චතාරික සමය පෙබරවාරි 22 ඇරැඹේ

527

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, කුරුසිය මත මරණය හා උත්ථානය සිහිපත් කෙරෙන චතාරික සමය පෙබරවාරි 22 වැනිදාට යෙදෙන ‘අළු බදාදා’ දිනයෙන් ආරම්භ කෙරේ.

මෙදින දිවයිනේ සියලුම කතෝලික දේවස්ථානවල සිදුකෙරෙන ‘අළු බදාදා’ සැමරුම් දිව්‍ය පූජාවේදී පසුගිය 2022 වසරේ ගොබ් ඉරුදින අසිරි ගන්වන ලදුව කුරුසියන් සාදා නිවෙස් තුළ සවිකර තිබුණු සියලුම ගොබ් කුරුස පුළුස්සා සකස් කරගත් අළු බැතිමතුන්ගේ නළල මත කුරුස සලකුණු තබමින් සියලු පූජා ප්‍රසාදීන් වහන්සේලා ‘පොළවේ දූවිල්ලෙන් තැනූ නුඹ, පොළවේ දූවිල්ලටම හැරෙන්නේය…‘ යනුවෙන් පවසමින් මරණයේ සැබෑ සත්‍යය සිහිපත් කරති.

‘අළු බදාදා’ දින සිට පාස්කු ඉරුදින දක්වා කාලය උපවාසාත්මක කාලයක් ලෙස සැලකෙන අතර පෙබරවාරි 22 (අළු බදාදා) දින සිට අප්‍රේල් 7 වැනි සිකුරාදා දක්වා සෑම සිකුරාදා දිනකම දෙව්මැදුරේදී ගම් මට්ටමින්ද, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුඃඛප්‍රාප්තිය සිහිපත් කෙරෙන පාදනමස්කාර වන්දනා පැවැත්වෙනු ඇත.

සෑම සිකුරාදා දිනකම එක්වරුශීලය රකිනා ලෙසටත්, ගොඩමස් අනුභවයෙන් වළකින ලෙසටත්, මත්පැන් පානයෙන් වැළකී භාවනායෝගී දිවි පෙවතක් සඳහා යොමුවන ලෙසට සැදැහැවත් ජනතාවට ඇරයුම් කෙරේ. යාච්ඤාවෙන්ද මර්දන ක්‍රියාවලින්ද යුතුව පශ්චාත්තාපිය දිවියක් සඳහා යොමුවන ලෙස කතෝලික සභාව සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිති.

අප්‍රේල් 7 වැනිදාට යෙදෙන මහා සිකුරාදා දිනයේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුඃඛප්‍රාප්තිය හා කුරුසිය මත මරණය සිහිපත් කරමින් මාවතගම, හොරණ, මග්ගොන, හිනිදුම, මාබිම (සපුගස්කන්ද මීසමේ) හා දූව යන ප්‍රදේශවල පිහිටි කල්වාරි සිද්ධාස්ථානවලදී විශේෂ පාදනමස්කාර වන්දනා, තුන්පෑධ්‍යාන, පස්න ගායනා මෙන්ම පාස්කු නාට්‍ය සංදර්ශනද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment