චමුදිත පැය 05ක් සී. සී. ඩි.යට ප‍්‍රකාශ දෙයි

317


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාට සහ පවුලේ සාමාජිකයන්ට එල්ල වී ඇති මරණීය තර්ජන සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ (සී. සී. ඞී) ඒ මහතා ඊයේ (09 වැනිදා) පැය 05ක් තිස්සේ ප‍්‍රකාශ ලබා දී ඇත.

තමන්ටත් තම බිරිඳට සහ දරුවන්ට එල්ල වී ඇති මරණීය තර්ජන පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස චමුදිත සමරවික‍්‍රම මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කරන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන ලෙස කළ දැනුම් දීමකට අනුව සමරවික‍්‍රම මහතා ඊයේ සවස 3.00 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.

එහිදී චමුදිත සමරවික‍්‍රම මහතාට මරණීය තර්ජන එල්ල වූ ආකාරය එම දුරකථන ඇමතුම් ලබාදුන් දුරකථන අංක සහ සැක කටයුතු පුද්ගලයන් පිළිබඳව ඒ මහතා හෙළිදරව්වක් කර තිබිණි.

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපිකාවක වන පියුම් හංසමාලී යන අය විසින් කොළඹ ෂැංගි‍්‍රලා හෝටලයේ පැවැත්වූ උපන්දින සාදයට අදාළ සිද්ධිය පිළිබඳව ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට චමුදිත සමරවික‍්‍රම මහතා කටයුතු කර තිබිණි.

මෙම සම්මුඛ සාකච්ඡාවේදී පොලිස් දෙපාර්තමේන්තුව විෂය භාර ඇමැති සරත් වීරසේකර ඇතුළු තවත් පාර්ශ්ව කීපයක් චමුදිත සමරවික‍්‍රම මහතා විසින් දැඩි විවේචනයට ලක් කර තිබිණි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. නන්දන මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීහු පිරිසක් විමර්ශන පවත්වති.

ඡායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment