චිත්‍රපටි සංස්ථාවට තිබ්බ කෝටි 12ක පොල්ල

59

හිඟ මුදල කෝටි 37යි

කෝටි 33ක් අධිභාර ණය සහ බොල් ණය ලෙස කපාහැරලා

අපේ රටේ ඇති සංස්ථා, මණ්ඩල, අධිකාරි හා රාජ්‍ය ආයතන වැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන යන්නේ පාඩු පිටය. මේ අතර ශ්‍රී ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාව ද මේ වන විට බංකොළොත් තත්ත්වයට පත්ව තිබේ. සිනමා ශාලා අලුත්වැඩියා කිරීම සඳහා ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට රුපියල් 68,456,027ක මුදලක් සිනමාශාලා 69ක් සඳහා ලබා දී තිබුණි. කෙසේ වුවද එකී ණය මුදල් සිනමාශාලා හිමිකරුවන්ගෙන් අයකර ගැනීම සඳහා ලිඛිතව දැනුම් දුන්නද සිනමාශාලා වසා දැමීම, කඩා ඉවත්කිරීම, සිනමාශාල එම ලිපිනයන්වල නොමැති වීම නිසා චිත්‍රපටි සංස්ථාව ගැටලු රැසකට ලක්ව ඇත. මේ නිසා සිනමාහල් හිමිකරුවන් වෙත යවනු ලැබූ ලිපි 27ක් ආපසු සංස්ථාව වෙතම ලැබී තිබුණි.

එම සිනමාශාලා 27 තුළින් සංස්ථාවට අයකර ගැනීමට නොහැකිව ඇති මුදල රුපියල් 23,380,463කි. ඉකුත් වර්ෂයේ අවසානය වනවිට චිත්‍රපට නිෂ්පාදකයන් 105 දෙනකුගෙන් අයවිය යුතු ණය මුදල රුපියල් 71,334,541කි. මෙකී ණය මුදල් අය කරගැනීම සඳහා චිත්‍රපට සංස්ථාව විසින් අදාළ ණය ගැතියන් වෙත ලිපි මගින් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබීය. එහෙත් චිත්‍රපට නිෂ්පාදකයන් 22 දෙනකු අදාළ ලිපි භාරගෙන නොතිබුණි. ඔවුන් විවිධ හේතු ඉදිරිපත් කොට තිබුණි. මේ නිසා මෙකී චිත්‍රපට නිෂ්පාදකයන්ගෙන් සංස්ථාවට අයකරගත නොහැකි මුදල රුපියල් 20,401,950කි.

ඒ විතරක් නොව ජාතික විගණන කාර්යාලය පවසන ආකාරයට ජාතික චිත්‍රපට සංවර්ධන අරමුදල මගින් චිත්‍රපටි නිෂ්පාදනය හා සිනමාශාලා සඳහා රුපියල් හත්කෝටි තිස්එක්ලක්ෂ පනස්පන්දහස් හත්සිය විසිහතරක (73,155,724) ණය මුදලක් ලබාදී ඇතත් ඉන් බොල් ණය හා අඩමාන ණය ලෙස රුපියල් 67,268,372ක් කපාහැර තිබුණි. ඉකුත් වර්ෂයේ (2021) දෙසැම්බර් මස 31දිනට ඉන් සියයට 92ක් ණය ගැතියන්ගෙන් අයකරගත නොහැකි ණය ලෙස හඳුනාගෙන තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් අනාවරණය කොට ඇත. බොල් ණය හා අඩමාන ණය ලෙස වෙන්කිරීම නිසා ශුද්ධ ණයගැතියන් රුපියල් 5,887,352ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

කළමනාකරණය මගින් ණය අයකරගැනීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හා කළමනාකරණ අකාර්යක්ෂමතා මේ සඳහා හේතුවී ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ. චිත්‍රපටි කර්මාන්තය සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම අරමුදල පිහිටුවා තිබුණි. ඉකුත් වර්ෂය තුළ (2021) පාලක මණ්ඩල රැස්වීම් 02ක් පවත්වා තිබුණද සිනමා කර්මාන්තයේ උන්නතිය උදෙසා සක්‍රීය දායකත්වයක් ඉකුත් වර්ෂය තුළ මෙකී අරමුදල මගින් ලබාදීමට අවශ්‍ය තීරණගෙන නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ණය මුදල් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර අයකර ගැනීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

එමෙන්ම චිත්‍රපට නිෂ්පාදනය හා සිනමාශාලා නවීකරණය සඳහා ලබා දී ඇති ණය මුදල්වලින් රුපියල් දොළොස්කොටි, තිස්ලක්ෂ, හැටදහස් හත්සිය දහතුනක මුදලක් (123,060,713) ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව වෙත අයවීමට ඇති බව විගණන වාර්තාවලින් අනාවරණය කොට තිබේ. අයවීමට ඇති මෙකී ණය මුදල මුළු ණය ගැතියන්ගෙන් සියයට 27ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට චිත්‍රපට නිෂ්පාදනය හා සිනමාශාලා නවීකරණය කිරීම සඳහා ලබාදී ඇති ණය මුදල රුපියල් අටකෝටි දාහතරලක්ෂ, අනූනමදහස් නමසිය පහකි (81,499,905) මේ වනවිට ලැබිය යුතු හිඟ මුදල රුපියල් තිස්හත්කෝටි, පනස්ලක්ෂ, තුන්දහස් නමසිය හතළිහකි. (375,003,940) සංස්ථාවට හිඟ මුදල්ද ඇතුළුව ලැබිය යුතු මුළු මුදල රුපියල් හතළිස්පන්කෝටි, හැටපන්ලක්ෂ, තුන්දහස් අටසිය හතළිස්පහකි (456,503,845).

කෙසේ වුවද සංස්ථාවට ලැබිය යුතු මෙම මුදලින් රුපියල් තිස්තුන්කෝටි, තිස්හතරලක්ෂ, හතළිස්තුන්දහස්, එකසිය තිස්දෙකක (333,443,132) මුදලක් අධිභාර හා අඩමාන ණය ලෙස වෙන්කොට තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. සංස්ථාවට අයවිය යුතු හිඟ මුදල් අයකරගැනීම සඳහා 2021 වර්ෂයේ දී හිඟමුදල් අයකර ගැනීමේ කමිටුවක්ද පත්කොට තිබුණි. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින්ද ආසන්න වසර 10ක හිඟ ණය සහ හිඟ මුදල් විධිමත් ක්‍රමවේදයකට අනුව උපදෙස් ලබා දී තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. හිඟ මුදල් අයකර ගැනීමේ කමිටු නිර්දේශය 2022 වර්ෂයේ විගණිත දිනය වනවිටද නිකුත්කර නොතිබුණි.

ණය වාරික හා පොලී අයකර ගැනීම පිළිබඳ වූ ක්‍රියාවලිය ඉහළ කළමනාකරණය විසින් විධිමත් හා කාර්යක්ෂම ලෙස කළයුතුව ඇති බව විගණනය මගින් නිර්දේශකොට ඇත. ඉදිරියේ දී ලබාදෙනු ලබන ණය බොල් ණය නොවී අයකර ගැනීමට කටයුතු කළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත. චිත්‍රපටි නිෂ්පාදන හා සිනමාශාලා නවීකරණය කිරීම සඳහා 2021 වර්ෂය තුළ ගිවිසුම්ගතව ණය නිකුත්කර නොතිබූ බව සංස්ථාවේ කළමනාකාරීත්වය විසින් විගණනයට දන්වා ඇති අතර හිඟ මුදල් අයකර ගැනීම සඳහා අදාළ සෑම පියවරක්ම ගැනීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කොට ඇත.

එමෙන්ම චිත්‍රපට සංස්ථාවට අයත් දෙමහල් ගොඩනැඟිල්ලේ පළමු මහල බදු කුලී පදනම මත රූපවාහිනි ආයතනය වෙත ලබා දී තිබුණි. බදු ගිවිසුම අනුව මසකට රුපියල් 315,000ක මුදලකට මෙකී ගොඩනැඟිල්ලේ පළමු මහල සැලසිනේ රූපවාහිනි ආයතනය වෙත ලබා දී තිබුණි. කෙසේ වුවද 2019 වර්ෂයේ ජනවාරි මස 14 දින සිට බදු ගිවිසුම යාවත්කාලීන කර නොතිබුණි. සංස්ථාවට හිඟ බදු කුලී වශයෙන් රුපියල් 12,111,000 මුදලක් මෙකී ගොඩනැඟිල්ලෙන් අයවීමට තිබුණි. කෙසේ වුවද මෙකී ගොඩනැඟිල්ලේ පළමු මහල 2022 වර්ෂයේ මාර්තු මස 28 වැනිදින නැවන සංස්ථාව වෙත භාර දී තිබුණි. එහෙත් 2022 වර්ෂයේ ඔක්තෝබර් මස දක්වා මෙකී හිඟ බදු මුදල අයවීමට තිබුණි. එමෙන්ම මෙකී ගොඩනැඟිල්ල ඵලදායී කාර්යයකට යොදවා නොතිබුණි. සංස්ථාවේ වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණ ප්‍රකාරව මෙකී හිඟ මුදල බදු ගැනුම්කරුගෙන් අයකර ගැනීමට ගිවිසුම අනුව කටයුතු කළයුතු බව විගණනය මගින් නිර්දේශ කොට තිබුණි. අත්සන් කළ පාර්ශ්වයක් ලෙස සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වය අදාළ ගිවිසුමේ ක්‍රියාවේ යෙදීමටත් කටයුතු කළයුතුය.

එමෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් සංස්ථා පරිශ්‍රය තුළ කෞතුකාගාරයක් හා පුස්තකාලයක් ඉදිකිරීමට ඉදිකිරීම් හා උපදේශනාත්මක ගාස්තු ලෙස රුපියල් 99,965,061 ඇස්තමේන්තුගත කොට තිබුණි. මෙහි ඉදිකිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පවරාදීමට ගිවිසුමකටද එළඹ තිබුණි. මෙහි ඉදිකිරීම් 2019 වර්ෂයේ අප්‍රේල් මස 05 වැනිදින ආරම්භකොට තිබුණි. නාගරික සංවර්ධන අධිකාරියේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් රහිතව ආරම්භ කළ මෙම ඉදිකිරීම වෙනුවෙන් 2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට රුපියල් 3,134,107ක ගෙවීම් කොට තිබුණි. එහෙත් මෙකී ඉදිකිරීම් වසර 03කට වැඩි කාලයක සිට අත්හැරදමා තිබූ අතර ඉදිකිරීම් ආරම්භ කළ මෙකී ගොඩනැඟිල්ලේ ඇති යකඩ කූරු දිරාපත් වෙමින් පැවතුණි. ගොඩනැඟිල්ලද දිරාපත් වෙමින් තිබුණි.

ප්‍රසම්පාදන තීරණය අනුව අමාත්‍ය මණ්ඩල සංදේශ කෙටුම්පතක් 2020 වර්ෂයේ දී රේඛීය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළද අමාත්‍යාංශය මගින් ඉදිරි කටයුතු සිදුනොවීම නිසා ව්‍යාපෘතිය අතරමග නතරවී තිබූ බව සංස්ථාව විසින් විගණනයට සඳහන් කොට තිබුණි.

ජාතික චිත්‍රපට සංස්ථාව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment