චමරි ඩුබායිහිදී ශතකයකින් වැඩ අල්ලයි

421

ඩුබායිහිදී පැවැත්වෙන ‘ෆෙයාර්බ්‍රේක් 2022’ ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කරමින් පන්දු 55කදී නොදැවී ලකුණු 107ක් රැස් කිරීමට චමරි අතපත්තු සමත් වූවාය. එම ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 5ක් අන්තර්ගත විය.

මෙම දක්ෂතාව හේතුවෙන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ද චමරි අතපත්තු විසින් දිනා ගන්නා ලදී.

තරගාවලියේ සමාරම්භක තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කරන්නට ද චමරි නියෝජනය කරන ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය.

පෙරේදා (04 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ෆැල්කන්ස් කණ්ඩායම සඳහා චමරි අතපත්තු ක්‍රීඩා කළ අතර වොරියර්ස් කණ්ඩායම සඳහා උදේශිකා ප්‍රබෝධනී ක්‍රීඩා කළාය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 177ක් රැස් කරනු ලැබීය. වොරියර්ස් පිළ වෙනුවෙන් ජෝර්ජියා රෙඩ්මෙන් ලකුණු 80ක් රැස් කළ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 178ක ඉලක්කයක් හඹාගිය ෆැල්කන්ස් කණ්ඩායම පන්දු වාර 18.4කදී කඩුලු 2ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment