ගෝලීය උණුසුම වැඩිවීමෙන් ශ්‍රී ලංකාවටත් බලපෑම්.. – ලන්ඩන් නගරයටත් වඩා විශාල අයිස් කුට්ටියක් ඇන්ටාටිකාවෙන් ගැලවේ

590

දේශගුණික විපර්යාස හේතුවෙන් වැඩි වෙමින් පවතින ගෝලීය උණුසුමෙහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ හා ලොව පුරා රටවල මෑතකදී හටගත් හා ඉදිරියේදී හටගැනීමට නියමිත ව්‍යසනයන් පිළිබඳ විමර්ශනයකි.

එංගලන්තයේ අගනුවර වන ලන්ඩන් නගරය හා නගරයේ පළාත් පාලන ආයතන ප්‍රදේශ 32ක එකතුවේ ප්‍රමාණයකින් යුතු විශාල අයිස් තට්ටුවක් ඇන්ටාක්ටික් කලාපීය අයිස් තට්ටුවෙන් ගැලවී ගොස් ඇත. ඉකුත් ජනවාරි 29 වැනිදා මෙම අයිස් තට්ටුව ඇන්ටාක්ටික් කලාපීය අයිස් තට්ටුවෙන් ගැලවී ගොස් ඇත්තේ ගෝලීය උණුසුමෙහි නවතම මුහුණුවර ලොවට පසක් කරවමිනි. මෙම අයිස් තට්ටුව දිය වෙමින් පවතින බවට විද්‍යාඥයන් විසින් මුල් වරට අනාවරණය කරන ලද්දේ මෙයට දශකයකට පමණ පෙර වන අතර එය ප්‍රධාන අයිස් තට්ටුවෙන් බිඳී යමින් පවතින බව අනාවරණය වී ඇත්තේ වසර දෙකකට පමණ පෙරදීය. මෙසේ බිඳී ගොස් ඇති අයිස් තට්ටුවේ ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 1550කට අධිකය. ගෝලීය උණුසුමෙහි ප්‍රතිඵලයක් වශයෙන් අයිස් තට්ටු දිය වෙමින් පවතිනුයේ ඇන්ටාක්ටික් කලාපයේ පමණක් නොව වෙනත් කලාපවලද එම තත්ත්වය පවතී. විද්‍යාඥයන්ට අනුව ආක්ටික් මුහුදේ පවතින අයිස් කඳු ප්‍රමාණය 1978 වසරේ සිට සියයට 40කින් අඩු වී ඇති අතර ස්විට්සර්ලන්තයේ පවතින හිම ග්ලැසියර 1400න් හරි අඩකට වැඩි සංඛ්‍යාවක් ඉකුත් වසර 85ක කාලය තුළදී දියෙහි ගිලී ඇත්තේ ගෝලීය උණුසුම හේතුවෙන් මුහුදු ජලයේ උෂ්ණත්වයද ඉහළ යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි.

ගෝලීය උණුසුම වැඩිවීමෙන් ශ්‍රී ලංකාවටත් බලපෑම්.. - ලන්ඩන් නගරයටත් වඩා විශාල අයිස් කුට්ටියක් ඇන්ටාටිකාවෙන් ගැලවේ

දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වැඩි වෙමින් පවතින ගෝලීය උණුසුම නිසා ලොව පුරා රටවලින් වාර්තා වෙමින් පවතින ස්වභාවික ව්‍යසනයන්ගේ ප්‍රමාණය වර්ධනය වෙමින් පවතින අතර වෙනත් කාලවලට වඩා ලැබෙන වර්ෂාපතනයේ අධික වැඩි වීමක්, උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාමක්, ජල ගැලීම් වෙනත් කාලවලට වඩා වැඩි වීමක්, හිම පතනය දරුණු වීම, දිගුකාලීනව පවතින නියඟයන් ඇති වීම, දේශගුණයේ වෙනස් වීමත් සමගම මිනිසාට ඇති වන රෝගාබාධයන් වර්ධනය වීම වැනි බලපෑම් මේ අතරින් ප්‍රධාන වී තිබේ. ඔස්ටේ්‍රලියාවෙන් වාර්ෂිකව වාර්තා වන ලැව් ගිනි දරුණු වීමටත් ඒවා මෙයට දශකයකට පෙර ඇවුලුනාට වඩා වැඩි කාල සීමාවක් ඇවිලීමටත් ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේද මෙම දේශගුණික විපර්යාසන්ය.

ලොව දෙවැනි විශාලතම අයිස් තට්ටුව පවතින ග්‍රීන්ලන්තයෙන් සියයට 80ක්ම වැසී පවතිනුයේ අයිස් තට්ටුවලිනි, ගෝලීය උණුසුම වැඩි වීමත් සමගම මුහුදු ජලයේ උෂ්ණත්වයද ඉහළ යමින් පවතින අතර එම තත්ත්වය මත මුහුදේ එරටට අයත් හිම ග්ලැසියර දිය වීමේ ක්‍රියාදාමය තවත් වේගවත් වී ඇති බව විද්‍යාඥයන් මෑතකදී නිවේදනය කර තිබිණි. විද්‍යාඥයන් විසින් අලුතින් සිදු කර ඇති අධ්‍යයනයන්ට අනුව ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු දිය වී යෑමේ වේගය වසරකට අයිස් මෙටි්‍රක් ටොන් බිලියන 250කි.

ලොව ස්වභාවික පුදුම හතෙන් එකක් සේ සැලකෙන ඔස්ටේ්‍රලියාවට අයත් ගෝලීය සංරක්ෂණ කලාපයේ පිහිටි මහා බාධක පරය (ග්‍රේට් බැරියර් රීෆ්) මේ වන විට විනාශ වෙමින් පවතිනුයේද දේශගුණික විපර්යාසයන් හේතුවෙන් හටගෙන ඇති ගෝලීය උණුසුම හේතුවෙනි. ගෝලීය උණුසුම වැඩි වීමත් සමගම මුහුදේ උෂ්ණත්වය ඉහළ

ගොස් ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් කොරල් පරය සුදු පැහැ ගැනීමත් මුහුදු ජලයේ ආම්ලිකතාව වැඩි වීම හේතුවෙන් කොරල්පර ඇති වීමට හේතුවන කැල්සියම් කාබනේට් දිය කර හැරීමත් නිසා එය වර්ධනය වීම අඩාල වී තිබේ.

අනෙක් අතට දේශගුණික විපර්යාසයන් හේතුවෙන් කැලිෆෝනියාවේ හටගෙන ඇති තදබල කුණාටු සහිත කාලගුණ තත්ත්වයට මේ වන විට මාස ගණනක් සම්පූර්ණ වී තිබේ. තවමත් එම කුණාටු සහිත කාලගුණ තත්ත්වය පහව ගොස් නොමැති අතර දැඩි සුළං සහිත අධික වර්ෂාව, දරුණු ජල ගැලීම් හා හිම කුණාටු අඛණ්ඩව සිදු වෙමින් පවතින බව වාර්තා වේ. ඉකුත් ජනවාරි මස මැද භාගය වන විට කැලිෆෝනියා ප්‍රාන්තයේ මිලියන 25 ක ජනතාවක් ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටි අතර 20කට ආසන්න සංඛ්‍යාවක් දරුණු කුණාටු හේතුවෙන් මරණයට පත්ව තවත් දස දහස් ගණනක් අවතැන්ව සිටියහ.

වෙනත් වසරවලදී ඇද හැලෙන වර්ෂාපතනය මෙන් සියයට 190 ක් වැඩි වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් හටගත් ජල ගැලීම්වලින් ඉකුත් වසරේදී පකිස්තානයේ මුළු භූමි භාගයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ජලයෙන් යට විය. මේ සා දැවැන්ත ව්‍යසනයක් හටගැනීමට මුල් වූ අධික වර්ෂාපතනයට හේතු වී තිබුණේ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඇති වී තිබෙන ගෝලීය උණුසුමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව වාර්ෂිකව මිනිසා විසින් නිෂ්පාදනය කරනු ලබන ගල් අඟුරු, ගෑස් හා තෙල් දහනය කිරීම හේතුවෙන් වායුගෝලයට එකතුවන කාබන්ඩයොක්සයිඩ් ඇතුළු ආශ්වාස කිරීමට නුසුදුසු හරිතාගාර වායුන් ප්‍රමාණය ටොන් බිලියන ගණනකි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට එකතු වන කාබන් ප්‍රමාණය සෑම වසරකදීම වැඩි වනවා මිසක අඩු වීමක් සිදු වන ලකුණු පෙනෙන්නටවත් නොමැති බව විද්‍යාඥයෝ සඳහන් කර සිටිති. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව පරිසරයට මුදා හැරෙන හරිතාගාර වායුන් ප්‍රමාණය සීමා කිරීමට අපොහොසත් වුවහොත් මිහිතලයේ උණුසුම තවත් වැඩි වී වසර 2100 වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින් පමණ ඉහළ යෑමේ අවදානමක් පවතී ගෝලීය උණුසුමට මුල් වී ඇති. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වසර 2030 සිට 2050 දක්වා වූ කාලය තුළ ලොව පුරා අධික උණුසුම හේතුවෙන් හටගන්නා ආතතිය හේතුවෙන් (හීට් ස්ට්‍රසේ) දෙලක්ෂ පනස් දහසක් පමණ දෙනා මිය යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනටමත් අනතුරු අඟවා තිබේ.

වසර 2015 දී ප්‍රංශයේ පැරිස් නගරයේ පැවති දේශගුණික විපර්යාසයන් සම්බන්ධ සමුළුවේදී එළඹුණු තීරණයක් වූයේ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 2 ඉක්මවා යෑමට ඉඩ නොදී සෙල්සියස් අංශක 1.5 මට්ටමක පවත්වා ගෙන යමින් ගෝලීය උණුසුම පාලනය කිරීමයි. එහෙත් වර්තමානයේ පරිසරයට මුදා හැරෙන කාබන් ඇතුළු හරිතාගාර වායුන් ප්‍රමාණය සීමා නොකළහොත් වසර 2100 වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක තුන ඉක්මවමින් අපගේ පරිසර පද්ධතියට නැවත හැරවිය නොහැකි හානියක් සිදු කරනු ඇති බවට ජාත්‍යන්තර කාලගුණ සංවිධානය විසින් නිකුත් කර ඇති අලුත්ම වාර්තාවේ සඳහන් කර තිබේ. එහෙත් මිනිසාගේ අහිතකර ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට මුදා හැරෙන දැවැන්ත හරිතාගාර වායුන්ගේ ප්‍රමාණය හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය අධික වී පෙර නොවූ විරු අයුරින් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව පවතින හිම ග්ලැසියර හා අයිස් තට්ටු පෙරට වඩා වැඩි වේගයකින් දිය වෙමින් පවතින අතර ඒ හේතුවෙන් මුහුදු ජල මටටම්ද ඉහළ යමින් පවතින බව වාර්තා වී තිබේ.

ඉහත කී අයුරින් ලොව සෙසු රටවලට පමණක් නොව දේශගුණික විපර්යාසයන් ශ්‍රී ලංකාවටද නුදුරු අනාගතයේදී දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවට පාරිසරික විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබේ. ඒ අනුව වසර 2030 වන විට මෙරට දැඩි නියං තත්ත්වයක් හටගනු ඇති බවට දැනටමත් අනාවැකි පළ වී ඇති අතර දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වසර 2050 පමණ වන විට දැඩි නියඟයක් හටගෙන ඒ හරහා කෘෂි අස්වැන්න අඩු වීමෙන් රට තුළ ආහාර හිඟයක් හටගනු ඇති බව එම විද්‍යාඥයෝ පවසා තිබේ. මෙවැනි අනාවැකියක් පළ කර තිබුණද මෙතෙක් එවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා ගත යුතු පියවර පිළිබඳව හෝ ඉදිරි සැලැස්මක් සකස් කිරීම පිළිබඳව බලධාරීන් විසින් කිසිවක් නිශ්චිතව ප්‍රකාශ කර නොතිබීම කනගාටුවට කරුණකි. ලොව සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද පරිසරය සුරැකීම සඳහා අනුගමනය කරමින් සිටිනුයේ මන්දගාමී ප්‍රතිපත්තියක් බව මෙයින් සනාථ වේ. පරිසරය සුරැකීම සඳහා නිසි පියවර කඩිනමින් නොගතහොත් ඉදිරියේදී දැඩි ව්‍යසනකාරී තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානම වැඩි වෙමින් පවතින බැවින් ඒ සඳහා දැන් සිටම ස්ථීරසාර හා සැලසුම් සහගත ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමකි.

ඒමන්ති මාරඹේ
සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment