චමීර  වාර්තා පොතට යද්දී  – වනිඳුගේ බැංගලෝර් තරගය දිනයි  

105

ෆෆ් ඩුප්ලෙසිස්ගේ ප්‍රවේගකාරි ඉනිම සහ ජෝස් හසල්වුඩ්ගේ පන්දු යැවීම හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය ලෙසින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 18ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පෙරේදා (19 වැනිදා) සමත්විය.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් පිතිකරුවන් ලබා දුන් ලකුණු 181ක අභියෝගය හමා ගින ලක්නව් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 163කට සීමා විය. ලක්නව් ඉනිමේ බලාපොරොත්තු සුන්කර දැමූ ජෝස් හසල්වුඩ් සිය පන්දුවාර 4දී කඩුලු 4ක් බිඳ දැමුවේ ලකුණු 25ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. වනිදු හසරංග පන්දුවාර 2ක් පමණක් ක්‍රියාත්මක කළ අතර එහිදී කඩුල්ලක් ලබා නොදී ලකුණු 20ක් උදුරා ගැනීමට ලක්නව් පිතිකරුවෝ සමත්වූහ.

 සුපිරි පිති ප්‍රහාරයක් දියත් කළ ෆෆ් ඩුප්ලෙසිස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ජයග්‍රාහි ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට වැඩි දායකත්වයක් සැපයීය. පන්දු 64කදී ලකුණු 96ක් වාර්තා කළ ඩුප්ලෙසිස් හයේ පහර 2ක් සහ හතරේ පහර 11කින් ලක්නව් පන්දු යවන්නන්ට සංග්‍රහ කළේය. බැංගලෝර් ඉනිමට එරෙහිව පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළ දුෂ්මන්ත චමීර එම පන්දුවාරයේ අවසන් පන්දු දෙකේදී පිළිවෙලින් අනුජ් රාවට් සහ විරාට් කෝලි පිටියෙන් ඉවත් කිරීමට සමත්විය. අයි.පී.එල්. ඉතිහාසයේ ආරම්භක පන්දුවාරයකදී විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගිය සිව්වැනි අවස්ථාව එය බවට සටහන් වූ අතර ඒ අනුව එම දස්කම කළ සිව්වැනි පන්දු යවන්නා බවට දුෂ්මන්ත චමීර අයි.පී.එල්. වාර්තා පොතට එක් විය.

 ලකුණු සාරාංශය

 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පන්දුවාර 20දී 181/6 (ෆෆ් ඩුප්ලෙසිස් 96, ග්ලේන් මැක්ස්වෙල් 23, ෂබාෂ් අහමඩ් 26, ජේසන් හෝල්ඩර් 25/2, දුෂ්මන්ත චමීර 31/2) ලක්නව් සුපර් ජයන්ට්ස් පන්දුවාර 20දී 163/8 (කේ.එල් රාහුල් 30, කෲනාල් පාන්ඩයා 42, මාක්‍රොස් ස්ටොනිස් 24, ජෝස් හසල්වුඩ් 25/4, හර්ෂාල් පටේල් 47/2)

advertistmentadvertistment
advertistmentadvertistment