චලෝ සත්‍ය සිදුවීමක් පදනම් කරගත් කතාවක්… අධ්‍යක්ෂ හසුන් සමීර

950

සම්මානීය ටෙලි නාට්‍ය නිළි ශලනි තාරුකා ‘‘චලෝ’’ ලෙසින් ප‍්‍රධාන භූමිකාව නිරූපනය කරන ‘චලෝ’ ටෙලි සිත්තම ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ මේ දිනවල විකාශනය වේ. අනේක විධ දුෂ්කරතා මැද දිරියෙන් ඉදිරියට පැමිණෙන දුෂ්කර ගම්මානයක පිහිටි පාසලක, අති දුෂ්කර දිවියක් ගත කරනා පාපන්දු කී‍්‍රඩාවේ නිරත සිසුවියන් පිරිසකගේ සුන්දර නොවූ නමුදු අභියෝගාත්මක, අධිෂ්ඨානශීලී ගමන් මගේ දිගහැරුමකි චලෝ. එය කවරාකාර කතාවක්ද ඒ තුළින් පේ‍්‍රක්ෂකයාට ළඟා කරන්නේ කුමක්ද යන්න ගැන චලෝ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ හසුන් සමීර පවසන්නේ මෙවැනි අදහසක්.
 
 චලෝ ටෙලි නාට්‍ය කොපියක් නෙමෙයි. සමහරු හිතනවා ‘‘චලෝ’‘ විදේශීය ටෙලි නාට්‍යයක කොපියක්ද කියල. නෑ… මේ කතාවට තේමාව වුණ සිදුවීම සත්‍ය එකක්. බිබිල පැත්තෙ තියන යකුන්ආවා කියන පාසලේ සිදුවුණු සත්‍ය සිදුවීම තමයි නිර්මාණාත්මක වෙනස්කම් එක්ක ටෙලි නාට්‍ය කතාවක් විදියට ගොඩ නැගුවේ.
 
 මොකක්ද ඒ සත්‍ය සිදුවීම
 
 බිබිලේ ‘‘යකුන් ආවා’’ නමැති පාසලේ 2007 වසරේදී ෆුට්බෝල් ටීම් එකක් නිර්මාණය වෙලා තියනවා. මේ ටීම් එක හැදුවට පස්සෙ ඔවුන් ජාතික මට්ටම දක්වාම ජයග‍්‍රහණ ලබල තියනවා. මේ කතාව කව්රුවත් කතා කළේ නැති නිසා ඒක හැංගිච්ච කතාවක් වුණා. පාසලේ ෆුට්බෝල් කී‍්‍රඩාවත් එහෙන්ම නැති වුණ නිසා පසුවවත් මේ කතාව එළියට ආවේ නෑ.
 
 වර්තමානයේ අපි දකින්නෙ මුල මැද අග සම්බන්ධයක් නැති කතා. සත්‍ය කතාවක් වුණත් පසුවට මේ කතාවත් එහෙම වෙයිද
 
 කිසිසේත් එහෙම වෙන්නෙ නෑ. මේ කතාව අපි පටන්ගත්තෙම එහි අවසානය මොකද කොහොමද වෙන්නෙ කියල දැනගෙන. මුල මැද අග එකිනෙකට සම්බන්ධයි. නළු නිළියන් තෝරා ගැනීමේ ඉඳල සියල්ල නිර්මාණයට අවශ්‍ය විදියට සිදුකළේ. කතාව විකාශය වෙන චැනල් එකෙන්වත් කිසිදු බලපෑමක් තිබුණේ නෑ. කොටස් හැත්තෑවෙන් වගේ චලෝ අවසන් වෙනවා.
 
 මීට පෙර ‘‘යාල් දේවී, මීදුම් අම්මා, පැරීසියට යන පාර’’ වැනි නිර්මාණ ඔබේ අතින් බිහි වෙනවා. නමුත් ‘‘චලෝ’’ සඳහා තමා ටෙලි නාට්‍ය විකාශනය වෙන හොඳම කාලය ලැබී තිබෙන්නෙ. මේ ගැන ඔබේ අදහස.
 
 ඇත්තටම මට ඕනකම තිබ්බෙ මම දන්න කියන පිරිසක් එක්ක හොඳ වැඩක් කරන්න. කොටින්ම කිව්වොත් හොඳ වැඩක් කිරීමේ උණ තමා මට තිබ්බෙ. ඉතින් ඒක කළා. හැබැයි සති අන්තයේ විකාශය වෙන නාට්‍යයක් විදියට පෙන්වන්නයි මගේ අරමුණ වුණේ. නමුත් දිනපතා එක දිගට හොඳ ටෙලි නාට්‍ය පෙන්වන්න ඕන කියන තීරණත් එක්ක චලෝ සඳහාත් ඒ අවස්ථාව ලැබුණා.
 
 රූගත කිරීම් සිදුවුණේ මොන වගේ පළාත්වලද
 
 අපිට මේ කතාවට සම්බන්ධ සත්‍ය සිදුවීම වුණ පාසලම හොයාගෙන යන්න ඕන වුණා. ඒ නිසා බිබිල ප‍්‍රදේශයම පසුබිම් කරගෙනයි රූගත කිරීම් සිදුවුණේ… තම නිර්මාණය ගැන කසුන් එසේ පවසනව.
 
 ශලනි තාරුකා සමග මේ සඳහා රංගනයෙන්, ජයනි සේනානායක, ආනන්ද කුමාර උන්නැහේ, මාලි ජයවීරගේ, නයනා හෙට්ටිආරච්චි, සංජීව උපේන්ද්‍ර, සංජීව දිසානායක, චින්තක වාස්, ධනුෂ්ක ඩයස්, සුරේෂ් හර්ෂජීව ඇතුළු යොවුන් රංගන ශිල්පීන් රැුසක් දායකව ඇත. ගයානි අසිංසලා පියදිගමගේ තිර රචනයට අධ්‍යක්ෂණය කළේ හසුන් සමීරයි. මෙහි ඇතුළත් තේමා ගීතය ද ඔහුගේ පද රචනයකි. කැමරාකරණයෙන් සුමිත් කුමාරගේ, සංස්කරණයෙන් චන්දන ලියනගේ, සංගීත අධ්‍යක්ෂණයෙන් අභිෂේක් වීරසිංහ, ගායනයෙන් නදීශා දයාරත්න, කලා අධ්‍යක්ෂණයෙන් ගිහාන් බාලාරච්චි, අංග රචනයෙන් මධාරා ගොඩගේ, සහය අධ්‍යක්ෂණයෙන් මෙරිල් සුසන්ත, නිෂ්පාදන කළමනාකරණයෙන් රංජන් ප‍්‍රසන්න හා රේඛීය නිෂ්පාදනයෙන් නිරෝෂි හොරණගේ සම්බන්ධව ඇති ‘චලෝ’, රාජ් ප‍්‍රඩක්ෂන් වෙනුවෙන් එස්. රමේෂ් ගේ නිෂ්පාදනයකි.
 
 – තිස්ස

advertistmentadvertistment
advertistmentadvertistment