චීනය අපට දෙන සපෝට් එක හොඳටම මදි…

788

13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලගන්වනවාට කට්ටියක් විරුද්ධය. කට්ටියක් පක්ෂය. සමහරුන්ගේ මතය වන්නේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලගැන්වූ කල්හි රට ෆෙඩරල් තත්ත්වයකට තල්ලු විය හැකි බවය. එහෙත් එය නවත්වා ගැනීමට ආණ්ඩුවට හැකියාවක් තිබිය යුතුය. ආණ්ඩුව ශක්තිමත් නම් ඕනෑම දෙයක් කළ හැකිය. ෆෙඩරල් නොව තනිකරම ඊළම ඉල්ලූ ප්‍රභාකරන් අමුඩයකුත් ගසාගෙන මියගොස් සිටි ආකාරය අපට කවදාවත් අමතක කළ හැකි නොවේ. අපට පුදුම ප්‍රභාකරන් අමුඩයක් ඇඳගෙන සිටියේ මන්ද යන්නය. පසුව දැනගත් පරිදි මියයන අවස්ථාවේදී ප්‍රභාකරන් ඇඳ සිටියේ එල්.ටී.ටී.ඊ. නිල ඇඳුමය. එහෙත් එය ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල හෝ වලංගු නිල ඇඳුමක් නොවේ. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල වලංගු නිල ඇඳුම් සීමිත ප්‍රමාණයක් ඇත. යුද හමුදා නාවික හමුදා පොලිස් සහ සිවිල් ආරක්ෂක යන අංශ වලට වෙන වෙනම නිල ඇඳුම් තිබේ.

බන්ධනාගාරයේ ගාඩ්ලාටත්, කෝච්චියේ ගාඩ්ලාටත් වෙන වෙනම නිල ඇඳුම් ඇති නමුත් එකී දෙගොල්ලොම ආරක්ෂක අංශ වලට සම්බන්ධයක් ඇති නිසා එම නිල ඇඳුම් අප කියන්නට යන කාරණයට අදාළ වන්නේ නැත. ඊට පෙර කියූ ආරක්ෂක නිල ඇඳුම් පහට අමතරව වෙනත් යුදවාදී කණ්ඩායමක් හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක් නිල ඇඳුමක් පරිහරණය කිරීම රටේ නීති රීති වලට සම්පූර්ණ පටහැනිය. එබැවින් ප්‍රභාකරන්ගේ මළ සිරුර හමුවූ අවස්ථාවේදී ඔහුගේ කොටි නිල ඇඳුම ඉවත් කිරීමට තීරණය කරන ලදී. අමුඩය ආවේ කෙසේදැයි අපි නොදනිමු. මේ සම්පූර්ණ කතාවම අමතර ඕපාදූපයකි.මෙතැන් සිට ලිවීමට යන නීරස දේශපාලනික හෝ ආර්ථික හෝ න්‍යායාත්මක හෝ කරුණුවල ඒකාකාරී ගතිය බාල කිරීම සඳහා අපි පෙර ටික ලිව්වෙමු. නිදහස් දින උළෙල ඉතා මෘදු ලෙස අවසන් විය. මේ සඳහා ගිය වියදම ගැන විවිධ ප්‍රශ්න ඇතත් 75 වන නිදහස් දිනය ස්ථිර වශයෙන්ම සැමරිය යුතුව තිබිණ. නිදහස් දින උත්සවය බලා සතුටට පත්වූ අපට ඊළඟ සැරේ මතක් වූයේ හෙට ජීවත්වෙන්නේ කොහොමද කියන කාරණයයි. ශ්‍රී ලංකාව බංකොලොත් වූ රටකි. නිදහසින් පසු අවසන් මහ මැතිවරණය පැවැත්වූ 2019 වනතුරු පැවති සියලු ආණ්ඩුවල දේශපාලන ක්‍රියාධරයන්ගේ හපන්කම නිසා අපට මෙසේ ණය වෙන්නට සිදුවිය. මෙහිදී දේශපාලනඥයන්ට පමණක් වරද පටවා නිහඬ වීමට අපට නොහැක. නාස්තිකාර, කම්මැලි, ඉරිසියාකාර ජන සමූහයක්ද අප අවට සිටී. ජනගහනයේ මෙන්න මේ කොටස රට පත්ව සිටින විනාශකාරී තත්ත්වයට වගකිව යුතුය. අපට යළි ගොඩඑන්නට පුළුවන් වන්නේ ණය දීමට සුදුසු රටක් ලෙස අප හඳුනාගැනීමට ජාත්‍යන්තරයට පුළුවන් වූ දවසටය. මේ වන විට මූලික කෑම වර්ග ගැනීමටවත් අපට සල්ලි නැත. දැනට තිබෙන ආණ්ඩුවට කිරීමට සිදුවී ඇත්තේ අතේ තියෙන අන්තිම සත පහෙන් රටේ ආර්ථිකය කළමනාකරණය කරගැනීමය. දැනට තිබෙන අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන තුනක් ලබා ගැනීමට අපි අපේක්ෂා කරමු. ඩොලර් බිලියන තුනක් යනු අපේ රටට හය මාසයකට තෙල් ගහන්නටවත් මදිවන තරමේ මුදලකි. එහෙත් මේ මුදල අපට ලැබීමත් සමගම ශ්‍රී ලංකාව තව දුරටත් ණය දිය යුතු රටක් ලෙස හඳුනාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට හැකිවනවා ඇත. මේ කාරණයේදී චීනය අපට උදව් කරන ආකාරය හුඟක්ම මදි බව පෙනේ. පසුගිය දශක එකහමාර තුළ ශ්‍රී ලංකාවට වැඩියෙන්ම මැදිහත්වූ රට හැටියට චීනය හඳුනාගත හැකිය. එම කාලය තුළ අපේ රටේ සියලුම යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තු ගියේ චීනයටය. ඇතැම් විට ඒ කොන්ත්‍රාත්තු ඒ රටට ගියේ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරවය. වැඩි වැඩියෙන් චීනයට බිස්නස් දීම නිසා වැඩියෙන් බැනුම් අහන්නට රාජපක්ෂ ආණ්ඩුවට සිදුවිය. දැනට අප ගමන් කරන පාලම් වලින් 75% ක්ම චීන පාලම්ය. පාරවල් වලින් 75% ක්ම චීන පාරවල්ය. චීනය අපේ රටේ ඉදිකිරීම් කළ ආකාරය මෙසේය. පාලමක්, ගුවන් පාලමක් හෝ අධිවේගී මාර්ගයක් තැනීම සඳහා චීනය අපට ණය මුදලක් දෙයි. ඉන්පසු එම ඉදිකිරීම සඳහා චීන ඉංජිනේරුවෝද චීන කම්කරුවෝද චීන බහුකාර්ය ඉංජිනේරු යන්ත්‍ර සහ චීන අමුද්‍රව්‍ය රැගෙන ලංකාවට එති. එවිට චීනය අදාළ ව්‍යාපෘතිය සඳහා දුන් සියලු මුදල් නැවතත් චීනය බලාම යයි. අප සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉන්දියාව තුළද මෙවැනිම අපේක්ෂාවක් තිබෙන්නට ඇති නමුදු එය ක්‍රියාත්මක කර ගැනීමට තරම් වත්කමක් පසුගිය කාලයේදී එරටට තිබුණේ නැත. ඒ නිසා අයි. එම්. එෆ්. ණය මුදල ගැනීම සඳහා චීනය දෙන සපෝර්ට් එක හොඳටම මදිය.

ශ්‍රී ලංකාවේ ජීවන වියදම පුදුම අල ගොඩක් බවට පත්ව ඇති නමුත් පසුගිය දවස්වල අල මිල සහ ලූනු මිල අඩුවිය. රුපියල් 400 ට තිබ්බ අල කිලෝව අද වන විට රුපියල් 100 ටත් ගත හැකිය. ඒ හැරෙන්නට සියලුම බඩු භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබේ. සෑම භාණ්ඩයක්ම තුන් ගුණයකින් මිල වැඩිවී ඇත. ළඟදී පෙට්‍රල් ලීටරය රුපියල් 30 කින් නැග්ගේය.

ඒ අතර ගෑස් මිලද රුපියල් 334 කින් ඉහළ නැග තිබේ. මේ අනුව ජනයාගේ ජීවන මට්ටම හැර අන් සියලුම දේ ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව වැටී තිබෙන අමාරුවෙන් රට ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ රටවල් වැඩි වෙහෙසක් ගන්නා බවක් නොපෙනේ. අයි. එම්. එෆ්. සංවිධානය යුද්ධයක් පවතින යුක්‍රේනයටත් පසුගිය දිනවල ඩොලර් බිලියන 14 ක් ණයට දුන්නේය. යුද්ධයක් පවතින කිසිම රටකට කිසිම ආයතනයක් විසින් ණය දෙනු නොලැබේ. එයට හේතුව ඒ ණය ආපසු ගෙවන්නේ කවුද යන ප්‍රශ්නය මතුවීමය. සමහරවිට යුද්ධයෙන් පසු බලයට එන ආණ්ඩුව එම ණය ගෙවීම ප්‍රතික්ෂේප කරනවා ඇත. යුක්‍රේනයට එසේ සැලකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට මෙසේ කරන්නේ අපේ හම කළු පාට නිසාද?

advertistmentadvertistment
advertistmentadvertistment