චින්තනගෙන් තවත් පදක්කමක්

363

මෙරට බර ඉසිලීමේ ක‍්‍රීඩාව නව මානයකට රැගෙන යන්නට සමත් වූ චින්තන ගීතාල් විදානගේ ඊට වසර 15 කට පසුව ද ජාත්‍යන්තර කෙළිබිමේ පදක්කම් දිනා ගත හැකි බව පෙරේදා (12) මනාව ඔප්පු කරන්නට සමත් විය.

ඒ මේ දිනවල උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් අගනුවර දී ක‍්‍රියාත්මක කෙරෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගනිමිනි.

කිලෝ ග‍්‍රෑම් 81 ට අඩු බර පන්තිය යටතේ තරග වදිමින් අදාළ ලෝකඩ පදක්කම දිනා ගැනීමට චින්තන ගීතාල් විදානගේට පෙරේදා (12) දිනයේ රාත‍්‍රියේ දී හැකි විය.

ඔහු එහිදී ස්නැච් ක‍්‍රමයට කි:ග‍්‍රෑ:134 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කි: ග‍්‍රෑ:166 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 300 ක බර එකතුවක් සටහන් කරමින් අදාළ ලෝකඩ පදක්කම මව් බිමට දිනා දුන්නේය.

මෙහි රන් පදක්කම ඉන්දියාවට ද රිදී පදක්කම ඕස්ටේ‍්‍රලියාවට ද හිමි විය.

2006 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ රන් පදක්කම ද 2010 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උලෙළේ රිදී පදක්කම ද දිනා ගනිමින් මව්බිමේ කීර්ති නාමය ජාත්‍යන්තරයට රැුගෙන ගිය චින්තන ගීතාල් විදානගේ තවමත් වියපත් නොවුණු ෞයවනයකුගේ ලක්ෂණ ප‍්‍රදර්ශනය කිරීම කැපී පෙනේ.

ඒ අනුව බලන විට 2010 වසරට පසුව නැවත වතාවක් ක‍්‍රියාත්මක වෙමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය මට්ටමේ තරගාවලියක පදක්කමක් දිනා ගැනීමට සමත් වීම විශේෂයෙන් අගය කළ යුතුය.

චින්තන ගීතාල් විදානගේ පෙරේදා (12) දිනාගත් පදක්කමත් සමගම මෙවර ක‍්‍රීඩා උළෙල ආශ‍්‍රිතව මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිනාගන්නා ලද පදක්කම් සංඛ්‍යාව 06 දක්වා වැඩි විය. එයට රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 05 ක් ඇතුළත් වෙයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment