ගෝල්ෆේස් මැර ප්‍රහාරයට මොරටුව නගරාධිපති සමන්ලාල් ඇතුළු 7 ක් දැලේ

209

පිරිස අතර ප්‍රා. සභා මන්ත්‍රීන්  3ක් හා ඩෑන් ප්‍රියසාද්

ගාලු මුවදොර අරගල භූමියට කඩා වැදී අරගලකරුවන්ට අමානුෂික මැර ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු පුද්ගලයන් හත් දෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (18 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ප්‍රසන්න, කරන්දෙණිය, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමීර චතුරංග ,සීතාවකපුර ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ, බන්ධුල ජයතිස්ස සහ දිනේෂ් ජනක යන අය ද සිටිති.

මේ අතර සිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ උදේ අත්අඩංගුවට ගන්නා ලදී.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඩෑන් ප්‍රියසාද් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ පෙරවරුවේ පෙනී සිටි අතර ඔහු පසුව අත්අඩංගුවට ගෙන තිබිණි.

සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ පොලිස් කණ්ඩායම් විසින් සිදුකළ මෙහෙයුම්වලදීය.

මෙම සැකකරුවන් සියලු දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගාලු මුවදොර අරගලයට ප්‍රහාර එල්ල කරන අවස්ථාව් ලබාගත් වීඩියෝ දර්ශන සහ එහිදී ප්‍රහාරයන්ට ලක්වූවන්ගෙන් ලබාගත් තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment