චමින්ද විජේසිරි ලන්සාට ගහන්න හදයි – එළියට දැමූ විජේසිරි යළි එයි

288

මම රාජ්‍ය ඇමැති මට මන්ත්‍රී කියන්න එපා – චාමර සම්පත් කථානායකට කියයි
සමාවෙන්න ඇමැතිතුමා – කථානායක

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ආණ්ඩුව විසින් කල් දැමීමට උත්සාහ කරන්නේ යැයි විපක්ෂ නායක විසින් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයක් දුරදිග යෑමෙන් ඇතිවූ විවාදමය තත්ත්වය උණුසුම් වී සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මන්ත්‍රී නිමල් ලන්සා මහතාට පහරදීමට උත්සාහ කිරීම දක්වා දුරදිග යෑම හේතුවෙන් කථානායකවරයා විසින් විජේසිරි මහතා ඊයේ දිනට සභාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

කෙසේ වෙතත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වූ පසුව නැවත සභාවට පැමිණ අසුන්ගෙන සිටියේය.

සිද්ධියට මුල්වූ සංවාදය මෙසේය.

සජිත් ප්‍රේමදාස මහතා- කැබිනට් මණ්ඩලයට නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා පළාත් පාලන ආයතනවල සියයට විසි පහක තරුණ නියෝජනත්වය ලබා දෙන්න කියලා. නමුත් මැතිවරණයක් අත ළඟ තියා ගෙන ඇයි මේ වගේ තීන්දුවක් ගත්තේ කියන එක ප්‍රහේලිකාවක්. මේක ඡන්ද කල්දැමීමේ උප්පරවැට්ටියක් ද කියලා හිතෙනවා. මේ ආණ්ඩුවට සැබෑ ජනවරමක් නෑ. ජනතාවට අවස්ථාවක් දෙන්න ඕනෑ මේ තිබෙන විකෘතිය නැති කරන්න. වරමක් නැති ආණ්ඩුවක් කොහොමද ඡන්ද කල් දැන්නේ. භය වෙන්න එපා කොන්ද කෙළින් තියාගෙන මැතිවරණයක් පවත්වන්න.

ඒ වගේම මේ වගේ විකෘති තත්ත්වයක් තුළ මේ වරමක් නැති ආණ්ඩුව තීන්දුවක් ගන්නේ. ලාභ ලබන සම්පත් විකුණන්න. 2021 ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් බදු ගෙවීමට පෙර ලාභය මිලියන 1725ක්. එතකොට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මිලියන 12818ක්. ඒ වගේම ශ්‍රී ලංකා කේටරින් ආයතනය 2020 මිලියන 4760ක්. ඉතින් මොකක්ද ඔබතුමන්ලාට තිබෙන වරම මේ ලාභ ලබන ආයතන, ජාතික සම්පත් කුණුකොල්ලයට විකුණන්න. පාඩු ලබන ආයතන ගැන අපි වෙනම සාකච්ඡා කරමු.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා-

අය වැය ඊයේ දිනයේත් විරුද්ධ පක්ෂය බලාපොරොත්තු වුණු ආකාරයට නොවෙයි ඔවුන්ට ප්‍රතිඵලයක් ආවේ. ඡන්ද 121 ක් ලබාගෙන අපි ජයග්‍රහණය කළා.

එයාර් ලංකා ආයතනය හෝ එවැනි ආයතන ගැන අපි කාරක සභා අවස්ථාවේදී ඒ විෂයන් සම්බන්ධව සාකච්ඡා කරන්න, උත්තර දෙන්න බැඳී සිටිනවා.

අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශයක්. අපි කටයුතු කරමින් ඉන්නේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණ රටාවක් ඇති කිරීමට. එහි අවශ්‍ය වෙනස්කම් ඇති කිරීමට. එය කිසි ලෙසකින් මැතිවරණයකට ඵලදායී මිස ලෙස විනා වෙනත් ආකාරයකට බලපාන්නේ නැහැ.

ඒ වගේම මැතිවරණ කොමිසමට තියෙන අයිතිවාසිකමක් ඉදිරිපත් කළ යෝජනාව, ගැන අපි කිසි ලෙසකින් බාධාවක් ඇති කරලා නැහැ. නමුත් පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කරන්න, මන්ත්‍රී ප්‍රමාණය අඩු කරන්න, ඒ වාගේම වියදම් අඩු කිරීම සඳහා වූ රජයේ තීරණය මත අපි කටයුතු කරමින් සිටිනවා. ජන වරමක් නැහැ කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ජන වරම නැති බව කියන කතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා, මේ සභාවත්.

මන්ත්‍රී රවුෆ් හකීම් මහතා-

මේක උප්පරවැට්ටියක් වෙන්න පුළුවන් ඡන්දය කල්දාන්න. මේ නාස්තිකාර ක්‍රියාදාමයක්. අපි මේ තවත් පාරක් අනාගන්නයි හදන්නේ. මන්ත්‍රීවරුන්ට දණිස්සෙන් වැටෙන්න වෙලා තිබෙන්නේ යෝජනාවක් පාස් කර ගන්න.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා-

ඒ සීමා නිර්ණය කමිටුව පත් කරලා තිබෙන්නේ පූර්ණ බලය ඇතිව. මේ රටේ මැතිවරණ ගණනාවක සභාපතීත්වය දරපු කොමිෂන් සභාවේ සභාපතිතුමා මහින්ද දේශප්‍රිය මහතා ප්‍රධාන නිලධාරීන් ඒ කටයුත්ත කරනවා. ඉතින් ඒ අයගේ කටයුතු කරගෙන යන්න පුළුවන් කාල වරම පෙබරවාරි මාසයේ අවසාන දිනය දක්වා තිබෙනවා. මම මේකට ඇඟිලි ගහන්නේ නෑ. මේ රටේ පළාත් සභා ඡන්දෙට කරපු ඒ අපරාධය තමයි ඔබට අදත් මතක් කර දෙන්න වෙන්නේ. ඒ අපරාධය නිසා තමයි අද පළාත් සභා ඡන්දය තියාගන්න බැරි වුණේ. මම කනගාටු වෙනවා. මැතිවරණ ක්‍රමය වෙනස් කරන පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයෙක් විදියට ඒ වාර්තාවට අත්සන් කරන්න ගියාම නිමල් සිරිපාල ඇමැතිතුමායි මමයි, මේ ඔක්කොම යන්න ගියා, අත්සන් කරන්න බෑ කියලා, ඡන්ද ක්‍රමය වෙනස් කරන නිසා. ඡන්දවල වියදම් අඩු කරන නිසා. ඔබලා කළ වැරදිවලින් තමයි අද හිරවී තිබෙන්නේ පළාත් සභා ඡන්ද විමසීම.

චමින්ද විජේසිරි මහතා- පළාත් සභා මැතිවරණ පරක්කු කළා කියලා අගමැති කෑ ගහනවා. ආයෙත් ඒකමනේ මේ කරන්න හදන්නේ. දෙකම එකයි. අපි නොවෙයි කළේ. රනිල් වික්‍රමසිංහ කියන මෙතුමලාගේ ජනාධිපති.

මුජිබර් රහුමාන් මහතා- පළාත් පාලන මන්ත්‍රී ප්‍රමාණය වැඩියි කියලා සියලු දෙනාම පිළිගත්තා. නමුත් දැන් අවුරුදු 04ක් ගිහිල්ලාත් කවුරුවත් පියවරක් ගත්තේ නෑ. දැන් ඡන්දය පවත්වන්න ළංවෙන කොට මේ ඡන්දය කල් දාන්න තමයි මේ හදන්නේ.

නිමල් ලන්සා මහතා- ආණ්ඩුවක් ලෙස කිසිම උත්සාහයක් නෑ ඡන්දය කල් දාන්න. මේ විකෘති ඡන්ද ක්‍රමයම වෙනස් කරන්න ඕනෑ.

(මේ අවස්ථාවේ දී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සිය අසුනෙන් නැගිට නිමල් ලංසා මහතාගේ ආසනය දෙසට වේගයෙන් ගියේය.)

කථානායක- චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා කරුණාකරලා ඔතනින් මෙහාට එන්න.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත-

ඒ මන්ත්‍රීතුමාගේ හැසිරීම බලන්න. ඔහුගේ අසුනේ සිට පහරදීමට ගියා අනෙක් මන්ත්‍රී අසුන වෙත. වහාම මේ ප්‍රශ්නය යොමු කරන්න පාර්ලිමේන්තුවේ විනය කමිටුවට. වෙලේත් ඉන්නවා මේ වගේ අය. මේ වගේ මන්ත්‍රීවරු මේ සභාවට සුදුසු නෑ. ගහන්න පුළුවන්ද, වහාම විනය පියවර ගන්න.

කථානායක- චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා සභාවෙන් එළියට යන්න කරුණාකරලා. එළියට ගිහින් ඔය රණ්ඩුව කර ගන්න. දැන් කරුණාකරලා එළියට යන්න. අද දිනයට පස්සේ ඒ ගැන කතා කරමු.

නිමල් ලන්සා මහතා- පළාත් පාලන මැතිවරණය ගැන මගේ අදහසයි කිව්වේ. ගරු මන්ත්‍රීවරු ගහගන්න නැගිටිනවා. මේ පාර්ලිමේන්තුව තුළ මෙතුමාට මට එක ෂොට් එකකින් ගහන්න පුළුවන්. නමුත් මම ඒ තත්ත්වයට ගියේ නෑ. මට ගහන්න ගිය කෙනාට පාර්ලිමේන්තුවේ නීති අනුව කටයුතු කරන්න.

කථානායක- අද දිනයට එතුමාව මේ රාජකාරියට සම්බන්ධ කර ගන්නේ නෑ.

ඔව් ගරු චාමර සම්පත් මන්ත්‍රීතුමා කියන්න.

චාමර සම්පත් මහතා- මම මන්ත්‍රී නොවෙයි. මට රාජ්‍ය ඇමැතිකමක් දුන්නා ජනාධිපතිතුමා. ඔබතුමා ඒක දන්නේ නැද්ද? මට මන්ත්‍රීතුමා කියන්න එපා.

කථානායක- සමාවෙන්න ඇමැතිතුමා.

චාමර සම්පත් මහතා- ඔබතුමා න්‍යාය පත්‍රයට වැඩ කරන්නකෝ. ඔබතුමා මේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ නැති ප්‍රශ්නයනේ තියෙන්නේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment