චිත‍්‍රපටයේ කාටවත් නොපෙනෙන කෑල්ලක් තියෙනවා – එම්. සෆීර්

312

ඔහු මෙරට වේදිකාවට වඩා ජාත්‍යන්තර වේදිකාවේ නමක් දිනා සිටින අයකු ලෙස හැඳින්විය හැකිය. තවද ඔහු මෙරට වේදිකා නාට්‍ය කලාව උඩු යටිකුරු කළ සම්මානනීය නාට්‍යකරුවෙකි. කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල, බ්ලැක් බොක්ස් රඟහල සංකල්පය ඔහුගේය. විවිධ මානයන් ඔස්සේ වේදිකාව හරහා තම දක්‍ෂතා පෙන්වූ මේ නාට්‍යකරුවා නමින් එම්. සෆීර්ය.

 වත්මනේ ඔහු සිනමාවට අවතීර්ණ වී තිබේ. ඔහුගේ කුළුදුල් සිනමා නිර්මාණය ‘‘මම නෙමෙයි’’ වේ. නාට්‍යකරුවකු වූ සෆීර් සිනමාකරුවකු වීම නිසා ඉන් පසු ඔහු මුහුණ දෙන අභියෝග පිළිබඳව ‘මීවිත’ හමුවේ තම කතාබහ ඇරඹුවේ මෙලෙසිනි.

 * ඔබේ කුළුඳුල් සිනමා නිර්මාණය ටිකක් වෙනස් තේමාවක් යටතේ නිර්මාණය කරන්න හිතුවේ ඇයි?

 මගේ කලාවේ උත්පත්තිය තියෙන්නේ නාට්‍ය කලාවත් එක්කනේ. එතකොට මම නාට්‍ය කලාව ඇතුළෙත් දශක තුනක් තිස්සේ උත්සාහ කළෙත් හැමදාම දැකපු දෙයින් එහාට ගිය වැඩක් කරන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට මගේ මුල් කාලයේ පළමු නාට්‍ය හෝ දෙක හැර ඊට පස්සේ කරපු නාට්‍ය හතළිස් ගණනාවම හැම වෙලාවෙම කළේ වෙනසක් ඇතිව සිදුකරන්න. එතකොට මේ සිනමා කෘතිය ඇතුළෙත් මම උත්සාහ කළේ අපි හැමදාම දන්න සාම්ප‍්‍රදායික දේ කරන්නේ නැතිව වෙන විදිහකට මට ඕනෑ දේ කියන්න සිනමාව භාවිතා කරන්න පුළුවන්ද කියන උත්සාහය තමයි දැරුවේ. ඉතිං ඒකෙදි මම ගොඩක් දේවල් සිදුකළා. මීට කලින් සිනමාකාරයෙක් නොවුණට මම සමහරක් දේවල් දැනගෙනයි සිදුකළේ. මම ඉතාම ප‍්‍රබල නළු නිළියෝ දෙදෙනෙක් භාවිතා කරනවා මගේ වැඬේට.

චිත‍්‍රපටයේ කාටවත් නොපෙනෙන කෑල්ලක් තියෙනවා - එම්.  සෆීර්



 * ඒ උත්සාහය සාර්ථක වෙයි කියලා හිතෙනවාද? අනික තේරුම් ගැනීමේ හැකියාව පිළිබඳවත් ගැටලූවක් තියෙනවා නේද?

 නැහැ. මෙහෙමයි මට ඕකට දෙන්න තියෙන උත්තරය ටිකක් වෙනස්. මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න මට තේරෙන්නේ නැහැ. ඒක මේ කතාව තිරගත කරලා තමයි බලන්න වෙන්නේ. මට කරන්න පුළුවන් යමක් කරන්න විතරයිනේ. මිනිස්සුන්ට තේරුම් ගන්න ඕනෑ කියලා, මිනිස්සුන්ට ඕනෑ දේම මම කළ යුතුද? දැන් ඕක ටිකක් අභියෝගාත්මක කෑල්ලක්නේ. මිනිස්සුන්ට තේරෙන්නම මම මගේ සියලූ දේවල් කරන්නම ඕනෑද? නමුත් මගේ උත්සාහය ඇතුලේ තිබුණේ වෙනසක් කරන්න. මම විශ්වාස කරනවා ඒ වෙනස පේ‍්‍රක්‍ෂකයා පිළිගනීවි කියලා.

 * සංජීව උපේන්ද්‍ර සහ දිල්හානි ඒකනායක වැනි ප‍්‍රබල චරිත දෙකක් මේ සිනමා නිර්මාණයට භාවිතා කළේ ඇයි?

 ඒක අහඹු ලෙස සිදුවුණ දෙයක් නෙමෙයි. මුල සිටම ඒ අදහස තිබුණා. මොකද ‘‘මම නෙවෙයි’’ චිත‍්‍රපටයේ පිටපත් රචකයාත් මම. මේ පිටපත ලියනකොට රියැදුරාගේ චරිතයට මගේ ඔළුවේ ඇඳුණ චරිතය තමයි සංජීව. එතකොට සංජීව සහ මගේ මිතුරුකම වගේම කලාවේ තිබෙන ගනුදෙනුවට දශක තුනක් විතර වෙනවා. එතකොට කාන්තා චරිතයට මේ පිටපත ලියන මොහොතේ සිටම මගේ ඔළුවේ තිබුණ චරිතය තමයි දිල්හානි ඒකනායක. හැබැයි මීට කලින් මට දිල්හානිව නිර්මාණයකදී මුණගැසිලා නැහැ. ඔවුන් දෙදෙනාම වැඬේට බොහොම කැපවුණා. ඒ කැපවීම නිසාම මම යම්කිසි සාර්ථකත්වයක් ලැබුවා කියලයි මට හිතෙන්නේ.

 * ඔබ සිනමාවට වෙනස්ම හැඩයක් දෙන්න ද උත්සාහ දරන්නේ?

 ලෝකයේ හැම වෙලාවේම කලාව හෝ වේවා විiාව හෝ වේවා සියල්ල වෙනස් වුණේ කවුරු හෝ කෙනෙක් කොතැනින් හරි වෙනස් කරන්න හැදීම තුළයි. අපි සම්ප‍්‍රදායිකව හිතුවොත් එහෙම රයිට් සහෝදරයෝ සොයාගත්තු ෆ්ලයිට් එක තමයි ලෝකයේ අන්තිම එක කියලා අපි තවමත් රයිට් සහෝදරයන් ගේ ෆ්ලයිට් එකේ දෙන්නෙක් තමයි යන්නේ. හැබැයි මිනිස්සු ඊට වඩා වෙනස් විදිහට හිතන්න ගත්තහම දැන් මිනිස්සු හත්අටසියයක් යන්න පුළුවන් එයාර් බස් මට්ටම වෙනකම් දියුණු වෙලා තියෙනවා. මම නාට්‍ය කලාව ඇතුළෙත් කළේම ඒකම තමයි. දර්ශන වාර සියයක් දුවපු නාට්‍ය මගේ ජීවිතයේ නැති වුණාට, හැබැයි මම විසින් කරපු දේවල් හරහා සමාජයට අලූත් දෙයක් ලැබිලා තියෙනවා. නව පරම්පරාවට උත්තේජනයක් දීලා තියෙනවා නාට්‍ය කලාව ඇතුළේ. චිත‍්‍රපටය ඇතුළෙත් මම උත්සාහ කරන්නේ හැමදාම දකින වට්ටෝරුවෙන් එහාට මට යන්න පුළුවන්ද, බැරිද කියන කාරණාව ගැන සොයා බලන්නයි. එක කොටසකට සාර්ථක වෙන්න පුළුවන් තවත් කොටසකට අසාර්ථක වෙන්න පුළුවන්. සමහර වෙලාවට සිනමාව දන්න අයට ඔවුන්ගේ රාමුවේ නැති හින්ද ඒක සිනමා කෘතියක් නොවේ කියලා කියන්න පුළුවන්. සිනමාව නොදන්න අයට සමහර වෙලාවට වෙනස් විදිහේ කෘතියක් වෙන්න පුළුවන්. ලෝකයේ චිත‍්‍රපට කියන දේවල් බැලූවහමත් එහෙමනේ. චිත‍්‍රපටයක් වේවා, වේදිකා නාට්‍යයක් වේවා මේ හැම එකකම වැඩි පිරිසක් දාගත්තහම ඒ නිර්මාණය ඇතුළේ ඉතාම වෙනස් විදිහේ විවිධත්වයන් මතු කරන්න පුළුවන්නේ. එතකොට නළුවෙක් දෙන්නෙක් දාගත්තහම මට තියෙන උපරිම සම්පත ඒකනේ. ඒකත් එක්ක වැඩ කිරීම ඇතුළේ මට පුදුමාකාර වෙහෙසක්, පුදුමාකාර විදිහට හිතන්න එපායැ මම කොහොමද මේ ගොල්ලන්ගෙන් වැඩ කරගන්නේ කියලා. නාට්‍ය කලාවෙත් එහෙමයි. මම හදන බොහෝ නාට්‍යවල ඉන්නේ එක නළුවයි. ඒක ‘‘මොනෝ ඩ‍්‍රාමා’’ කියලා කියන්නේ. කාලානුරූපීව සමහරක් දේවල් කරන්න අමාරු වුණහම මට විකල්ප හොයාගන්න වෙනවා. ඉතිං ඒ වගේ විකල්ප ඇතුළේ තමයි මෙන්න මේ සිනමා කෘතියත් බිහිවෙන්නේ. මට මේ චිත‍්‍රපටය ඇතුළේ කියන්න ඕනෑ දෙයට මම පාවිච්චි කළේ ප‍්‍රධාන වශයෙන් නළුවෝ දෙන්නෙක් විතරයි. හැබැයි මේ චිත‍්‍රපටයේ කාටවත් නොපෙනෙන කෑල්ලක් තියෙනවා. අපි යන්නේ විවෘත ජීප් රථයකනේ. හැබැයි අති විශාල පොදු සමාජයම මේ චිත‍්‍රපටය ඇතුළේ ඉන්නවා. කාටවත් ඒක තවම අහුවෙලා නෑ, ඔවුනුත් රඟනොපෑවට මේ චිත‍්‍රපටය ඇතුළේ නළුවෝ තමයි.

 * අභියෝග රැසක් මැද නේද ඔබට මේ චිත‍්‍රපටය තිරගත කරන්න වෙන්නේ. අනික සිනමාවේ හෙට දවස ඔබ හිතන තරම් සුබ නැහැ නේද?

 ලංකාවේ කලාව වේවා, සිනමාව වේවා මේ කිසි එකක්වත් අපිට සුබ නැහැනේ. නමුත් අපිට වෙලා තියෙනවා ඒ සුබනැති එක ඇතුළෙත් අපිට අපේ ප‍්‍රකාශනයන් අපේ මතවාදී අදහස් ඉදිරිපත් කරන්න. මේ මාධ්‍යයන් භාවිතා කරන්න. අපි ඕක එදා ඉඳන් කියනවා. නාට්‍ය කලාව වෘත්තීය වෙන්න ඕනෑ. චිත‍්‍රපට කලාව කර්මාන්තයක් වෙන්න ඕනෑ.

චිත‍්‍රපටයේ කාටවත් නොපෙනෙන කෑල්ලක් තියෙනවා - එම්.  සෆීර්



 ඒවා සිද්ධවෙන්නේ නැහැනේ. එතකොට අවුරුදු 70ක් තිස්සේ ඒවා සිද්ධවෙන්නේ නැතිනම් අපිට අපේ ප‍්‍රකාශන ඉදිරිපත් කරන්න විවිධ මාධ්‍ය හොයාගන්න සිද්ධ වෙනවා. මම දැන් චිත‍්‍රපටය හදලා ඉවරයි. දැන් මම දන්නේ නැහැනේ මට මේක ලංකාවේ කවදා කොහොම පෙන්වන්න පුළුවන් වෙයිද කියලා. නමුත් නිර්මාණකරණය කියන්නේ එකක්. අනෙක් පැත්ත කියන්නේ තවත් එකක්. ඉතිං ඒ හින්දා මම කියන්නේ නිර්මාණකරණය ඇතුළේ අපි හැමෝම කැමැතියි අතිවිශාල

 පේ‍්‍රක්‍ෂකාගාරයක් බලනවාට. නමුත් මට තේරෙන විදිහට ලංකාවේ දැනට චිත‍්‍රපට ශාලා සියයක්වත් නැහැ. හැබැයි එක්දහස් නවසිය අනූ ගණන් වෙනකොට සිනමාශාලා තුන්දහසකට ආසන්න ප‍්‍රමාණයක් තිබුණා. රටේ අවුරුදු විසිපහකට පස්සේ සිනමාශාලා සියයකට විතර අඩු වුණේ මොන හේතුවකින්ද කියලා මමත් හොයනවා. රංගනශාලාත් එහෙමයි. දශක දෙකක් තිස්සේ නාට්‍යශාලා දහයක් හැදිලා නැහැ. හැබැයි ඊට වඩා වැඩි ප‍්‍රමාණයක් වැහිලා තියෙනවා. එතකොට මේ සඳහා අපි හැමෝටම යම් ආකාරයක උත්තර බැඳීමක් සිදු කරන්න වෙනවා. නමුත් ඒක ඇතුළෙත් අපිට මේ අභියෝග සියල්ල මැද්දේ යන්න සිදුවෙනවා. මෙන්න මේ අර්බුද තියෙනවා කියලා නිර්මාණකරණය නවත්වන එකනේ ලේසිම දේ. හැබැයි අපි ඒක ඇතුළේ නියැලී සිටීම ම තමයි නිර්මාණකරුවකුගේ වගකීම. අපි චිත‍්‍රපටයකට ලොකු මුදලක් වියදම් කරනවා. ඒ මුදල නැවත පියවා ගන්න බැරි වුණොත් ඒ මුදල් වියදම් කරපු අයට ලොකු ගැටලූවක් වෙනවානේ. ඉතිං අපිට ඒ අභියෝගය තියෙනවා. ආයෝජනය කරපු මුදලවත් හොයාගන්න පුළුවන්ද කියන ගැටලූව තියෙනවා. ඒවාට එක එක කාලවල දී විවිධ ක‍්‍රමවේද අපි භාවිතා කරලා බලනවා. සමහර ඒවා සාර්ථක වෙනවා. තවත් සමහර ඒවා සාර්ථක වෙන්නේ නැහැ.

 * ඔබගේ වේදිකාවේ වැඩකටයුතු එහෙම කොහොමද?

 වේදිකාව කියන්නේ මගේ ප‍්‍රධාන ධාරාවනේ. කි‍්‍රස්තු පූර්ව දෙවැනි සියවසෙන් පටන් ගත්තු නාට්‍ය කලාවනේ අදටත් තියෙන්නේ. හැබැයි ඉතිං නාට්‍ය කලාව තවම යනවා. ලංකාව වගේ රටක මහා පරිමාණයෙන් නොවුණාට ලෝකයේ අනෙක් රටවල නාට්‍ය කලාව යනවා. චිත‍්‍රපට කියන මාතෘකාව ලෝකයට ඇවිත් අවුරුදු සියයක් දෙසීයක් විතර කාලයක්නේ ගතවෙලා තියෙන්නේ.

 මගේ නාට්‍ය කලාව ඇතුළේ මේ කතාකරන මොහොත දක්වා පැය කිහිපයකට පස්සේ මම ලංකාවෙන් පිටත්වෙනවා. මගේ අලූත් නාට්‍ය තුර්කියේ ‘‘ආදානා’’ කියන ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ ප‍්‍රදර්ශනය කිරීම සඳහා. දැන් අපි ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර නාට්‍ය උළෙලකදී උළෙලේ හොඳම නාට්‍ය බවට පත්වෙන්න පුළුවන් වුණා. අපේ ආයතනයෙන් හදපු සුජීව පතිරසේකර අධ්‍යක්‍ෂණය කරපු ‘අන්ටච්’ කියන නාට්‍ය. මේ නාට්‍ය ලෝකයේ නාට්‍ය තුන්සිය දෙකකින් හොඳම නාට්‍ය බවට පත්වුණා. මගේ අලූත්ම වේදිකා නිර්මාණය වන ‘ඈන්ක් ෆ‍්‍රෑන්ක්’ රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටයට ප‍්‍රදර්ශනය සිදුකළා. රාජ්‍ය නාට්‍ය උළෙලත් එක්තරා විදිහක විහිළුවක් කියලත් හිතෙනවා. මට දැන් රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍ය ඉදිරිපත් කරන්න වුවමනාවක් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සම්මාන නොලැබෙන හින්දා මම රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍ය කරන්නේ නැහැ කියලා. නමුත් රාජ්‍ය නාට්‍ය උළෙලේ මෙවර ලෝකයේ වෙන්න බැරි සමහරක් දේවල් තියෙනවනේ. හැබැයි ඒවා ලංකාවේ වෙනවා.

 * ඇයි ඔබ එවැනි ප‍්‍රකාශයක් සිදුකරන්නේ?

 මම මේ කතාව බොහොම වගකීමෙන් කියන්නේ. රාජ්‍ය නාට්‍ය උළෙලක අවසාන වටයට නාට්‍ය දහයක් තෝරා ගත්තාට පස්සේ විනිශ්චයන්වල දී වෙන්න ඕනෑ ඉතා ප‍්‍රශස්ත මට්ටමේ නිර්මාණ එළියට ගැනීමයි. ඕනෑම සම්මාන උළෙලකදී බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේනේ. එතකොට මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී ප‍්‍රධාන සම්මාන තුනක් පරිසාදිත මට්ටමට ලංවෙලා නැහැ කියලා සම්මාන දෙන්නේ නැහැ. දැන් ඒ පරිසාදිත මට්ටම කියන එක මොකක්ද? මේ වසරේ ස්වතන්ත‍්‍ර නාට්‍යයක් නැහැ. වසරේ හොඳම පසුතල නිර්මාණයක් නැහැ. හොඳම රංග වින්‍යාසයක් නැහැ. එතකොට කොහොමද උළෙලේ හොඳම අධ්‍යක්‍ෂවරයෙක් ඉන්නේ. උළෙලේ කොහොමද හොඳම නළුවෙක් ඉන්නේ. හොඳම නිළියක් ඉන්නේ කොහොමද? උළෙලේ හොඳම අධ්‍යක්‍ෂවරයා බිහිවෙන්නේ හොඳ පිටපතකින්. පිටපත හොඳ නැතිනම් ඔහු කොහොමද හොඳම අධ්‍යක්‍ෂවරයා වෙන්නේ. කොරියෝ ග‍්‍රාෆ් කියන්නේ නැටුම්ද? රංග වින්‍යාසය කියන්නේ නැටුම් නෙමෙයි. වේදිකා නාට්‍ය කලාවේ රංග වින්‍යාසය කියලා කියන්නේ අධ්‍යක්‍ෂවරයාගේ නිර්මාණයට අවශ්‍ය කරන රිද්මයානුකූල හැඩය හදන එක තමයි රංග වින්‍යාසය කියන්නේ. අධ්‍යක්‍ෂවරයා කරන්නේ නාට්‍යයේ පිටපත සහ නළු නිළියන් මෙහෙයවන එකයි. ඒකට රංගාවලෝකය වෙනම උදව් කරනවා. ඇඳුම් නිර්මාණය වෙනම උදව් කරනවා. සංගීතය වෙනම උදව් කරනවා. එතකොට සාපේක්‍ෂව නාට්‍ය දහයක් අවසාන වටයට තෝරගන්නේ නාට්‍ය පනහකින් විතර නම් මේ අගය ඇතුළෙන් පරිසාදිත මට්ටමට නැතිනම් මොන දෙයකටද මේ නාට්‍ය අවසන් වටයට තේරා ගත්තේ. මට තියෙන ප‍්‍රශ්නය ඒකයි.

 * අද වෙනකොට ඔබේ මේ ගැටලූවලට නිසි පිළිතුරු ලැබිලා තියෙනවාද?

 නැහැනේ. දැන් ලංකා ඉතිහාසයේම වෙච්ච විදිහට නාට්‍ය උළෙලත් ඉවරවෙනවා. ඉවර වුණහම විනිශ්චය තීරණවලට කෑගහනවා. නැවත ලබන වසරේ ආපහු නාට්‍ය උළෙල සිදුකරනවා. නමුත් අපි කියන්නේ මේ නාට්‍ය කලාව ඇතුළේ ප‍්‍රතිපත්ති හැදෙන්න එපායැ ප‍්‍රතිපත්ති නැතිව මුකුත්ම කරන්න බැහැ.

 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment