චිත‍්‍රපට ප‍්‍රදර්ශනයේ ඉඩෝරය නිමා කරමින් එන ‘නිහඬ සෙවනැලි’

444

චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීමේ දිගු නිහැඬියාව නිමා කරමින් සිනමාහල් විවෘත වීමත් සමග නිහඬ සෙවනැලි චිත‍්‍රපටය ලබන 11 වැනිදා සිට තිරගත වේ. ඊ. ඒ. පී. මණ්ඩලය ඇතුළු රට පුරා ඇති සිනමාශාලා වල ප‍්‍රදර්ශනය වීමට නියමිත නිහඬ සෙවනැලි සිනමා පටය පිළිබඳ එහි නිර්මාණ අධ්‍යක්ෂ සුනිල් පේ‍්‍රමරත්න දක්වන්නේ මෙවැනි අදහසක්.

චිත‍්‍රපට ප‍්‍රදර්ශනයේ ඉඩෝරය නිමා කරමින් එන 'නිහඬ සෙවනැලි'
සුනිල් පේ‍්‍රමරත්න

‘‘මේ සිනමාපටය හොරර් ගනයට අයත් කියල පෙනුනට ඇත්තටම මේ චිත‍්‍රපටයෙන් කතා කරන්නේ පරිසර විනාශය පිළිබඳව. පරිසර විනාශය ගැන කතා කරද්දි මම ඒකට යොදාගත්ත කතාව අනුවයි මේ සිනමාපටය හොරර් ගනයට වැටෙන සිනමාපටයක් විදියට පේන්නෙ.’’

ස්වකීය නිර්මාණය ගැන අධ්‍යක්ෂවරයා පවසන්නෙ එවැනි අදහසක්. ඒ සමගම නිහඬ සෙවනැලි චිත‍්‍රපටයේ කතාව ඔහු මෙසේ සාරංශගත කරනවා.

‘‘ ඔබ පරිසරයට වින කරයි නම් ඔබේ දරුවන්ට පවා සාප විය හැක’ යන්න යටි අර්ථයකින් සමන්විත අද්භූත ශානරයේ චිත‍්‍රපටයක් නිහඬ සෙවනැලි. විශ්ව, සාගර සහ රොමා යනු විනෝදකාමි මිතුරන් තිදෙනෙක්. ඔවුන් ඔවුන්ගේ පෙම්වතියන් සමඟ විනෝද චාරිකාවක් යනවා. නොසිතූ විරූ ලෙස ඔවුන් ගමන් ගන්නා මාවත වෙනස්වී වෙනත් මාවතකට යොමුවීමට සිදුවෙනවා. මේ සිදුවීම නිසා මිතුරන් තිදෙනාට සිය පෙම්වතියන් සමග රක්ෂිත වනාන්තරයක් තුළින් ගමන් කිරීමට සිදුවෙනවා. වනාන්තරයට ඇතුළු වූ මොහොතේ සිටම ඔවුන්ට මුහුණපෑමට සිදුවන්නේ නොසිතූ විරූ රුදුරු අත්දැකීම් සමුදායකට. මීට වසර ගණනකට පෙර සිදු වූ ඝාතනයක වන්දි ගෙවන්නට වෙන්නේ මෙම තරුණ පිරිසට. ඒ ඔස්සේ තමයි නිහඬ සෙවනැලි ගලාගෙන යන්නෙ.’’

මෙවැනි නිර්මාණයකදි දෘෂ්‍ය ප‍්‍රයෝග සහ වේෂ නිරූපණය ඉතා වැදගත්. කොහොමද ඒ අභියෝගයට මුහුණ දුන්නෙ

‘‘ලංකාවේ අපිට දරාගන්න පුළුවන් ඉහළම මට්ටමෙන් විශේෂ දෘෂ්‍ය ප‍්‍රයෝග අපි මේ චිත‍්‍රපටියෙදි යොදාගත්තා. මේ චිත‍්‍රපටියේ සමහර දර්ශන තියනවා ගස් උඩ ඉඳන් ඉගිලෙනවා වගේ දර්ශන. ඒ වගේ කේබල් ඇදල රූගත කරපු දර්ශන ගොඩක් තියනවා. හැම විටම චිත‍්‍රපටියේ දර්ශන සජීවී බවක් දෙන්න අපි උත්සහ ගත්තා. ’’

පුබුදු චතුරංග, රොෂාන් රණවන, තාරුකා වන්නිආරච්චි, මාෂි සිරිවර්ධන, හරිත් වාසල, ධනංජි තාරුකා, කුමාර තිරිමාදුර, අජිත් වීරසිංහ, කුමාර වඳුරැුස්ස, මීනා කුමාරි, සරත් චන්ද්‍රසිරි, සඳුන් බණ්ඩාර, යොහානි හෙට්ටිආරච්චි රංගනයෙන් එක්වන නිහඬ සෙවනැලි සංගීතවත් කර තිබෙන්නේ දර්ශන වික‍්‍රමසිංහ විසිනි. නිහඬ සෙවනැලි රූගත කර තිබෙන්නේ 2018 වසරේදීය. පන්නල, මොරගහහේන, ගෝනගල ආදී ප‍්‍රදේශවල රක්ෂිතයන්හි මෙම සිනමාපටයේ දර්ශන බොහොමයක් රූගත කර ඇත. කොවිඞ් වසංගතය හේතුවෙන් එය වසර කිහිපයක්ම තිරගත වීම ප‍්‍රමාද විය.

  • තිස්ස
චිත‍්‍රපට ප‍්‍රදර්ශනයේ ඉඩෝරය නිමා කරමින් එන 'නිහඬ සෙවනැලි'
advertistmentadvertistment
advertistmentadvertistment