චිත්‍ර හොරකමේ යන්නේ රසික හොරුද හොර රසිකයෝද?

57

දෛනිකව දේශපාලන බැණ අඬ ගසා ගැනීම්වලින් කණ පුරවා ගන්නට සිදුව ඇති මේ කාලයේ තරමක් අපූර්ව පුවතක් ඉදිරිපත් කරන්නට ලංකාසර වෙබ් අඩවිය කටයුතු කර තිබේ.

එය නම් මෙරටේ ප්‍රකට දේශපාලඥයකුද, ආරක්ෂක ඇමැති ධුරයද හෙබවූ හිටපු ඇමැතිවරයකු හා වත්මන් ජනාධිපතිතුමාගේ උපදේශකවරයකු ද වන රුවන් විජයවර්ධන මහතා සතු වටිනා කලා කෘති හතක් මෙන්ම ලක්ෂ දහතුනක් වටිනා ඔරලෝසුවක්ද සොරු ගෙන ගොස් ඇති බවය.

අනෙකුත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය කිසිවකින් දකින්නට හෝ අසන්නට නොලැබුනු මෙම පුවත තරමක් අපූර්ව එකකැයි අප සඳහන් කරන්නේ විජයවර්ධන මහතාගේ නිවසින් ඒවා සොරකම් කිරීමට තරම් මෙකී චෞරයන් දක්ෂයන් වීම ගැන සිතා නොවේ. එම ආරංචිය අප තුළ සොරකම මෙන්ම කලාව අරබයාද සංකීර්ණ මනෝභාවයක් ඇති කරවන්නට සමත් වන බැවිනි.

ඉන් ප්‍රධාන වන්නේ සිතුවමක් රස විඳීම කෙසේ වෙතත් පතල් කවියක් පිළිබඳව පවා සංවේදී කමක් ඇති බවක්, කරන කියන දේවලින් නිරූපණය නොවන්නවුන් බහුල වර්තමාන දේශපාලන සංස්කෘතිය තුළ, එහි දැවැන්තයකු සම්භාව්‍ය චිත්‍ර රස විඳින්නකු බව දැන ගන්නට ලැබීම සතුටට කරුණක් වන බැවිනි.

චිත්‍ර හොරකමේ යන්නේ රසික හොරුද හොර රසිකයෝද?

ඊළඟ කාරණය වන්නේ හොරකම සඳහා හෝ චිත්‍රයක වටිනාකම දන්නා චෞරයන් මේ සමාජයේ සිටින බව දැන ගන්නට ලැබීමය.

මන්ද යත් දැනට දශකයකට පමණ පෙර එවැනි හොරුන් නොසිටි බැවිනි. ඒ දිනවල ශ්‍රී ලංකාවේ සුප්‍රකට චිත්‍ර ශිල්පියකුගේ ගෙට වැදුණු හොරෙකු ශිල්පියා විසින් ලක්ෂයකට ඔබ්බෙන් මිල කර විකුණන චිත්‍ර එකකටවත් අත නොතබා, සෙසු බොහෝ දේ රැගෙන ගොස් තිබූ බැවිනි.

චිත්‍ර ඇඳීමේ යෙදෙන යහළුවා තරහවේ යැයි සිතා ඔහුගේ ප්‍රදර්ශනයට ගොස් විනාඩි දහයක් ඇතුළත අනර්ඝයි යනුවෙන් සටහනක් ලියා එළියට එන අප කාටත් සිතුවම් පිළිබඳව ඇත්තේ අල්ප රසිකත්වයක් බව මෙවැනි පුවතක් හමුවේ හෝ පිළිගත යුත්තකි. අපට මෙය පුවතක් නොවන්නේ එහෙයින් විනා, කණ පිරෙන්නට දේශපාලන බැණ අඬගසා ගැනීම් ඇති නිසා නොවේ. චිත්‍ර ගැන කතාව අපගේ රස වින්දන සීමාවෙන් ඔබ්බෙහි පිහිටි දෙයක් ලෙස සලකන බැවිනි.

නමුත් සිතුවමක් යනු අප්‍රමාණ වටිනාකමකින් යුතු දෙයක් ලෙස රසිකයන් මෙන්ම චෞරයන්ද එකසේ දන්නා යුරෝපය ප්‍රමුඛ බටහිරදී, චිත්‍රයට හිමි වටිනාකම එයට ලැබීම තරමටම එය සොරුන් අතට පත්වීමේ තර්ජනයද ඉතා බලවත්ය.

මේ නිසා ඉතිහාසය මුළුල්ලේ ලෝක උරුමයක් බවට පත් වූ අසමසම සිතුවම් රාශියක් අද වන විට සොරුන් අතට පත්ව අදෘශ්‍යමානව පවතී.

සොරකමට ලක් වූ ඩොලර් මිලියන ගණන මිල කර ඇති මෙකී සිතුවම් අතරින් අදටත් සොයා ගැනීමට ලැබී ඇත්තේ අතළොස්සක් පමණකි. කලා කෘති හොරකම සඳහා ARTNAPPING යනුවෙන් හැඳින්වීමක්ද කෙරෙන බව අන්තර්ජාලය පවසයි. ලෝකය පුරා මේ අයුරින් වසරකට කලා කෘති 50,000 ක් පමණ සොරකම් කරනු ලබන අතර ඒවායින් ආපසු සොයා ගැනීමට ලැබෙන්නේ 10% ත් 15%‍ ත් අතර සුළු ප්‍රමාණයක් බව ආරක්ෂක අංශ නිලධාරීහු පවසති. මෙසේ සොරකම් කරන ලද චිත්‍ර අපරාධකරුවන් විසින් බොහෝ විට ණය මුදල් ලබා ගැනීම පිණිස ඇපයක් ලෙස භාවිතා කරන බවද එම නිලධාරීන්ගේ අදහස වී තිබේ.

මේ ආකාරයට ලොව පුරා සිදුවන සිතුවම් සොරකමට, ලොව අග්‍රගණ්‍යය කෘතියක් ලෙස සැලකෙන ලියනාඩෝ ඩාවින්සිගේ මොනාලිසා ද ගොදුරු වූයේය. ඒ 1911 දීය. වින්සෙන්සෝ පෙරූජියා නැමැත්තකු විසින් මෙම සොරකම සිදු කළ අතර ඉන් වසර දෙකකට පසු එය යළිත් සොයාගත හැකි විය. ඒ කාලය මුළුල්ලේ කෞතුකාගාරයේ චිත්‍රයෙන් හිස් වූ අවකාශය නැරඹීමට පවා රසිකයන් වැළ නොකැඩී පැමිණි බව සඳහන් වේ.

අපේ කාලය දක්වාම දිවි ගෙවූ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියකු වූ පිකාසෝගේ සුප්‍රකට චිත්‍රයක් සමග තවත් සිතුවම් පහක් 2010 මැයි මාසයේදී සොරකම් කරන ලදී. ඒ පැරිසියේ La Villa De Paris කෞතුකාගාරයේ තිබියදීය. මේවායේ රාමුව බිත්තියේ තිබියදී කැන්වසය පමණක් රැගෙන ගොස් තිබිණි. මෙම සිතුවම් කීපය ඩොලර් මිලියන 20 කට ඇස්තමේන්තු කර තිබිණි.

Paul Cezanna විසින් නිර්මාණය කරන ලද චිත්‍රයක්ද සොරකම් කරන ලද සිතුවම් අතරට එක්වන අතර, එය සිදුව ඇත්තේ 1991 ඔක්තෝබර් මාසයේ දිනකදීය. කෞතුකාගාරයේ වහළෙන් ඇතුළු වූ සොරුන් ආරක්ෂක කාමරවල දර්ශන අවුල් කිරීම සඳහා යම් දුමාරයක් පැතිරවීමට කටයුතු කර තිබේ. නින්ජාවරුන්ගේ ක්‍රියාකාරීත්වයට සමාන අයුරින් වේගවත්ව ක්‍රියාත්මක වූ ඔවුහු සොරකම සඳහා ගත කළ සම්පූර්ණ කාලය විනාඩි දෙකකි.

පෙර කී චිත්‍ර ශිල්පියා කෙටි කලක් දිවිගෙවූ, VERSAILLA නැමැති ග්‍රාමය අසළ වූ කුඩා නගරයක් මෙම සිතුවමෙන් නිරූපණය කර ඇත. මෙය ඔහුගේ චිත්‍ර කලාවේ ආරම්භයේ සිට පරිණතභාවයට පත්වීම දක්වා කාලය පිළිබිඹු කෙරෙන්නක් නිසා වඩා වැදගත්කමක් උසුලයි. මෙම චිත්‍රය අද වන විට යුරෝ මිලියන 3 ක වටිනාකමකින් යුක්තය.

‘චාරිං ක්‍රොස් බි්‍රජ්‘. නමින් ක්ලෝඩ් මොනෙට් නමැති ශිල්පියා විසින් අඳින ලද මෙම චිත්‍රය රොටර්ඩ්‍රෑම්හි කුසෙන්තාල් කෞතුකාගාරයෙන් සොරකම් කරන ලද්දේ 2012 වසරේදීය. එහි වටිනාකම හෙළි කර නොමැත.

වසරකට පසු අත්අඩංගුවට ගන්නා ලද රුමේනියානු සොරු කණ්ඩායමක සාමාජිකයෙක් මෙම චිත්‍රය තම මවගේ නිවසේ උදුනට දමා පිළිස්සූ බව පැවසීයැයි පොලිසිය වරක් ප්‍රකාශ කර තිබිණි. නමුත් පොලිසිය විසින්ම පසුව එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලදී. ඒ නිසා තවමත් එය අතුරුදන් වූ චිත්‍රයක් ලෙස සලකණු ලබයි.

චිත්‍ර හොරකමේ යන්නේ රසික හොරුද හොර රසිකයෝද?

මෙම කුසෙන්තාල් කෞතුකාගාරයේ තිබියදීම ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පී පෝල් ගොගෑන් විසින් අඳින ලද චිත්‍රයක්ද 2012 දී සොරකම් කර තිබේ. කෞතුකාගාරයේ ආරක්ෂක සේවාවන්හි තිබූ දුර්වලතාවයන් මෙම සොරකම්වලට පහසුවක් වී ඇතැයි හෙළි වී ඇත.

1945 වසරේදී අතුරුදන් වූ තවත් ශ්‍රේෂ්ඨ කලා නිර්මාණයන් වන්නේ රෆායෙල් නැමැති අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියාගේ තරුණයෙකුගේ ප්‍රතිමූර්තිය‘ නමැති චිත්‍රයයි. අද වනතුරුත් දෙවන ලෝක යුද සමයෙන් පසු අතුරුදන් වූ වැදගත්ම කලා කෘතිය වශයෙන් සැලකෙන්නේ මෙම චිත්‍රයයි. එහි වටිනාකම ඩොලර් මිලියන 100 ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

අප මෙහි කලින් සඳහන් කළ පෝල් ගොගෑන්ගේ සමකාලීන මිත්‍රයා වූ වින්සන්ට් වෑන්ගෝ විසින් නිර්මිත “පොපි මල්” නැමැති සිතුවමද අද වන විට සොරුන් අතට පත් වී හමාරය. ප්‍රමාණයෙන් කුඩා චිත්‍රයක් වන මෙය මිල කර ඇත්තේ ඩොලර් මිලියන 50 ක වටිනාකමටය. මෙම සිතුවම දෙවරක් සොරකම් කරන ලද්දකි. මුල් වතාවේදී ඊජිප්තුවේ කයිරෝහි පිහිටි මොහොමඩ් කලීල් කෞතුකාගාරයේදී සොරුන් අතට පත්වූ මෙය ඉන් වසර දහයකට පසුව යළි සොයා ගන්නා ලද අතර, 2010 දී යළි සොරුන් අතට පත් වී තිබේ. එය දෙවන වතාවේ තැන්පත් කර තිබූ කෞතුකාගාරයේ ආරක්ෂක කැමරා 47 න් එදින ක්‍රියාත්මකව තිබී ඇත්තේ 7 ක් පමණි.

ලොව පතල THE SCREAM නැමැති චිත්‍රය රසිකයාට අහිමි වූයේ මංකොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගැනීමක ප්‍රතිඵලයක් වශයෙනි. එඩ්වඩ් මුන්ච් (EDVARD MUNCH) නැමැති චිත්‍ර ශිල්පියා විසින් නිර්මාණය කරන ලද මෙය ඔස්ලෝහි මුන්ච් කෞතුකාගාරයෙහි තැන්පත් කොට තිබූ අතර, පැහැර ගැනීම සිදුව ඇත්තේ එහිදීය. මේ සමගම ඔහුගේ සුප්‍රකට නිර්මාණයක් වන “මැඩෝනා” ද මංකොල්ලකරුවන් අතට පත්වී තිබේ. සිද්ධිය සැළ වූ මොහොතේම, එම කෘතීන් සොයා රට පුරා මෙහෙයුමක් දියත් කරනු ලැබුවද, ඉන් පලක් වූයේ නැත. මෙම චිත්‍ර දෙක ඩොලර් මිලියන 60 සහ 75 වශයෙන් ඇගයීමට ලක් කර තිබිණි.

චිත්‍ර සොරකම් ගැන කතා කිරීමේදී එකම අවස්ථාවකදී එකම ස්ථානයකින් සොරකම් කරන ලද වැඩිම චිත්‍ර ප්‍රමාණයක් ගැන වාර්තා වන ස්ථානය වන්නේ ඉසෙබෙලා ස්ටුවර්ට් ගාඩ්නර් මහත්මිය (1840 – 1924) විසින් සිය පෞද්ගලික සිතුවම් එකතුව සඳහා විවෘත කරන ලද මෙනමින් යුත් කෞතුකාගාරයෙනි. එය මහජනයාට විවෘත කරන ලද්දේ 1903 දීය. 1924 දී අභාවයට පත් ගාඩ්නර් මහත්මිය සිය ජීවිතයේ අවසාන මොහොත දක්වාම මෙය වැඩිදියුණු කිරීම සඳහා කැප වූවාය. සිය ජීවිතයේ අවසාන කාලයේදීද ඒ සඳහා ඩොලර් මිලියන 3.6 ක් පරිත්‍යාග කළ ඇය සිය මරණින් මතු එය පවත්වා ගෙන යා යුතු ආකාරය ගැන කොන්දේසි තුනක්ද පැන වූවාය.

ඒවා නම්, කලා කෘතීන් වෙනස් නොකිරීම, විකිණීම, සහ මිලදී ගැනීම යන කාරණා තම අභාවයෙන් පසු සිදු නොකළ යුතු බවයි.

චිත්‍ර හොරකමේ යන්නේ රසික හොරුද හොර රසිකයෝද?

විවිධ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ 13 ක් එකවර අතුරුදන්ව ඇත්තේ මෙහි තිබියදීය.

1990 දී සිදුවූ මෙම සොරකම නිසා ඩොලර් මිලියන 500 කට වඩා වටිනා චිත්‍ර ප්‍රමාණයක් එයට අහිමිවිය. එම චිත්‍ර නිර්මාණ 13 අතර සුප්‍රකට චිත්‍ර ශිල්පී රෙම්බ්‍රාන්ට් (Rembrandt) ගේ මුහුදු දර්ශනය සහිත එකම චිත්‍රය ලෙස සැලකෙන (ගලීල මුහුදේ කුණාටුව) ‘’THE STORM ON THE SEA OF GALILEE” නමැති ශ්‍රේෂ්ඨ කලා නිර්මාණයද ඇතුළත්ය.

මෙම චිත්‍ර අතරින් වටිනාම නිර්මාණය ලෙස සැලකෙන්නේ ජෝහැන්නස් වර්මීගෙ ප්‍රසංගය නමැති චිත්‍රයයි. එය ඇස්තමේන්තු කර ඇත්තේ ඩොලර් මිලියන 200 කටය. සොරකම් කිරීමෙන් අනතුරුව මෙතෙක් සොයා නොගත් වැඩිම වටිනාකමත් ඇති චිත්‍රය ලෙස දැනට වාර්තා වී ඇත්තේ මෙම නිර්මාණයයි. මෙම නිර්මාණය ඇතුළුව සොරුන් අතට පත් චිත්‍ර 13 න් කිසිවක් මේ වන තෙක් ආපසු ලැබී නැත.

අදාළ සොරකම සඳහා පැමිණ ඇත්තේ සොරුන් දෙදෙනකු පමණක් වන අතර, ඔවුහු බොස්ටන් පොලිසියේ නිලධාරීන්ගේ නිල ඇඳුම්වලට සමාන අයුරින් හැඳ සිටියහ. තමන් පොලිස් නිලධාරීන් බව හැඟවූ ඔවුන් කෞතුකාගාරයට ඇතුළුව එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට මාංචු දමා ඇත්තේ වරෙන්තුවක් මත ඔවුන්ව අත්අඩංගුවට ගන්නා බව පවසමිනි. පොලිස් චරිත රඟ පෑ මොවුන් දෙදෙනා පෙර වැරදිවලින් තොර ආධුනිකයන් දෙදෙනකු වීමද අත්අඩංගුවට ගැනීම අපහසුවීමට හේතු වී ඇත.

සිතුවම් සොරකම් අරබයා මෙය ඉතා සැකවින් සඳහන් කරන ලද සටහනක් බව මතක් කළ යුතුව ඇත්තේ අද වන විට ලොව පුරා ප්‍රසිද්ධ චිත්‍ර අස්ථානගත වීම් පිළිබඳ පමණක් පොතක් ලියන්නට තරම් තොරතුරු වාර්තා වී ඇති බැවිනි.

ඒ අනුව මෙම සංක්ෂිප්ත සටහන අවසන් කරන මොහොතේ හොරුන් සහ චිත්‍ර ගැන තවත් සත්‍ය කතාවක් අපගේ මතකයට නැඟේ.

කලකට ඉහත බටහිර රටක මහා බැංකු මංකොල්ලයක් සිදු කෙරුණේ හරියටම රූලට මිම්මට තබා ගන්නා ලද මිණුම්වලට අනුව උමං පද්ධතියක් සෑදීමෙනි. අවසානයේ බැංකුවේ පොළොව යට කුටියේ මහා යකඩ බිත්තියද කපා එයට ඇතුළු වූ සොරුන් සියලු මුදල් සිය බෑග්වලට දමා ගැනීමෙන් පසුව වයින් බෝතල් කඩා රස මසවුළුද කමින් භෝජන සංග්‍රහයක්ද පවත්වා ඇත. ඊට පළමුව ඔවුන් තවත් වැඩක් කර තිබේ. එනම් ධනවතුන් විසින් ආරක්ෂාව සඳහා බැංකුවට භාර දී තිබූ වටිනා චිත්‍ර කුටිය පුරා එල්ලීමය. ඔවුන් මධුවිත පානය කළේ එම සිතුවම්ද රස විඳිමිනි. නමුත් ඉන් පිටව යද්දී ඉන් එකක්වත් කිසිවකු හෝ රැගෙන ගියේ නැත. මුන් පට්ට හොරු බව ඇත්තය. එහෙත් ලංකාවේ අපට වඩා හොඳ රසිකයන් බව ඊට වඩා ඇත්තය.

විජයවර්ධන නිවසට පැන්නේ මොන ජාතියේ රසික හොරුදැයි දැන් අපේ ෂර්ලොක් හෝම්ස්ලා සෙවිය යුතුය.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment