ඝානාවේ පිපිරීමකින් 17 දෙනෙක් මරුට

138

අප‍්‍රිකානු රාජ්‍යයක් වන ‘ඝානාවේ’ පතල් කර්මාන්තයට ප‍්‍රසිද්ධ බොගොසෝ නගරයේ පිහිටි ‘ඇපියෙට්’ නමැති ප‍්‍රදේශයේ පෙරේදා (20දා) සිදු වූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 17 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 59 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පතලකට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරමින් තිබූ වාහනයක් යතුරු පැදියක් හා ගැටීමෙන් මෙම පිපිරීම සිදුව තිබෙන අතර ඉන් තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව බලධාරීහු පවසති. මෙම පිපිරීමෙන් බොගොසෝ නගරයේ ගොඩනැගිලි විනාශ වී ගොස් ඇති අතර කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන්වලට යටවීමෙන් බොහෝ දෙනකු අතුරුදන් වී ඇති බව වාර්තා වී තිබේ.

වාහන ගැටීමෙන් පිපිරීම සිදු වූ ස්ථානයේ විශාල වළක් සැදී ඇති අතර දැවැන්ත කළු දුමාරයක් අහස දෙසට විහිදී යාම නිසා කළු වලාකුළක් සෑදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. පිපිරීමෙන් පසු ජනතාවට එම ප‍්‍රදේශයෙන් ඉවත් වී යාබද නගරවල තිබෙන පල්ලි හා පන්ති කාමර වෙත යන ලෙස දැනුම් දී ඇති අතර අනතුරට පත් වූවන් මුදා ගැනීමේ කටයුතු සඳහා හමුදාව හා පොලිසිය කැඳවීමට ඝානා රජය විසින් පියවර ගෙන තිබේ. හමුදා හා පොලිස් නිලධාරීන් විසින් නගරයේ දෙවැනි පිපිරීමක් ඇති වීම වළක්වා ඇති බව ඝානා රජය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment