චන්ද්‍රන් රත්නම් කෙටි චිත්‍රපට තරගාවලිය

149

ජාත්‍යන්තරයට යන්න පුළුවන් දරු පරපුරක් අපට ඉන්නවා….
– සමාරම්භක උළෙලේදී ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන්රත්නම්
සිනමා අධ්‍යාපනයෙන් නිර්මාණශීලි දරු පරපුරක් බිහිකරගමු

– දිනපතා දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක

සාහිත්‍යය, කලාව, රසවින්දනය සහිත අනාගත දරු පරපුරක් නිර්මාණය කර ලෝකය හමුවට ඉදිරිපත් කිරිමේ අරමුණින් ෆියුචර් ශ්‍රී ලංකා ආයතනය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් මහතා සමඟ එක්ව උපාලි පුවත්පත් ආයතනයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය යටතේ සුවිශේෂී මහඟු කාර්යයකට උරදී තිබේ. එහිදී මෙරට සියලු පාසල් සම්බන්ධ කරගනිමින් වෘත්තීය මාර්ගෝපදේශයක් සහිතව කෙටි චිත්‍රපට තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව පාසල් දූ දරුවන් හට කෙටි චිත්‍රපට නිර්මාණය කළ හැකි අතර එහිදී වට කිහිපයකින් අනතුරුව තෝරා ගන්නා දරුවන්ට සියදෙනෙක් දේශීය, විදේශීය ප්‍රවීණ රංගධරයන්, අධ්‍යක්ෂවරු, කාර්මික ශිල්පීන්, වේශ නිරූපණ ශිල්පීන්, කැමරා අධ්‍යක්ෂවරු වැනි ප්‍රවීණයන්ගෙන් සමන්විත වැඩමුළු සංවිධානය කර තිබේ. අවසානයේදී තෝරාගන්නා විශිෂ්ටයකු වෙත විදේශීය ශිෂ්‍යත්වයක් පිරිනැමීමටද මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතී.

එහි මූලික පියවර ලෙස ලෝක ළමා දිනයට සමගාමීව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් මහතා පාසල් සිසුන් පිරිසක් එක්ව නිර්මාණය කළ කෙටි චිත්‍රපටය එළිදැක්වීම පසුගිය (03දා) උපාලි සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි.

චන්ද්‍රන් රත්නම් කෙටි චිත්‍රපට තරගාවලිය

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් මහතා සඳහන් කළේ ජාත්‍යන්තර සිනමාව දක්වා ගෙන යා හැකි සුවිශේෂී හැකියාවන්ගෙන් යුත් සිසු දරු පරපුරක් මෙරට පාසල් පද්ධතිය තුළ සිටින බවත් ඔවුන් මුවහත් කර ලෝකය හමුවට ගෙන යෑමට මෙම වැඩපිළිවෙළ ඉවහල් වනු ඇති බවත් ය.

හොලිවුඩය සහ බොලිවුඩය මෙහි නිර්මාණය කළ හැකි බවත් කී චන්ද්‍රන්රත්නම් මහතා ඉදිරියේදී ආසියාවේ චිත්‍රපට කේන්ද්‍රස්ථානය රන්මිනිතැන්න මූලික කරගනිමින් පිහිටුවීමට කතිකා කර ගනිමින් ඇති බවත් කීවේය. සිසු දරු දැරියන් ඇතුළු තරුණ ප්‍රජාව දැනුමෙන් සහ තාක්ෂණයෙන් බලමුළු ගැන්වීම තුළ සිනමාවේ සහ රටේ බලාපොරොත්තු මල්ඵල ගැන්විය හැකි බවත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් මහතා මෙහිදී කියා සිටියේය.

මෙහිදී දිනපතා දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතා අදහස් දක්වමින් සඳහන් කළේ පාසල් මට්ටමින් සිනමා අධ්‍යාපනය ලබාදීම තුළ කලාකාමී, ශික්ෂණයක් සහිත නිර්මාණශීලී දරු පරපුරක් නිර්මාණය කර ගැනීමට හැකිවනු ඇති බවත් නගරබද මෙන්ම ගම් නියම් ගම් පුරා පාසල් තුළ කලාත්මක අදහස් ඇති නිර්මාණශීලී දරුවන් සිය නිසඟ දක්ෂතා රට හා ලොව හමුවේ තැබීමට මෙම වැඩපිළිවෙළ මහත් පිටිවහලක් වනු ඇති බවත්ය. චිත්‍රපට අධ්‍යක්ෂක සුගතපාල සෙනරත් යාපා මහතා නිර්මාණය කළ මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටය අන්තර්ජාතික සම්මාන ලබා ගනිමින් රටට කීර්තියක් අත්කර දුන් බවද මෙහිදී දිනපතා දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතා සිහිපත් කළේය.

එම අවස්ථාවට උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතා, සන්නාම අධ්‍යක්‍ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනවිය, සමූහ මූල්‍ය අධ්‍යක්ෂක ලහිරු ගුණසේකර, උපාලි පුවත්පත් සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂක ලක්ෂමන් පෙරේරා, ෆියුචර් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඩයන් බදුගේ ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

මෙම සත්කාරය සඳහා උපාලි පුවත්පත් ආයතනයේ දිනපතා දිවයින, ඉරිදා දිවයින,
දි අයිලන්ඩ් සහ සන්ඩේ අයිලන්ඩ් පුවත්පත් මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වයි.

සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment