ගෝල්ෆේස් ප්‍රහාරය: මහින්ද, නාමල්, ජොනී, දේශබන්දු ඇතුළු 24කට විදේශ ගමන් තහනමක්

351

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 24 දෙනෙකුට විදේශගතවීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (12දා) තහනම් නියෝගයක් නිකුත් කළේය.

පසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරය අසල සහ ගාලුමුවදොර පිටියේදී රජයට එරෙහිව විරෝධතාවේ නිරතව සිටි සාමකාමී විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන් 17 දෙනෙකුට එරෙහිව විමර්ශන සිදුකරන බවත් එකී ප්‍රහාරවලින් තුවාල ලබා ප්‍රතිකාර ලබන සෙසු 7 දෙනා එම විමර්ශනවල සාක්ෂිකරුවන් ලෙස හඳුනාගෙන ඇති බවත් පෙන්වා දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවක් සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

පසුගිය 10 වැනිදා නීතිපතිවරයා විසින් ලබාදෙන ලද උපදෙස් පරිදි පොලිස්පතිවරයාගේ නියෝගය අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු අගමැතිවරයාගේ ආරක්ෂාව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන ආරම්භකළ එකී පිරිස යම් හෙයකින් විදේශගතවුවහොත් ඉදිරි විමර්ශනවලට බාධාවක් මෙන්ම ඉතා අගතියක් විය හැකි බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නාය.

එම කරුණු සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, සී. බී. රත්නායක යන පිරිසට මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ සනත් නිශාන්ත, කාංචන ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජය එදිරිමාන්න, සම්පත් අතුකෝරාළ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා සහ කොළඹ නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ මහින්ද කහඳගම ඇතුළු පිරිසට එලෙස විදේශ ගමන් තහනමක් පැනවීය. කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාටද විදේශගතවීම තහනම් කිරීම සුවිශේෂ සිද්ධියක් වන අතර එකී විදේශ ගතවීම වැළක්වීමේ නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමටද මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

ඉදිරි විමර්ශනවල ප්‍රගතිය ලබන 25 වැනිදා තම අධිකරණයට වාර්තා කරන ලෙසටද එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදිනම නඩුව යළි කැඳවීමට දින නියම කළේය. අගතියට පත් විරෝධතාකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු විශාල නීතිඥවරුන් පිරිසක් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment