“චැම්පියන්ස් ශූරතා” ලීග් පාපන්දු තරගාවලිය – සෙරන්ඩිබ් ක්‍රීඩා  සමාජය පළමු ජය ලබයි

117

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක ‘චැම්පියන්ස් ශූරතා’ ලීග් පාපන්දු තරගාවලියේ තෙවැනි දිනය වූ පෙරේදා (05 දා) පැවැති තරග ආශ්‍රිතව ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ. සෝන්ඩර්ස් සහ සොලීඩ් අතර පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙවර තරගාවලියේ පළමු ගෝල් ත්‍රිත්ව ලාභියා බවට පත්වන්නට සෙරෙන්ඩිබ් ක්‍රීඩා සමාජය නියෝජනය කළ විදේශීය ක්‍රීඩක ‘අසන්ටේ එවන්ස්’ ට හැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සෙන්ට් මේරිස් පිලට එරෙහිව ගෝල් 04 – 00 ක පහසු ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට සෙරෙන්ඩිබ් පිලට හැකි විය.

මෙම තරගයේ පළමු ගෝලය ප්‍රතිවාදී කණ්ඩායමේ ඇන්තනි පිල්ලේ ක්ලිටාස් ගේ අත් වැරදීමකින් ගෝලය තුළට යොමු වීම හේතුවෙන් සෙරෙන්ඩිබ් පිලට හිමි වූ අතර කේ. කුෂාන් ඉන්දික මහතා විසින් විනිශ්චය කරන ලද මෙම තරගය කුරුණෑගල මාලිගාපිටියේ දී පැවැත්වුණි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සහ සොලීඩ් ක්‍රීඩා සමාජය අතර තරගය ගෝල් 01 – 01 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා විය. තරගයේ පළමු භාගය නිම වන විට ගෝල් 01 – 00 ක් ලෙස පෙරමුණ ගැනීමට සෝන්ඩර්ස් පිලට හැකි වුවද දෙවන භාගයේ දී ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සොලීඩ් ක්‍රීඩා සමාජයට හැකි විය. තරගය ඇරඹී 16 වැනි මිනිත්තුවේ දී ක්‍රිශාන්ත අබේසේකර පළමු ගෝලය සෝන්ඩර්ස් පිල වෙනුවෙන් වාර්තා කළ අතර 55 වැනි මිනිත්තුවේ දී සොලීඩ් පිල වෙනුවෙන් එකම ගෝලය සුමිත් මධුරංග රැස් කළේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment