ග‍්‍රාමනිලධාරිනියගේ සැමියා ඝාතනයට මට්ටක්කුලිය හමුදා බුද්ධි ප‍්‍රධානියාත් හවුල්

221

මට්ටක්කුලිය ග‍්‍රාමනිලධාරිනියගේ අවශ්‍යතාව මත ඇගේ සැමියා ඝාතනය කර සිරුර කැලණිගෙඟ් ගිල්ලවීමේ සිද්ධියට මට්ටක්කුලිය යුද හමුදා බුද්ධි කඳවුරේ ප‍්‍රධානියා ද සම්බන්ධ බවට විමර්ශනවලින් හෙළි වී ඇති අතර එම නිලධාරියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මේ වන විට එම හමුදා ප‍්‍රධානියා යුද හමුදා පොලිසිය භාරයේ සිටින අතර ඔහු වහාම පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම අබිරහස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ග‍්‍රාමනිලධාරිනිය සහ මට්ටක්කුලිය යුද හමුදා බුද්ධි කඳවුරේ සෙබළුන් හයදෙනකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කරයි.

ග‍්‍රාමනිලධාරිනිය හමුදා කෝප‍්‍රල්වරයකු සමඟ පැවති අනියම් ඇසුරකින් පසු ඇගේ සැමියා මෙසේ ඝාතනයට ලක්වන්නේ ඉකුත් අගෝස්තු මස 17 වැනිදා ය.

පසුව එම පුද්ගලයාගේ සිරුරේ ගල් බැඳ එය කැලණිගෙඟ් ගිල්ලවීමට හමුදා කණ්ඩායම කටයුතු කර තිබිණි.

මෙම පුද්ගලයාගේ සිරුර කාකදූපත වෙරළට ගොඩගැසීමෙන් පසු කොළඹ උතුර විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විමර්ශන පැවැත්වූ අතර මෙම ඝාතනයේ සුලමුල හෙළිවිය.

මෙම ඝාතනය සඳහා නියෝග ලබා දී ඇත්තේ මට්ටක්කුලිය හමුදා කඳවුරේ ප‍්‍රධානියා විසින් බව ද හෙළි වී ඇත.

යුද හමුදා පොලිසිය මගින් ද මේ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් පවත්වාගෙන යයි.

කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති නලින් ශ‍්‍රියන්ත, උප පොලිස් පරීක්‍ෂක ජයසිංහ ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment