ගෝල්ෆේස් භෞතික පාඩුව සහ දේශපාලන සල්ලාලභාවය

1747

ගෝල්ෆේස් පිට්ටනියේ අරගල භූමියට සිදුව ඇති හානිය එම අරගලකරුවන්ගෙන් අයකර ගන්නා බව නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කර තිබේ. මෙය න්‍යායක් වශයෙන් ගත්කල ඉතාම වටිනා වැඩකි. එහෙත් ප්‍රායෝගිකව කිසිසේත් ම කළ නොහැකි වැඩකි. මාස තුනහමාරක පමණ කාලයක් තුළ නඩත්තු කරනු ලැබූ අරගල භූමියට ලංකාවේ සියලුම පළාත්වලින් පනස් ලක්‍ෂයකට අධික ජනතාවක් පැමිණෙන්නට ඇත. ඔවුන් පැමිණියේ එකසැරය නොව විටින් විට ය. සාමාන්‍යයෙන් අරගල කාලය තුළ ගෝල්ෆේස් පිට්ටනියට වූ හානිය රුපියල් කෝටි 5 ක් පමණ යැයි දළ වශයෙන් විශ්වාස කරනු ලැබේ. මේ අනුව අරගලයට පැමිණි පනස් ලක්‍ෂයෙන් එම මුදල අයකර ගත්තත් එක් අයෙකුට රුපියල් 10 කට වැඩි වන්දියක් ගෙවීමට සිදුවන්නේ නැත. එම අදහස ප්‍රායෝගික නොවන බැවින් පැත්තකින් තබමු. එසේ නම් අලාභය අයකර ගත යුතුව ඇත්තේ අරගල නායකයන්ගෙනි. මේ සඳහා නෛතික ක්‍රියාමාර්ගයකට යා යුතුව ඇති අතර අරගලකරුවන් හඳුනාගැනීම සහ ඔවුන් අරගල භූමියට කරන ලද හානියට වගකිවයුතු බව ඔප්පු කිරීම සිදුකළ යුතුය. ඊළඟට එම අරගලකරුවන් අරගල භූමියේ කවර කොටසක සිදු වූ හානියට වගකීමක් දැරිය යුතුද යන්න වෝහාරික විගණනයක් මගින් දැනගත යුතුය. මේ කිසිවක් කළ හැකි වැඩ නොවේ.

අනෙක අරගලය පටන් ගත් මොහොතේ සිටි නායකයන් අරගලය අවසන් මොහොතේදී සිටියේ නැත. අරගලයට මූලික වූ එක් නායකයකු වන මෝටිවේෂන් අප්පච්චි නමැති යූ ටියුබ්කාරයා පසුව අරගලකරුවන් විසින් ම අරගල භූමියෙන් පලවා හරින ලදි. එම පුද්ගලයා සල්ලි ගසාකන ලදැයි චෝදනාවක් තිබිණ. අරගල භූමියේ ඊළඟ චරිතය වන රැට්ටා නමැති අය අරගලකරුවකු ලෙස හඳුනාගත හැකි වුවද ඔහු විසින් පුද්ගලිකව අරගල භූමියට කරන ලද හානිය පිළිබඳ සාක්‍ෂි නොමැත. මේ සියලුම දෙනාට මුදල් ගසාකෑම හෝ මුදල් අපහරණය පිළිබඳ වෙන් වෙන් වශයෙන් චෝදනා තිබේ. උදාහරණයක් ලෙස රැට්ටාගේ බැංකු ගිණුමට රුපියල් මිලියන 5 ක් ලැබිණ. තමන් ඒ මුදල ලැබීම ගැන හෝ එය දැමූ පුද්ගලයා ගැන හාංකවිසියක් නොදන්නා බව රැට්ටා කියයි. කෙනෙකුගේ බැංකු ගිණුම යනු පෞද්ගලික සන්තකයකි. එහි අංකය පෞද්ගලික රහසකි.

රැට්ටාගේ ගිණුමට රුපියල් ලක්‍ෂ 50 ක් එනවා නම් ඔහු කිසියම් පාර්ශ්වයකට බැංකු ගිණුම් අංකය ලබා දිය යුතුය. අරගල භූමිය යනු මෙබඳු කාරණා සමූහයකින් වැසී ගිය මඩවළක් වැනි ස්ථානයකි. අරගලය පටන් ගන්නා අවස්ථාවේදී එම ස්ථානය පිරිසිදු ජලය සහිත විලක් හා සමාන විය. එහෙත් යූ ටියුබ්කාරයන් සහ ෆේස්බුක් කබ්බන් පැමිණ එම විලට මුත්‍රා කර මී හරකුන් මඩේ ලගින්නාක් මෙන් විල කළඹා දැමූහ. එසේම අරගලය පිළිබඳ අයිතිය කීපදෙනකු අත බෙදී ගොස් තිබේ. පැතුම් කර්නර් කියන පරිදි අරගලයේ නිර්මාතෘ ඔහු ය. හැබැයි අරගලයේ නිර්මාතෘ ලෙස පොලිස් කූඩුවට යන්නේ අනුරුද්ධ බණ්ඩාර නමැති ගම්පොල පැත්තේ තරුණයෙකි. ඊළඟට රැට්ටා ද අරගල නායකයෙක් ලෙස පෙනී සිටී. මෝටිවේෂන් අප්පච්චි ද අරගලයට වැඩි අයිතිය කියයි. මේ නිසා අරගලය නොබෙදන ලද ඉඩමකට කියන ඉඩම් නඩුවක් බවට පත්වී තිබේ. ලංකාවේ ඉඩම් නඩු සාමාන්‍යයෙන් අවුරුදු 50 ක් වත් ඇදී යයි. ඊටත් වඩා පැරණි ඉඩම් නඩු ද ලංකාවේ තිබේ. ඒ අනුව අරගලයේ සැබෑ නායකයන් සොයා ගැනීම ඉතා බැරෑරුම් කාරණයක් වන්නේ ය.

ගෝල්ෆේස් තරුණ පිරිස අරගලය පටන් ගන්නේ නිරායුධව සහ අහිංසාවාදීව ආදරයේ අරගලය ලෙස ය. එහෙත් කල්ගත වන විට මෙම ආදරයේ අරගලය තුළට දේශපාලන සල්ලාලයන් රිංගා ගත් නිසා වැඩේ සම්පූර්ණයෙන් ම අවුල් විය. තරුණයන් ප්‍රචණ්ඩත්වයටත්, ජනාධිපති මන්දිරයේ බිත්තිවල හිල් හෑරීමටත්, ජනාධිපති මන්දිරයේ ෆූල් එකට චූ කිරීමටත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ චිත්‍ර ඇඳීමටත්, අරලියගහ මන්දිරයට පහරදීමටත්, පොළඹවනු ලබන්නේ එකී දේශපාලන සල්ලාලයන් විසිනි. අරගලයේ මූලික අවස්ථාවේදී අරගලකරුවන්ට තිබුණේ එකම එක න්‍යාය පත්‍රයක් පමණි. ඒ වූ කලී ගෝඨාභය සහ මහින්ද රාජපක්‍ෂ ගෙදර යැවීමය. එහෙත් අරගලයට ඇතුළු වූ දේශපාලන සල්ලාලයෝ එම මූලික අරමුණුවලින් බැහැරව ස්වකීය දේශපාලන න්‍යායපත්‍රය අරගල භූමිය තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළහ. වැඩේ සම්පූර්ණයෙන් ම අවුල් වන්නේ මෙතැන් සිටය. එබැවින් ගෝල්ෆේස් භූමියට සිදු වූ හානියට අරගලකරුවන්ගෙන් වන්දි අයකර ගැනීමේදී පෙර කී දේශපාලන සල්ලාලයන් පිළිබඳව ද අවධානය යොමුකළ යුතුව තිබේ. සල්ලාලභාවයට එරෙහිව මහජන ආඥා පනත යටතේ කටයුතු කළ හැකිය. එහෙත් දේශපාලන සල්ලාලභාවයට එරෙහිව කටයුතු කිරීමට කිසිදු අණපනතක් නොමැත. මේ නිසා ගෝල්ෆේස් පිට්ටනියට සිදු වූ හානිය සඳහා වන්දි අරගලකරුවන්ගෙන් අයකර ගැනීමේ ප්‍රසන්න රණතුංගගේ අදහස කිසිසේත්ම හරියන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment