චමීරටත් තරගාවලිය අහිමි වේ

226

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු බලාපොරොත්තුව වූ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ද පාදයේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී ඇත.

එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව පෙරේදා පැවැති තරගයේ සිය අවසන් පන්දුව ක්‍රියාත්මක කිරීමට දිව එමින් සිටියදී ඇති වූ පාදයේ වේදනාවක් හේතුවෙන් චමීර ක්‍රීඩා පිටියෙන් ඉවත් වූවේය.

අනතුරුව ඊයේ උදෑසන ඔහු ස්කෑන් පරීක්ෂණයකට යොමු කරන ලද අතර එමගින් තහවුරු වූයේ සති හතරකට ආසන්න කාලයක් ඔහුට විවේක ගැනීමට සිදු වන බවය.

ඒ අනුව පාදයේ ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීර වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතය සමඟ එක් වීමට නියමිත අතර අසිත ප්‍රනාන්දු ද අතිරේක ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට එක්වීමට සූදානමින් සිටී. එමෙන්ම බොහෝ දුරට මතීෂ පතිරණ ද ඔස්ටේ්‍රලියාවට කැඳවීම් ලබනු ඇතැයි වාර්තා වේ.

ලෝක කුසලාන සංචිතයට එකතු වී සිට ආබාධයකට ලක්වූ තෙවන වේගපන්දු යවන්නා දුෂ්මන්ත චමීර වන අතර ඩිල්ශාන් මධුසංඛ එම ලැයිස්තුවේ පළමුව ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වුණි. කලවයේ මස් පිඩු ඉරී යෑමක් හේතුවෙන් ඉවත් වූ ඩිල්ශාන් වෙනුවට බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවූ අතර එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුශාන් ලියනගේ ද සුළු ආබාධ තත්ත්වයකට ලක්වී ඇත. එසේම මැදපෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ද සුළු ආබාධ තත්ත්වයකට ලක්ව ඇති අතර ප්‍රමෝද් මධුෂාන් සහ ධනුෂ්ක ගුණතිලක අද තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment