චිත‍්‍ර උගන්වන්න යූ ටියුබ් චැනල් එකක් හදපු සිසුවෙක්

544

සමාජ මාධ්‍ය නූතන තරුණ පරපුරේ නිර්මාණාත්මක හැකියාව ඔප් නංවන කැඩපතක් වී හමාරය. නවීන තාක්ෂණය භාවිතයට කම්මැලිකමක් දැක්වමින් සිටි අපේ රටේ වැඩිහිටි පරපුර ද කොරෝනා ව්‍යසනයත් සමග සමාජ මාධ්‍ය දෙසට තල්ලූ විය. අද තරුණයින්ට නොදෙවනි වන ලෙස සමාජ මාධ්‍ය තුළ තමන්ගේ නිර්මාණාත්මක හැකියා පෙන්වන වැඩිහිටියෝ ද වෙති. ඒ අතරම ජංගම දුරකථන සහ නවීන තාක්ෂණික මෙවලම් අවභාවිතා කොට දරුවන් සිදුකරගත් විපත් ගැනද ඉඳහිට අහන්න දකින්නට ලැබුණි. එවැනි වටපිටාවක් තුළ සමාජ මාධ්‍ය මගින් සමාජ මෙහෙවරක් ඉටු කරන දරුවෙක් මුහුණු පොතෙන් හඳුනාගත හැකි විය. ඔහු නමින් ඞී.ඒ. මනුජ සම්පත් දසනායකයි. මුහුණු පොත තුළ ඔහුගේ ගිණුම පරීක්ෂා කිරීමේදී එය මනා සංයමයකින් යාවත්කාලීන කරන බව පෙනුණි. කොඩිඞ් වසංගතය කාලේ තමන්ගේ චිත‍්‍ර විෂය හැකියාව අනෙකුත් දරුවන්ට සමාජ මාධ්‍ය මගින් බෙදා දීමට මෙම දරුවා මහන්සි වෙනු දැකගත හැකි විය.

මනුජ තම හැකියාව හා සමාජ මාධ්‍ය භාවිතය ගැන මෙලෙස අදහස් දැක්වීය.

චිත‍්‍ර උගන්වන්න යූ ටියුබ් චැනල් එකක් හදපු සිසුවෙක්

”මම කලාවට සහ ආගම දහමට ගොඩක් ලැදි කෙනෙක්. චිත‍්‍ර අඳින්න යොමු වුණේ 7 ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ. මට මේ විෂය ඉගෙන ගන්න මග පෙන්වීම් කරන්නේ ඒ.ජී.සී. හෂිනි අළුත්වැව ගුරුතුමියයි. මගේ තාත්තා අනුරුද්ධ දසනායක. අම්මා දීපිකා දමයන්ති. පුංචි කාලේ ඉඳන්ම අම්මා තාත්තා මාව ආගම දහමට යොමු කළා. මම දිනපතාම ධර්ම දේශනයක් අහනවා. ඒ වගේම විවේක කාලය චිත‍්‍ර අඳින්න යොදා ගන්නවා. දැන් මම සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. කොරෝනා වසංගතයත් එක්ක අපිට පසුගිය කාලේ දීර්ඝ පාසල් නිවාඩුවක් ලැබුණා. ඒ කාලේ ඉගෙන ගන්න උපකාර උනේ ජංගම දුරකථනයයි. අපේ වයසේ යාළුවෝ ජංගම දුරකථනයෙන් විවිධ ක‍්‍රීඩාවන්වලට යොමු වෙද්දී මම කල්පනා කළා අධ්‍යාපනික කටයුතුවලට වැදගත් වන දෙයක් කරන්න. මම කැමැතිම චිත‍්‍ර විෂය දැනුම අනිත් යාළුවන්ටත් බෙදා දෙන්න හිතාගෙන Manuja art කියලා යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තා. මගේ චිත‍්‍ර ගුරුතුමියගේ උපදෙස් අනුව මම චිත‍්‍ර පාඩම් කීපයක් චැනල් එකට දැම්මා. එම පාඩම් නරඹපු ගොඩක් දෙනෙක් මාව උනන්දු කළා. එක වතාවක් මගේ යූ ටියුබ් චැනල් එක නැතුව ගියා. ඊට පස්සේ ආයෙත් එකක් හදන්න සිදු වුණා. මගේ යාළුවෝ චැනල් එක කරන විදිහ ගැන මට අලූත් අදහස් ඉදිරිපත් කළා. එම අදහස් අනුව මම චිත‍්‍ර කලාව විෂයේ මෝස්තර නිර්මාණ ගැන පාඩම් ඇතුළත් කළා.

පාසල් ළමුන් විදිහට අපිට අපේ ගුරු මව්පියවරු, දෙමව්පියෝ නිරන්තරයෙන් හොඳ නරක කියලා දෙනවා. විවිධ ආයතනවලින් වගේම ජනමාධ්‍ය තුළින් දැනුවත් වෙනවා. ඒ නිසා අද කාලේ හැම ළමයෙකුටම හොඳ නරක තෝරා බේරා ගන්න පුළුවන්. අපි නවීන තාක්ෂණය එක්ක ඉදිරියට යා යුතුයි. ජංගම දුරකථනය, පරිගණක, අන්තර් ජාලය තුළින් දැනුම ලබා ගත යුතුයි. අන්තර්ජාලයෙන් යහපත් දේවල් එකතු කරගෙන අයහපත් දේ අතහැරියාම කිසිදු ගැටලූවක් ඇති වන්නේ නැහැ. නොහිතන විදිහට ඇතිවන වසංගත රෝග සහ ස්වභාවික විපත් නිසා අපේ අධ්‍යාපන කටයුතුවලට බාධා වෙනවා. එහෙම නොවෙන්න නම් අපි තාක්ෂණයෙන් ඉදිරියට යා යුතුයි. නවීන තාක්ෂණික යෙදවුම් මගින් අධ්‍යාපන කටයුතු කළ යුතුයි.

චිත‍්‍ර උගන්වන්න යූ ටියුබ් චැනල් එකක් හදපු සිසුවෙක්

මම ඉගෙනගන්න රතනාලංකාර විදුහලේ විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලය, මගේ අම්මා තාත්තා යාළුවෝ හැම කෙනෙක්ම මගේ චිත‍්‍ර කලාවට ආශිර්වාද කරනවා. විවිධ විෂයන්ට දක්ෂ අනෙකුත් පාසල් මිතුරන්ටත් මම යෝජනා කරනවා විෂය භාර ගුරුතුමන්ලාගේ මග පෙන්වීම් අරගෙන තමන් කැමති විෂයක් ගැන පාඩම් මුහුණු පොතට හෝ යූ ටියුබ් එකට එකතු කරන්න කියලා. සමාජ මාධ්‍ය කියන්නේ දැනුම් සාගරයක්. අපි හැමෝටම සමාජ මාධ්‍ය මගින් ඒ විදිහට දැනුම හුවමාරු කර ගන්න පුළුවන්. ආගම දහමට ලැදි සෞන්දර්යාත්මක හැකියාවන් සංවර්ධනය කරගන්න මහන්සිවෙන පාසල් ළමයා අනාගතයේ සමාජයේ කිසිවෙකුට කරදරයක් නැති යහපත් පුරවැසියෙක් වෙනවා’ මනුජ කියයි.

දිඹුලාගල
ප‍්‍රසන්න සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment