චැම්පියන්ස් ලීග් ශූරතා පාපන්දු තරගාවලිය: කණ්ඩායම් පහකට ජය

87

මෙරට දෙවන පෙළ ප්‍රබලතම ක්‍රීඩා සමාජ 14 ක සහභාගිත්වයෙන් ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන චැම්පියන්ස් ලීග් ශූරතා පාපන්දු තරගාවලියේ ආරම්භක තරග ආශ්‍රිතව ජයග්‍රහණ වාර්තා කර ගැනීමට මාතර සිටි ක්‍රීඩා සමාජය, නිව් ස්ටාර්ස් ක්‍රීඩා සමාජය, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය, ජාවාලේන් පාපන්දු සමාජය, සුපර් සන් පාපන්දු සමාජය සමත් විය.

ආරම්භක තරග ආශ්‍රිතව බෝඩු ප්‍රින්ස්, හසිත ප්‍රියංකර සහ කැළුම් ප්‍රියංකර ගෝල් 02 බැගින් රැස් කරමින් කැපී පෙනුණි.

ජාවාලේන් ගෝල් 02 පොලිස් ගෝල් 01

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති ජාවාලේන් සහ පොලිස් අතර තරගයෙන් ගෝල් 02 – 01 ක තියුණු ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ජාවාලේන් පිලට හැකි විය. ප්‍රථම භාගය නිමාවන විට ගෝල් 01 – 00 ක් ලෙස පෙරමුණ ගත් ජාවාලේන් පිල නියමිත කාලය නිමා වන විට 02 – 01 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වීම කැපී පෙනුණි. ජාවාලේන් ජයග්‍රහණය වෙනුවෙන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින් 35 වැනි මිනිත්තුවේදී නවීන් ජූඩ් පළමු ගෝලය ද 86 වැනි මිනිත්තුවේදී විදේශීය ක්‍රීඩක ටොෂෝකු ෆ්‍රැන්සිස් දෙවන ගෝලය ද රැස් කළ අතර පරාජිත පිල වෙනුවෙන් සටහන් වූ එකම ගෝලය 90 වැනි මිනිත්තුවේ දී දමිත් පතිරණ වාර්තා කළේය.

සුපර් සන් ගෝල් 02 ෆෙලිකන්ස් ගෝල් 01

ප්‍රථම භාගය අවසාන වන විට ගෝල් 01 – 01 ක් ලෙස සම තත්ත්වයක පසු වූ සුපර් සන් සහ ෆෙලිකන්ස් අතර තරගය සඳහා නියමිත කාලය අවසානයේ ගෝල් 02 – 01 ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සුපර්සන් ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි. සුපර් සන් ජයග්‍රහණය වෙනුවෙන් මනා පන්දු පාලනයක නිරත වූ හසිත ප්‍රියංකර ගෝල් ද්විත්වයම වාර්තා කිරීමට 14 මිනිත්තුවේ දී සහ 83 මිනිත්තුවේ දී සමත් විය. තරගයේ ආරම්භක ගෝලය වාර්තා කිරීමට පරාජිත ෆෙලිකන්ස් කණ්ඩායමේ ජේකුමාර් ශාන්තන් හැකි වූයේ 09 වැනි මිනිත්තුවේ දීය.

මොරගස්මුල්ල ගෝල් 03 ශ්‍රී ලංකා

ගමනාගමන මණ්ඩලය ගෝල් 00

බැද්දගානේ දී පවත්වන ලද එම තරගයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පරාජය කරමින් ගෝල් 03 – 00 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයට හැකි විය. තරගයේ ප්‍රථම භාගය නිමාවන විට ගෝල් තත්ත්වය 01 – 00 කි.

එරන්ද ප්‍රසාද් 02 සහ ඩිල්ෂාන් මධුශංක 01 බැගින් ගෝල් වාර්තා කරමින් කැපී පෙනුණි.

නිව් ස්ටාර්ස් ගෝල් 02 ක්‍රිස්ටල් පැලස් ගෝල් 00

කුරුණෑගල මාලිගාපිටියේ දී ක්‍රිස්ටල් පැලස් පිල පරාජය කරමින් ගෝල් 02 – 00 ක ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට නිව් ස්ටාර්ස් ක්‍රීඩකයන්හට හැකි විය.

ප්‍රථම භාගය තුළ එකදු ගෝලයක් හෝ සටහන් කරගැනීමට නොහැකි වූ නමුත් දෙවන භාගයේ දී ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින් ගෝල් වාර්තා කිරීමට කැළුම් ප්‍රියංකරට හැකි විය. ඒ 65 සහ 88 මිනිත්තුවේදී ය.

මාතර සිටි ගෝල් 02 නිගම්බු යූත්

ගෝල් 01

කොටවිල ජාතික ක්‍රීඩා සංකීර්ණ පිටියේදී පවත් වන ලද තරගයෙන් මීගමුව යූත් කණ්ඩායම පරදා ගෝල් 02 – 01ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සත්කාරක මාතර සිටි ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනුණි.විදේශීය ක්‍රීඩකයකු ලෙස එක්ව සිටින බෝඩු ප්‍රින්ස් ජයග්‍රාහක මාතර සිටි කණ්ඩායම වෙනුවෙන් ගෝල් ද්විත්වයම රැස් කළ අතර පරාජිත පිල වෙනුවෙන් සටහන් වූ එකම ගෝලය කමල් සිල්වාගේ පාදයෙන් වාර්තා වුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

 

advertistmentadvertistment
advertistmentadvertistment