චීනා කට වසාගෙන ඉන්නේ ඇයි?

1299

හරවා යවන ලද චීන නැවේ තිබූ පොහොර තොගයේ අයිතිකරුවන් වන චීනයේ ක්වින්ඩාවෝ සීවින් බයෝ ටෙක් සමාගම ශ‍්‍රී ලංකාවෙන් වන්දියක් ලබාගත යුතුය යන මතයේ තරයේ පිහිටා සිටින බව දැනගන්නට තිබේ. එම කාබනික පොහොර තොගය තුළ පැළෑටිවලට සහ මිනිස් ශරීරයට අහිතකර බැක්ටීරියා තිබූ බව ආණ්ඩුවේ පර්යේෂකයෝ ප‍්‍රසිද්ධියට පත් කළහ. මේ නිසා සිදුවූ කලබගෑනිය අපේ පාඨකයා ඉතා හොඳින් දනිත්. ශ‍්‍රී ලංකාව මේ සිටින්නේ චීනය හෝ ඉන්දියාව තරහ කර ගැනීමට තරම් සුදුසු තත්ත්වයක නොවේ. වනචාරීන් සිටින අන්දමන් දූපත පවා මේ වෙලාවේදී අප සමග තරහ වීම පාඩුය.

එබැවින් චීන පොහොරවල තිබුණේ යැයි කියන බැක්ටීරියා සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ කිරීමේදී කිසියම් පාලනයක් යටතේ ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබුණි. මේ පොහොර තොගය තුළ බැක්ටීරියා තිබුණා වේවා කක්කා (මෙය නරක වචනයක් නොවේ. අසූචිවලට පොඩි ළමයින් කියන මේ වචනය ඉතා සරලය) තිබුණා වේවා පොටෑසියම් සයනයිඞ් තිබුණා වේවා ඒ පිළිබඳ ලවුඞ්ස් ස්පීකර් බැඳගෙන රට වටේ ගොස් ප‍්‍රචාරය නොකර මේ පොහොර රටට නුසුදුසු බවත් එහි ඵලදායිතාවක් නැති බවත් කීමේ වගකීම එම පොහොර පරීක්‍ෂා කළ විද්වත් මී ගවයන් සතුව තිබූ බව අපි වගකීමෙන් කියමු. එහෙත් පොහොර පරීක්‍ෂා කළ විද්වත් රැලේ සිටි එක මී ගවයෙක් මුඛය විවර කර උම්බෑ කියූ සැණින් සෙසු මී හරක් ගොම හලන්නට පටන් ගත්හ. මේ පොහොරවල බැක්ටීරියා තිබෙන බව ඔවුන් ප‍්‍රකාශයට පත්කළ විට ඒ බව ප‍්‍රචාරය කළේ මාධ්‍ය මගින් බවට චෝදනාවක් තිබේ. මාධ්‍ය තිබෙන්නේ ප‍්‍රවෘත්ති හෙළිදරව් කිරීමටය. මාධ්‍ය ව්‍යාපාරය යනු පුණ්‍යායතන වැඩපිළිවෙළක් නොව බිස්නස් එකකි.

මාධ්‍යවේදියාගේ වගකීම වන්නේ ප‍්‍රවෘත්ති තරගකාරී ලෙස පළකිරීමය. ආණ්ඩුවේ වගකීම වන්නේ රහස්‍යභාවයෙන් තබාගත යුතු ප‍්‍රවෘත්ති කිසි ලෙසකින්වත් එළියට නොයන ලෙස තබා ගැනීමය. එහෙත් මේ ආණ්ඩුවට කිසිදු රාජ්‍ය රහසක් කන්ට්‍රෝල් කරගැනීමට බැරිය. ගන්දර පොලිසියේදී තරුණ පොලිස් කාන්තාවක් දූෂණය කිරීමට තැත් කළ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අනංගයා මීට පෙරද විවිධ වැරදි නිසා කිහිප වාරයක්ම ඉන්ටර්ඩික් කළ සල්ලාලයෙක් බව අපි ඔබට පෙරේදා මේ තීරුව ඔස්සේ කීවෙමු. එසේ තිබියදීත් පොහොට්ටු රාජ්‍ය ඇමැති කංචන විජේසේකරගේ බලපෑම මත, ගන්දර පොලිසියේ ඕ අයි සී ලෙස පෙර කී අනංගයා නම් කරමින් පොලිස්පති විසින් නිකුත් කරන ලද ලිපියක් දැනටමත් මාධ්‍ය අතේ තිබේ. මෙය ඉතා සුළු ලෙස රහස් හෙළිදරව් වීමකි. අඩු ගණනේ ඒ ලිපිය රැකගෙන තම රෙද්ද රැකගැනීමට ආණ්ඩුවේ ආයතනයක් වන පොලිස් දෙපාර්තමේන්තුවට බැරිවිය. රාජ්‍ය රහස් සියල්ලම ජනතාව අතට පත්වීම ආණ්ඩුවේ විනිවිද භාවය ලෙස යමෙක් අර්ථකථනය කළොත් එය මහා පරිමාණයේ ගොන් කතාවකි. කෙනකු වඩාත් විනිවිදභාවයෙන් සිටීම සඳහා සියලු ඇඳුම් උනා තබා හෙළුවෙන් හිටගත්තොත් ඔහු හෝ ඇය මිනිසුන්ගේ හූ හඬට ලක් වන්නේය. මේ අනුව ඇතැම් දේවල් පාලනය කරගැනීමට බැරිවීම තනිකරම ආණ්ඩුවේ වරදය.

කාබනික පොහොර හඳුන්වා දීමේ වැඩපිළිවෙළේදී කෘෂිකර්ම අමාත්‍යාංශය තමාට සහයෝගය නොදුන් බව මේ රටේ විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මීට සිව් දිනකට පෙර ජනාධිපති මන්දිරයේදි පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදී කියා සිටියේය. තුනෙන් දෙකක ජනවරමක් අතේ තබාගෙන විධායක ජනාධිපතිවරයා මෙසේ කිව යුතුද? ඔහු විසින් කළ යුතුව තිබුණේ තමන්ට සහයෝගය නොදෙන නිලධාරීනේගේ බෙල්ලට දෙකක් දී පලවාහැර සුදුසු නිලධාරීන් සමග වැඬේට බැසීමය. එහෙම නැතිව අරයාගේ මිනිහා මෙයාගේ මිනිහා යනාදී වශයෙන් කියමින් ජංගි අන්දවා පව්ඩර් දමමින් නිලධාරීන් සුරතල් කිරීම වැඩක් නැත. මේ රටේ සිටින රාජ්‍ය නිලධාරීන්ගෙන් කොටසක් හොරුය. කොටසක් පල් හොරුය. මෙතන අඩු අලි බබා පමණි. ඔහුත් සිටියේ නම් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ගේ කතාව අරාබි නිසොල්ලාසයේ අලුත් වර්ෂන් එකේ අලි බබා සහ හොරු හතළිහ කතාවට එකතු කිරීමට පුළුවන්කම තිබිණ. මේ රටේ සිටින හොඳ රාජ්‍ය නිලධාරීන්ට මඩ ගසා කලකිරවා ගෙදර යැවීමේ වැඩපිළිවෙළක් ඇත. රාජ්‍ය සේවය කවදත් එකය. මුහුණු පුළුටු කරගත් කම්මැලි හඩු නිලධාරීන්ගෙන් එය එදත් සංතෘප්තය. අදත් සංතෘප්තය.

චීනගේ පොහොර නැවේ ඇබැද්දිය රාජ්‍ය සේවය කන්ට්‍රෝල් කරගැනීමට බැරිවීමේ අලුත්ම එපිසෝඞ් එක වෙයි. චීන පොහොර නැවේ බැක්ටීරියා ඇති බවට ලංකාව විසින් ජාත්‍යන්තර මට්ටමේ අඬ බෙරයක් ගැසීම නිසා එම පොහොර නිෂ්පාදනය කළ ක්වින්ඩාවෝ සීවින් සමාගම විශාල වළකට ඇද වැටුනේය. අද වනවිට මල් පාත්තියකට දැමීම සඳහාවත් මේ සමාගමෙන් පොහොර ගැනීමට විදේශිකයෝ පැකිලෙති. මෙය වෙන රටක් කළේ නම් චීනය එම රටට මළ මුත‍්‍ර පහවන පිළිතුරක් දීම නියතය. එහෙත් පෝර්ට් සිටියත් හම්බන්තොට වරායත් මේ රටේ තිබෙන චීන දේපළ තව රැසකුත් නිසා චීන්නු කට වසාගෙන සිටින බව අපගේ වැටහීමය.

advertistmentadvertistment
advertistmentadvertistment