චීනය එවූ බවට සැක කෙරෙන රහසිගත බැලුනයක් ඇමරිකාවේ

298

ඇමරිකා එක්සත් ජනපදයේ වැදගත් ස්ථාන පවතින ප්‍රදේශ ගණනාවක් හරහා ගමන් කරමින් තිබූ චීනය විසින් ඔත්තු බැලීම සඳහා එවන ලදැයි විශ්වාස කෙරෙන සැක සහිත බැලුනයක් ඇමරිකානු ආරක්ෂක බලධාරීන් විසින් සොයා ගෙන තිබේ. ඔත්තු බැලීම සඳහා එවන ලද මෙම බැලුනය චීනයට අයත් එකක් බව තමන්ට දැඩි ලෙස විශ්වාස බව පවසන ඇමරිකානු ආරක්ෂක බලධාරීන් එය අවසන් වරට නිරීක්ෂණය කර ඇත්තේ බටහිර ඇමරිකානු ප්‍රාන්තයක් වන මොන්ටානා ප්‍රාන්තයේදීය.

ඇමරිකාවේ වැදගත් ස්ථානවල ඔත්තු බැලීම සඳහා එවන ලදැයි සැක කරන මෙම බැලුනය වෙඩි තබා බිම හෙළීමට ආරක්ෂක බලධාරීන් විසින් තීරණයක් ගෙන නොමැත්තේ එම බැලුනයේ තිබිය හැකි අනාරක්ෂිත ද්‍රව්‍ය සුන්බුන් වශයෙන් පොළවට පතිත වීමේ අවදානමක් පැවතීම හේතුවෙනි. කැනඩාවද ඊයේ (03දා) දිනයේ ඔත්තු බලන බැලුනයක් නිරීක්ෂණය කළ බව නිවේදනය කර තිබුණද එය කුමන රටකට අයත් දැයි පවසා නොතිබිණි. ඇලස්කාවේ ඇලුයිටියන් දූපත් හා කැනඩාව ඔස්සේ ගමන් කර ඇති මෙම මෙම බැලුනය බදාදා දිනයේ ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේදී නිරීක්ෂණය කර තිබේ. චීනය මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment