ගෝල් මාවල්ස්ට කඩුලු 5ක ජයක් ලබයි

1

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙස ඊයේ (02 දා) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති ගෝල් මාවල්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 5ක ජයක් ලබන්නට ගෝල් මාවල්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම සඳහා ගෝල් මාවල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 179ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය. පන්දුවට පහරදීමේදී ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 59ක්, පැතුම් නිශ්ශංක ලකුණු 51ක් සහ චරිත් අසලංක ලකුණු 33ක් ලැබීය. පන්දු යැවීමේදී සොහෝර් ඛාන් ලකුණු 34කට කඩුලු 3ක්, ඩෙවෝන් ෆෙටෝරියස් ලකුණු 23කට කඩුලු 2ක් සහ ඉසුරු උදාන ලකුණු 60කට කඩුලු 2ක් බිඳහෙළීය.

ගෝල් කණ්ඩායම වෙනුවෙන් ඇලෙක්ස් හේල් ලකුණු 65ක්, නිරෝෂන් දික්වැල්ල 47ක් සහ ජනිත් ලියනගේ ලකුණු 25ක් ලැබීය.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 40කට කඩුලු 2ක්, ෆේබියන් ඇලන් ලකුණු 33කට කඩුලු 2ක්, ධනංජය ද සිල්වා ලකුණු 16කට කඩුලු 1ක් ලැබීය. ඇලෙක්ස් හේල් තරගයේ වීරයා ලෙස තිළිණ දිනාගත්හ.

පෙරේදා (01දා) පැවැති කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට කැන්ඩි කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 179ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම සඳහා කැන්ඩි කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4කට ලකුණු 183ක් ලබාගනිමින් ජය අත්කර ගැනීමට සමත් විය.

පන්දුවට පහරදීමේදී දඹුල්ල කණ්ඩායමේ ප්‍රථම කඩුලු 4 ලකුණු 25ක් තුළ බිඳ දැමීමට කැන්ඩි පන්දු යවන්නෝ සමත් වුවද 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 154ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගීමට මාක් චැප්මන් සහ චමිදු වික්‍රමසිංහ සමත් විය. ඒ අනුව මාක් චැප්මන් පන්දු 61කින් ලකුණු 91ක් රැස්කිරීමට සමත්වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විණි. ඔහුට අනගි සහයක් ලබාදුන් චමිදු වික්‍රමසිංහ පන්දු 42කින් ලකුණු 62ක් ලැබීය.

පන්දු යැවීමේදී කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 20කට කඩුලු 3ක් සහ මොහොමඩ් හස්නයින් ලකුණු 53කට කඩුලු 1ක් බිඳහෙළීය.

කැන්ඩි කණ්ඩායම පන්දුවට පහරදීමේදී දිනේෂ් චන්දිමාල් පන්දු 40කින් ලකුණු 65ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විණි. ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ දසුන් ශානක පන්දු 15කින් ලකුණු 45ක් ලබාගැනීමට සමත්වූ අතර එයට හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් අන්තර්ගත විය. ඊට අමතරව ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 37ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 20ක් ලැබීය.

පන්දු යැවීමේදී නුවන් තුෂාර ලකුණු 35කට කඩුලු 1ක්, මුෂ්ටෆිසුර් රහුමාන් ලකුණු 44කට කඩුලු 1ක්, අකිල ධනංජය ලකුණු 29කට කඩුලු 1ක් සහ චමිදු වික්‍රමසිංහ ලකුණු 31කට කඩුලු 1ක් බිඳහෙඝීය.

පන්දු යැවීමේදී ලකුණු 20කට කඩුලු 3ක් සහ පිත්තෙන් ලකුණු 45ක් රැස්කළ දසුන් ශානක තිළිණ ලබාගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment