චමින්ද නමැති සාපරාධී කුකුළා

740

වැලිඔය සම්පත්නුවර කල්‍යාණපුර ගමේදී කුඩා දරුවකුට කෲර ලෙසත් සාපරාධී ලෙසත් පහර දෙන පුද්ගලයකු පිළිබඳ වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යවල හුවමාරු විය. මේ පහර දීම කරන ලද්දේ කුකුල් චමින්ද නමැති 45 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය වන අවස්ථාවේදී කුකුල් චමින්ද සමග ඔහුගේ බිරියන් දෙදෙනා ද සිටියහ. කුඩා දරුවා මේ බිරියන් දෙදෙනගෙන් එකියකගේ දරුවා විය හැකි බවට විශ්වාස කෙරේ. සාපරාධී කුකුළා විසින් දරුවාට පහර දෙන ලද්දේ ඔහු කෑම කන අතරය. එම පහරදීම්වලින් දරුවා වීසිවී ඇද වැටිණ. කිසියම් මානව හිතවාදී පුද්ගලයකු විසින් මේ සිද්ධිය වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහරින ලදි. ඒ ගෞරවනීය කාන්තාවට හෝ පුරුෂයාට අප හිස නමා ආචාර කරමු. සමහර මිනිස්සුන් උදේ සිට රෑ වනතුරුම අන්තර්ජාලයට බැණ වදිති. සමාජ මාධ්‍යවලට සාප කරති. එහෙත් අන්තර්ජාලය නොතිබුණේ නම් මේ සමාජය මීට වඩා පරිහානියට පත්වන්නේය. මෙතෙක් කලක් සමාජය තුළ සැඟව තිබුණු නීච ක්‍රියාකාරකම් රැසක් ෆේස් බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, යූටියුබ් වැනි මාධ්‍ය හරහා එළියට පැමිණෙන අතර එසැණින් පොලිසියට ක්‍රියාත්මක වීමට හැකි විය. පසුගිය කාලයේදී ද කුඩා දරුවන්ට පහර දෙන තිරිසන් තාත්තලාත් එවැනිම වධක භාර්යාවන් වන මවුවරුත් සමාජ මාධ්‍ය තුළින් පෙන්වන ලදි. එක සිද්ධියකදී පිටරට සිටින සිය බිරිඳගෙන් මුදල් ලබාගැනීම සඳහා සිඟිති දරුවාට වධ දී එය වීඩියෝ කර බිරිඳට වට්ස්ඇප් කළ පියකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඊළඟට, නව යොවුන් දියණියකට පහර දෙන කුඩම්මා කෙනකු අපට ෆේස් බුක් මගින් දැකගැනීමට හැකි විය. සමාජ ශෝධනයට ප්‍රිය කරන කිසියම් පුද්ගලයකු විසින් මේ සිද්ධිය වීඩියෝ කර ෆේස් බුක් එකට මුදාහැර තිබිණි. ස්වකීය සාපරාධී ක්‍රියාව හෙළිදරව් වූ පසු කුකුල් චමින්ද සිය බිරින්දෑවරුන් ද සමග ගමෙන් පැන ගියේය. ඊයේ එකී මුළු පවුලම පුල්මුඩේ අරිසිමලේදී අත්අඩංගුවට ගන්නා ලදි. ඒ ගුටි කාපු හැටියට කුඩා දරුවාට කුමක් වන්නට ඇද්දැයි අපට සිතා ගැනීමට නොහැක. දරුවා රෝහල්ගත කරනු ලැබ ඇති අතර වෛද්‍යවරුන් ඔහුගේ තත්ත්වය ගැන පසුව කියනවා ඇත.

රටේ ජනගහනයට සාපේක්‍ෂව ළමයින් අපහරණය කිරීම වැඩිම රටක් ලෙස තව නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට ලේබල් එකක් වැදීමට ඉඩ තිබේ. ගිය අවුරුද්දේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මාස 10ට වැඩිහිටියන් විසින් ළමයින් අපහරණය කළ සිද්ධීන් 8000ක් වාර්තා විය. මෙයින් වැඩිම ප්‍රමාණයක් ලැබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. 2022දී අපහරණය කෙරුණු ළමයින් ගණන 10,500කි. 2021දී මේ ගණන 11,200ක් විය. ළමයින් අපහරණය කිරීම යනු ඔවුන්ට මානසික වධ දීම, ශාරීරික හිංසා සිදුකිරීම, දූෂණය කිරීම සහ ඔවුන් මැරීම දක්වා වූ පුළුල් පරාසයක විහිදෙන ක්‍රියාවලියකි. අපේ රටේ ළමයින් බලාගැනීම සඳහා ජාතික ළමාරක්‍ෂණ අධිකාරිය නමැති ආයතනයක් තිබේ. එම ආයතනයේ දුරකථන අංකය 1929 වේ. මේ අංකයට කතා කිරීමෙන් ඕනෑම කෙනකුට ළමයින් අපහරණය කිරීමක් ගැන දැනුම් දිය හැකිය. අප දන්නා පරිදි මේ රටේ ළමයින් වැඩිම ප්‍රමාණයක් අපහරණය වන්නේ ඔවුන්ගේ නිවෙස් තුළය. බොහෝ විට වැඩිහිටි සහෝදරයන් බාල සහෝදරියන්ට ලිංගික හිරිහැර සිදුකිරීමත්, පවුලේ මාමලා බාප්පලා සහ මස්සිනාලා විසින් දරු දැරියන් දූෂණය කිරීමත් සිදුවේ. සමහර විට මේ නරකාදි වැඩේ සිද්ධ කරන්නේ තාත්තා හෝ සීයා ය. ළමයින්ගේ ආරක්‍ෂාව සඳහා ප්‍රධාන පනත් 4ක් ඇත. මේ පනත් 4ම සංශෝධනය කළ යුතු අතර ළමයින් අපහරණය කරන අයට එරෙහිව දැඩි නීති රීති හඳුන්වා දීම මෙමගින් කළ යුතුය. බොහෝ විට ළමයාගේ සාක්‍ෂිය පරදවා වැඩිහිටියාගේ සාක්‍ෂිය උඩ එයි. යුරෝපයේ තිබෙන දියුණු රටවල් වැඩි හරියක ළමයින් අපහරණය කරන්නාට ජීවිතයේ කවදාවත් ගැලවුමක් නොමැත. උදාහරණයක් වශයෙන් අවුරුදු 5දී අපහරණය වූ දැරියකට එයින් අවුරුදු 50කට පසුව වුවද තමාට වූ විනාශය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරිය හැකිය. මෙවැනි නඩු තීන්දු දිනපතාම අන්තර්ජාලයේ පළවේ. අපේ රටේ ජනයා අන්තර්ජාලයේ තිබෙන කුණුහරුප බැලීම මිස වැදගත් දෙයක් බැලීම කරන්නේ ඉතා සුළු වශයෙනි. ඒ නිසා රටේ තොටේ සිදුවන වැදගත් දේවල් ඔවුන්ට මගහැරී යයි. ළමයා සුරක්‍ෂිත කිරීම සඳහා ගතයුතු පියවර ගැන පර්යේෂණ පත්‍රිකා කිහිපයක්ම අන්තර්ජාලයේ තිබේ. ඉන් එකක මෙසේ සඳහන් වේ.

  1. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ළමයින්ට එරෙහිව සිදුවන අපරාධ විභාග කිරීමේ කටයුත්ත සඳහා ප්‍රමුඛත්වයක් ලබාදිය යුතුය.
  2. ලිංගික හිරිහැර කියන්නේ මොනවා ද යන කාරණය ගැන දරුවාට කුඩා කල සිටම අධ්‍යාපනයක් ලබාදිය යුතුය. අනවශ්‍ය ස්පර්ශ කිරීම්, සිප වැලඳ ගැනීම් සහ සිරුරේ පුද්ගලික ප්‍රදේශ අතපත ගෑමෙන් විය හැකි අනර්ථය ගැන ළමයින්ට කියාදිය යුතුය.

ලිංගික අපහරණය යනු කුමක් ද යන්න ඔවුන් දැනගන්නේ එවිටය.

  1. ළමයින් අපහරණය කිරීම සම්බන්ධයෙන් නෛතික පියවර හැකි ඉක්මනින් ගත යුතුය. දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කර ළමයින් අපහරණය කරන නීචයන්ට දැඩි දඬුවම් දිය යුතුය.
  2. ගුරුවරුන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වේවැල්වලින්, අඩිකෝදුවලින්, අතින් පයින් පහරදීම තහනම් කර එවැනි පහරදීම් ළමා අපහරණයන් සේ අර්ථ නිරූපණය කළ යුතුය.

ඉහත සඳහන් ප්‍රතිසංස්කරණවලින් කිසියම් වගතුවක් විය හැකි බව අපගේ මතය වේ. අපගේ පුද්ගලික මතය අනුව නම් ළමයින් අපහරණය කරන්නාට මරණ දණ්ඩනය දිය යුතුය. එහෙත් එසේ අපහරණය කරන්නා ළමයාගේ මව හෝ පියා වන්නේ නම් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අල ගොඩක් බවට පත්වන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment