චාමික කණ්ඩායමට නොගත්තේ ඇයි

567

ලිඛිත වාර්තාවක් කැඳවන ලෙස ඇමැතිගෙන් උපදෙස්

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ලිඛිතව විමසීමක් සිදු කරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බවත්, පසුගිය කාලය තුළ දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගන්නේ උක්ත ආගමික මතවාදයට එකඟ නොවූ නිසා බවට රාවයක් පවතින බවද මන්ත්‍රීවරු එහිදී පැවසූහ.

ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (22 වැනිදා) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ඇමැතිවරයා සහ මන්ත්‍රීවරු මෙම අදහස් දැක්වූහ.

පසුගිය ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය සහිතව විදෙස්ගත වූ නිලධාරින් පිළිබඳ සොයා බැලිය යුතු බවට මෙහිදී අදහස් පළ විය. සියලු පහසුකම් සහිතව දිනකට ඩොලර් 800ක වියදම් මුදලක් එක් අයෙකු වෙත ගෙවා ඇති අතර නිලධාරීන් නොවන පිරිස් ද ඉහත පහසුකම් යටතේ සංචාරයට සහභාගී වී ඇති බවද මන්ත්‍රීවරු සඳහන් කළහ.

එමෙන්ම, T20ල T10 සහ LPL තරගාවලි පැවැත්වීමේදී මුදල් භාවිතය සම්බන්ධව විධිමත් නියාමනයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදු විය යුතු බවද මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.

මෙම රැස්වීමට රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, කාවින්ද ජයවර්ධන, නලින් බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ජගත් සමරවික්‍රම, වීරසුමන වීරසිංහ, සම්පත් අතුකෝරළ, චින්තක මායාදුන්නේ, වරුණ ප්‍රියන්ත ලියනගේ, මොහොමඩ් මුසාම්මිල්, මුජිබර් රහුමාන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment