චීනයේ යළිත් කොරෝනා රැල්ලක්: ඉන්දියාව සූදානම් වෙයි

185

කොවිඩ් නීති දැඩි කරයි

මෙම දිනවල චීනයේ අගනුවර වන බීජිං නගරය ඇතුළු එරට පුරා අලුතින් දරුණු කොරෝනා වසංගත රැල්ලක් පැතිර යෑම හේතුවෙන් එරට රෝහල් වාට්ටු හා දැඩිසත්කාර ඒකක කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ඉතිරී යන තත්ත්වයක් උද්ගතව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි ආපදා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් රයන් පවසනුයේ චීන බලධාරීන් විසින් රටේ සැබෑ කොරෝනා වසංගත තත්ත්වය සඟවමින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩු මට්ටමක පවතින බවට නිවේදනය කර ඇතත් චීනයේ රෝහල් දැඩිසත්කාර ඒකකවල කාර්ය මණ්ඩලය රෝහල්ගත කෙරෙන කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි ලෙස කාර්යබහුලව ඇති බව වාර්තා වී ඇති බවයි.

කෙසේ වුවද තවමත් දෛනිකව චීනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ හා ආසාදනයෙන් මියයන සංඛ්‍යාව පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට නොහැකි වී ඇත. චීනය විසින් ඒ පිළිබඳව තොරතුරු නොසැපයීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. චීන රජයට අනුව ඉකුත් සඳුදා දිනයේ එරටින් නව කොරෝනා ආසාදිතයන් 2700ක් වාර්තා වී ඇති අතර දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව පහකට අඩු මට්ටමක පවතියි. කෙසේ වුවද සමාජ මාධ්‍ය ජාලවලට අදහස් පළ කර ඇති බොහෝ චීන ජාතිකයන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට හමු වන සෑම අයකුම උණ රෝගියකු බව පෙනී යෑම නිසා තත්ත්වය ඉතාමත් දරුණු බවයි.

චීන බලධාරීන් විසින් පෙරේදා (21 දා) දිනයේ කොරෝනා ආසාදනයෙන් කිසිවකු මිය නොගිය බව පවසා ඇතත් එරට පැතිර යන කොරෝනා ආසාදනයේ සැබෑ තත්ත්වය බලධාරීන් විසින් හෙළිදරව් නොකරන තත්ත්වයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටියි. දින කිහිපයකට පෙර සිට කොරෝනා ආසාදිතයන්ගෙන් චීනයේ අගනුවර වන බීජිං නගරය ඇතුළු නගර ගණනාවක රෝහල් පිරී ඉතිරී ගොස් ඇති බව වාර්තා වී තිබේ. 2020 වසරේ සිට චීනය පුරා ක්‍රියාත්මක කර තිබූ කොරෝනා මර්දන නීති රීති ඇතුළු අගුළු දැමීම්වලට එරෙහිව සති දෙකකට පමණ පෙර චීනයේ හටගත් මහජන උද්ඝෝෂණයන් හේතුවෙන් එම දැඩි සීමාවන් ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබුණු අතර එම තත්ත්වයත් සමගම වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි. විශේෂයෙන්ම වැඩිහිටියන් විශාල පිරිසක් කොරෝනා ආසාදනයට ගොදුරුව මේ වන විට මියයමින් හා මිය යන්නට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මහජන විරෝධතා හේතුවෙන් එකවර පනවා තිබූ කොරෝනා මර්දන සීමාවන් ඉවත් කිරීම නිසා ඉදිරි මාසවල දී කොරෝනා වසංගතයෙන් මිලියන ගණනක් වූ චීන ජාතිකයන් මියයෑමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ සඳහන් කර සිටිති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්‍රේයේසුස් පවසා ඇත්තේ මේ වන විට චීනයේ පැතිර යන දරුණු කොරෝනා වසංගත රැල්ල පිළිබඳව සිය දැඩි අවධානය හා සැලකිල්ල යොමු වී ඇති බවයි. පැතිර යන කොරෝනා වසංගතය කෙතරම් දරුණු ද, එම වසංගතයට ගොදුරු වුවන් කීදෙනකු රෝහල්ගත කරන්නේ ද, දැනට රට තුළ පවතින දැඩිසත්කාර ඒකක පහසුකම් ප්‍රමාණවත් ද යන්න පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් තමන්ට සපයන ලෙස චීනයෙන් ඉල්ලා සිටින බව ද ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවක් අමතමින් වෛද්‍ය ටෙඩ්රෝස් පවසා තිබේ. චීනය විසින් කොරෝනා මර්දන එන්නත් නිපදවා ඇතත් ඒවා ලොව සෙසු රටවල් විසින් නිපදවා ඇති කොරෝනා මර්දන එන්නත් තරම් ප්‍රබල ආරක්ෂාවක් ජනතාවට නොසපයන බැවින් ඒවායෙන් ලබා ගත හැකි ප්‍රයෝජනය අවම බව විශේෂඥයෝ පවසති.

මේ අතර චීනයේ දරුණු කොරෝනා වසංගත
රැල්ලක් පැතිර යෑම හේතුවෙන් පෙර සූදානමක් ලෙස නැවත පොදු ස්ථානවල නාසය හා මුඛය හොඳින් ආවරණය වන සේ මුහුණු ආවරණ පැළඳීම ඇතුළු කොරෝනා මර්දන නීති රීති දැඩි ලෙස අනුගමනය කරන ලෙස ඉන්දීය සෞඛ්‍ය ඇමැති මන්සුක් මන්ඩාවියා විසින් පෙරේදා (21දා) ඉන්දීය ජනතාවට උපදෙස් දී තිබේ. ප්‍රමුඛ පෙළේ ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයන් විසින් මහජනතාවගෙන් ඉල්ලා ඇත්තේ කොරෝනා එන්නත් හා බූස්ටර් එන්නත් හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙසයි.

අසල්වැසි චීනයේ පැතිර යන දරුණු කොරෝනා වසංගත රැල්ල ඉන්දියාවටද පැමිණීමේ දැඩි අවදානමක් පැවතීම නිසා රට පුරාම බලපැවැත්වෙන පරිදි කොරෝනා අවදානම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ඉන්දීය සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පියවර ගෙන තිබේ. රටේ ගුවන්තොටුපළවල නැවත ගුවන්

මගීන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය බලධාරීන්ට මධ්‍යම රජය විසින් උපදෙස් දී තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment