චරිත් නොම්මර 03 ට ‘නොම්මර එකයි’… භානුක රාජපක්ෂ

3208

පන්දු වාර 20 – 20 තරගවල අංක 3 පිතිකරු ස්ථානයේ ගැටලූවක් කලක පටන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පැවැති බවත් චරිත් අසලංක ඒ ගැටලූවට කදිම විස`දුම වී ඇති බවත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ පැවසීය.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ පළමු ජයග‍්‍රහණය ලබා ගැනීමෙන් අනතුරුව සාජා ක‍්‍රීඩාංගණ පරිශ‍්‍රයේ පෙරේදා 24 වෙනිදා පැවැති මාධ්‍ය හමුවේදී හානුක රාජපක්ෂ එසේ ස`දහන් කර සිටියේය.

එම තරගයේදී අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණ පන්දු 49කදී නොදැවී ලකුණු 80ක් ලබා ගත් චරිත් අසලංක ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන යමින් තරගයේ වීරයා සම්මානයද හිමි කර ගත්තේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 – 20 තරගවල අංක 3 පිතිකරු ස්ථානය සදහා පසුගිය වකවානුව තුළදී දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා යන පිතිකරුවන් යෙදවූවත් ඒ අවස්ථා අසාර්ථක විනි.

ආරම්භක පිතිකරු වූ කුසල් ජනිත් පෙරේරා පළමු පන්දු වාරයේදී දැවී යෑමට ලක් වීමත් සමග ශ‍්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ පීඩනය නතර කරමින් චරිත් අසලංක මැනවින් පිතිහරඹයේ නිරත වූ බවත් එය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණයට හේතු වූ බවත් භානුක රාජපක්ෂ ස`දහන් කළේය.

චරිත් අසලංක සහ භානුක රාජපක්ෂ දෙදෙනා අතර 5 වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86ක සම්බන්ධතාවයක් වාර්තා වූ අතර එය ශ‍්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනකු එක්ව 5 වෙනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ ඉහළම ලකුණු සම්බන්ධතාවය විය.

‘‘අපි දෙන්නා බැට් කරන අවස්ථාවෙහි එක් වරක් මම චරිත්ට කිව්වා ලකුණු වැඩි ඕවර් එකකට යන්න ඕනා. ඒක අපිට වාසියි. ඒ නිසා මම හයියෙන් ගහනවා ඔයා කඩුල්ල රැක ගන්න කියලා’’ භානුක එහිදී ප‍්‍රකාශ කර සිටියේය.

ශ‍්‍රී ලංකා ඉනිමේ 16 වෙනි පන්දු වාරය ක‍්‍රියාත්මක කළ මොහොමඞ් සයිෆුඞීන් ගේ පන්දු වාරයෙන් ලකුණු 22ක් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් අතර එහිදී භානුක 6 පහර දෙකක් සහ 4 පහර දෙකක් සයිෆුඞීන්ගේ පන්දු හමුවේ එල්ල කළේය.

කුෂාන් සුබසිංහ සාජා සිට…

advertistmentadvertistment
advertistmentadvertistment