චන්ද්‍රපෝල් නාමය ක්‍රිකට් පිටියේ අලුත් වේ

2521

විසිඑක් වසරක් පුරා බටහිර ඉන්දීය කොදෙව් දේශයට ක්‍රිකට් පිත්තෙන් සිය දායකත්වය සැපයූ, පිතිහරඹයට පැමිණි විට අසාමාන්‍ය ඉරියව්වකින් යුතුව පන්දුවට මුහුණ දුන් ශිවනරින් චන්ද්‍රපෝල් ලෝක ක්‍රිකට් පිටියේ තරුවකි. ටෙස්ට් තරග 164කට බටහිර ඉන්දීය කොදෙව් දේශය නියෝජනය කළ ශිවනරින් චන්ද්‍රපෝල් එක්දින ජාත්‍යන්තර තරග 268 කට එරට වෙනුවෙන් ක්‍රීඩා කර ඇත. ඔහු විසින් රැස් කරන ලද ටෙස්ට් ලකුණු 11867 ඔවුන්ගේ රටේ දී දෙවැනි වන්නේ බ්‍රයන් ලාරා රැස් කළ ලකුණු 11953 ට පමණි. ඒ අතර පරතරය වන්නේ ලකුණු 86ක් පමණි. ශිවනරින් චන්ද්‍රපෝල් රැස් කරන ලද ලකුණු 11867 ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු අතර 8 වන ස්ථානයේ පසු වේ.

මේ විශිෂ්ටයා පිළිබඳ මතකය අලුත් කරමින් ඔහුගේ එකම පුත්‍රයා වන ටැගනරීන් චන්ද්‍රපෝල් පසුගියදා ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබීය. (ශිවනරින් චන්ද්‍රපෝල්ට තවත් දියණියක් වේ.) ඔස්ට්‍රේලියාවේ මේ දිනවල පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ පළමු තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් ටැගනරීන් චන්ද්‍රපෝල් එහිදී ලකුණු 51 ක් ලබා ගත්තේය. සිය පියා මෙන්ම වමත් පිතිකරුවකු වන ටැගනරීන් චන්ද්‍රපෝල් හට බටහිර ඉන්දීය කොදෙව් දේශය වෙනුවෙන් ටෙස්ට් හිස්වැස්ම පිරිනැමීම සුපිරි ක්‍රීඩක බ්‍රයන් ලාරා විසින් සිදු කරන ලදී.

ටැගනරීන් මෙම තරගයට පෙර පළමු පෙළ ක්‍රිකට් තරග පනස් දෙකකට ක්‍රීඩා කර තිබුණි. ඔහු ටෙස්ට් වරම් ලැබූ පළමු තරගයේ දී ප්‍රබල ඔස්ට්‍රේලියානු පන්දු යැවීම හමුවේ පන්දු 79කට මුහුණ දී ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වූයේය. එම තරගයේදී ටැගනරීන්ට එරෙහිව පන්දු යැවූ මිචෙල් ස්ටාර්ක් සහ නෙදන් ලයන් දෙදෙනා ඔහුගේ පියා වන ශිවනරින් චන්ද්‍රපෝල් ට එරෙහිවද 2012 වසරේදී ටෙස්ට් තරගවලදී පන්දු යවා ඇත.

ශිවනරින් චන්ද්‍රපෝල් සිය පළමු ඔස්ට්‍රේලියා සංචාරයේදී බ්‍රිස්බේන් හි පැවති පළමු තරගයේදී ලකුණු 82ක් ලබා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment