද වාර්තා වන්නේය.එසේ සිදුවී තිබෙන මෙහිදී සීනියර් ඩීඅයිජී දේශබන්දු තෙන්නකෝන් සිදු කර ඇත්තේ තමාට ඉහළින් සිටින රාජ්‍ය නිලධාරියාගේ අණ පිළිපදිමින් පොලිසියේ ක්‍රමවේදය අනුව එය සනාථ කිරීම සඳහා සටහනක්ද තබා නිහඬ වීම බව පැහැදිලිය. එනිසා ඔහුට වරදක් කීමට කිසිසේතම නොහැකිය.එසේ නම් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ගෝල්ෆේස් සිද්ධිය ඇතිවන මොහොතේ සාමය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් අරගල භූමිය සමීපයේ සිටි සිය පහළ නිලධාරියා වූ දේශබන්දු තෙන්නකෝන් මහතාට අද කියැවෙමින් තිබෙන පරිදි මෙවැනි නීති විරෝධී නියෝගයක් සිදු කරනු ලැබුවේ කුමක් නිසාද?ඒ සඳහා පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබුවේ කවුරුන්ද? සාමාන්‍යයෙන් පොලිස්පතිවරයාට නියෝගයක් ලබා දෙන්නේ නම් රටේ විධායක ජනාධිපති සහ සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාට එසේ කළ හැකිය. එහෙත් නීති විරෝධී වන නියෝගයක් දීමට නොහැකිය.ජනාධිපතිවරයා එවැනි ප්‍රකෝපකාරී නියෝගයක් පොලිස්පතිවරයාට නොදුන් බව ඇමැති රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවෙන් හොඳටම පැහැදිලිය. එසේ නම් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා එසේ කරනු ලැබුවේ කුමක් නිසාද?වෙන කිසිවකු විසින් හෝ ඔහුට එවැනි උපදෙසක් දුන්නේද? දේශපාලනය ඉදිරියේ මේ රටේ පොලිසියට අත්වී තිබෙන ඉරණම පිළිබඳව අමුතුවෙන් කතා කළ යුතු නැත. එය මුළු රටම දැන සිටින්නකි. ඇතැම්විට ඒදේශපාලනය තුළින් පොලිස්පතිවරයාට එවැනි උපදෙසක් ලැබුණා විය හැකිය. එසේ නැතිනම් පොලිස්පතිවරයා කියැවෙමින් තිබෙන පරිදි එවැනි නියෝගයක් සීනියර් ඩීඅයිජී දේශබන්දු තෙන්නකෝන්ට දුන්නා නම් දෙන්නට ඇත්තේ නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙසකට විය හැකිය. අප මේ කියනුයේ නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් එසේ කෙළේ යැයි යන්න නොවේ. මෙය උපකල්පනයකි.එහෙත් සිදුවූයේ එවැන්නක් නම් එහිදී පොලිස්පතිවරයා සිදු කර ඇත්තේ බරපතළ වරදකි. රජයේ නිලධාරියකු නොවන විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්ගේ උපදෙසක් හෝ නියේගයක් ක්‍රියාත්මක කිරීමට රජයේ නිලධාරියකු වන පොලිස්පතිවරයාට කිසිදු අයිතියක් නැත. අරගලයට මෙසේ ප්‍රහාරයක් එල්ල වූ ඉකුත් 09 වැනිදා ඒ පිළිබඳ සොයා බලන්නට ගිය විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසටද අරගලකරුවන් පහර දුන්නේය. එසේම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එදා අරගලකරුවන් අතරට යමින් ඔවුන්ට අශීර්වාද කළ අයුරුද දැක ගැනීමට හැකි විය.

මහින්ද රාජපක්‍ෂයන් බලන්නට අරලියගහ මන්දිරයට පැමිණි දේශපාලන ආධාරකරුවෝ ඉතාම නිර්දය සහ ම්ලේච්ඡ ලෙස ගෝල්ෆේස් අරගලයට එල්ල කළ මෙම වියරු ප්‍රහාරය හමුවේ එතෙක් අභ්‍යන්තරයේ තිබුණු බොහෝ කරුණු හෙළිවන්නට විය.එසේම එක් රැයක් තුළ රටම ගිනි ඇවිලී යද්දී වාර්තා වූ කරුණු කාරණාද අපමණ විය. ඒ අතරේ වූ දේශපාලන සහ පෞද්ගලික වශයෙන් වන දේද බොහෝය. එහි ඉහළින්ම ඇත්තේ මුග්ධ දේශපාලනයක් බවද පැහැදිලිවම පෙනන්නට ඇත.අරලියගහ මන්දිරයෙන් මතුවූ දේශපාලන වියරුව තුළින් එක් අතකින් එසේ අරගලය පිළිබඳ කියැවීමක් සිදු විය. එසේම මේ වන විට සඳහන් වෙමින් තිබෙන ආකාරයට ගෝල්ෆේස් අරගලයට තිරිසන් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මාවත විවර කරන ලෙස සීනියර් ඩීඅයිජී දේශබන්දු තෙන්නකෝන්ට නියෝග ලබා දෙමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න ද නොකළ යුත්තක් කර ඇත.දේශපාලනය නිසා පොලිසිය පාලනය කිරීමට නොහැකි යැයි පවසමින් ලියුම් ලියූ පොලිස්පතිවරයා මේ කරනු ලැබුවේ නොකළ යුතු දෙයක් කිරීමට ගොස් කුරුමානම වරද්දා ගැනීමක්ද?ඒ හමුවේ පොලිසියෙන් සමුගෙන ගෙදර යෑම සඳහා ඔහු විසින්ම පොලිස් මූලස්ථානයේ මහ ගේට්ටුව විවර කර ගත්තේද? සිදුවූයේ එවැන්නක් නම් සැබැවින්ම පොලිස්පතිවරයාට වැරදී ගිය කුරුමාණම කුමක් විය හැකිද? රුධිරය මතින් ඇදීයන කිසියම් දේශපාලන කුණු කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට ඔහු කටයුතු කළේද? කලබල වන්නට කාරණාවක් නැත. හෙට දිනයේ පැහැදිලිව එය රටටම දැනගත හැකිවනු ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment